චන්දික හතුරුසිංහ ‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරීක්ෂණයට නොඑයි’

සේවය අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අද (7) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වූ පරීක්‍ෂණයකට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියනවා.

හතුරුසිංහ මහතාගේ සේවය අත්හිටුවීම සම්බන්ධව පරීක්‍ෂණයක් අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම පරීක්‍ෂණයට සහභාගි නොවන බව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට ලිඛිතව දැනුම්දී ඇති බවය් වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ, ‘හතුරුසිංහ පරීක්‍ෂණයට ආවේ නෑ. ඒත් අපි පරීක්‍ෂණය නැවැත්තුවේ නෑ. අපේ කටයුතු අපි කරගෙන යනව’

මේ අතර චන්දික හතුරුසිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දීර්ඝ ලිපියක් යොමුකර තිබූ බව ද වාර්තා කියනවා.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකාව ලද පරාජයට සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය අගෝස්තු මාසයේ සිට හතුරුසිංහ මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවුවද ඒ මහතාට රුපියල් ලක්‍ෂ 80 ක බැගින් වන ගිවිසුම්ගත මාසික වැටුප ගෙවීය. හතුරුසිංහ මහතාගේ සේවා ගිවිසුම ලබන වසරේ (2020) දෙසැම්බර් මස අවසන් වන අතර ඊට පෙර ගිවිසුම අවලංගු කළ හොත් රුපියල් කෝටි 10 කට අධික වන්දියක් ගෙවීමට සිදු වන බවයි වාර්තා වන්නේ.

මේ අතර චන්දික හතුරුසිංහ මහතාට සමීප ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ ‘හතුරුසිංහ කිසිම වරදක් කරලා නැහැ. ඒ නිසා ඔහු පරීක්ෂණවලට සහභාගී විය යුතුද නැහැ’ යනුවෙනුයි.

Recommended For You

About the Author: Editor