‘පෙර පාසල් අධ්‍යාපනය’ නොමිලේ ලබා දෙනවා – සජිත්

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ප්‍රදේශ සංවර්ධනය කිරීම සදහා ජනාධිපතිවරයා හරහා වෙනමම විමධ්‍යගත අරමුදල් ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කන්දකැටියේදි ඊයේ (06) ප්‍රකාශ කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වියලුව, කන්දකැටිය නගරයේ පැවැති ජනරැළියට එක් වෙමින් මෙසේ ද කීය.

වියලුව මැතිවරණ කොට්ඨාශයේ  “වාසනාගම” කියන උදාගමේ තමයි මගේ පියාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන්නේ. මගේ මවගේ මුල් පදනමත් බදුලු දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේයි. එම නිසා මේ ප්‍රදේශයේ ජනතාව සමග මාගේ විශාල සම්බන්ධතාවක් තිබෙනවා. ජනාධිපතිවරණ රැස්විම් මාලවේ 107 වන ජනරැළිය තමයි අද පවත්වන්නේ.

වියළුව මැතිවරණ කොට්ඨාශයේ ගොවීන්ට බලපාන රනැල්ල ජලාශය ඉදිකර දෙනවා. ඒ වගේම තල්පිටිගල ජලාශයත්, කෝමාරික ජලාශයත් වියලුව ජනතාව වෙනුවෙන් ඉදිකර දෙනවා. 16 වැනිදා මෙරට ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු  ජාතික කෘෂිකර්ම වැඩසටහනක් ආරම්භ කරනවා. එම වැඩසටහන තුලින් අපේ රටේ ආහාර අවශ්‍යතාව අපේම ගෙවින්ගෙන් සපුරා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පිටරටින් ආහාර ආනායනය නතර කොට අපේ ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අපනයනය කරවනවා.

එලෙස කරන්නට  ආහාර නිෂ්පාදනය හා ජාතික නිෂ්පාදනය ඉහළට ගේනවා. එතනදි ගොවියාගේ අතමිට සරු වෙනවා. ජනතාවගේ මුදල් පසුම්බියට මුදල් ගලාගෙන එනවා. ඉතිහාසයේ පළමු වතාවට තේ පොල් රබර් වගාව, සුළු අපනයන භෝග වගාව, වී වගාව, එළවළු පළතුරු වගාව යන සෑම වගාවකටම නොමිලේ පොහොර දෙනවා.

වියලුව මැතිවරණ කොට්ඨාශය කියන්නේ දුෂ්කරම මැතිවරණ කොට්ඨාශයයි. දුප්පත්කම මේ ප්‍රදේශයේ වැඩියි. දුප්පත්කම නැති කිරිමේ සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කර ප්‍රවර්ධනය කර එය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. අපේ රටේ දුගී දුප්පත්කම තුරන් කරන්නට තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕනේ. සමෘද්ධියට අමතරව රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ජනසවියත් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා.

පාසල් දූ දරුවන්ට නිල ඇදුම, දිවා ආහාරය ලබා දුන්නේ දයාබර මගේ පියාණන්. පාසල් දුදරුවන්ට දුන් දිවා ආහාරය මගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම විසින් ඉවත් කෙරුවා. මා ජනාධිපති වූ පසු මගේ ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය අහිමි කළ දිවා ආහාරය යළි ලබා දෙනවා. නිල ඇදුම් දෙකක් වගේම සපත්තු කුට්ටුමක්ද ලබා දෙනවා.

මෙරට යොවුන් පරපුර ඕනෑකමින් බලා සිටිනවා, කවදද ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපොලවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඩිජිටල් විප්ලවය මහපොලොවේ ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය අපි 16 දායින් පසු ආරම්භ කරනවා.

ඒ වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. එයින් නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, නව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හා ඉංග්‍රිසි සාක්ෂරතාව ජාත්‍යන්තර ප්‍රමිතියට නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. එයට සමගාමිව තාක්ෂණ උද්‍යානත් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ආරම්භ කරනවා. තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දුවා දරුවන්ට ඩිජිටල් විප්ලවයේ කොටස්කරුවන් වන්නට තාක්ෂණ උද්‍යානයේ ඉඩම් ලබා දෙනවා. ඩිජිටල් ව්‍යාපාර කරන්නට මුලික ප්‍රාග්ධනයත් ලබා දෙනවා.

ප්‍රතිපත්තියක් ලෙස හැම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම කර්මාන්ත පුර ආරම්භ කරනවා. කර්මාන්ත ශාලා බිහි වනකොට යාවුන් පරපුරට ගමේ ඉදගෙන රැකියාවට යා හැකි අවස්ථාව නිර්මාණය වෙනවා. අපේ රටේ ත්‍රී රෝද රථ රියදුරන් ලක්ෂ ගණනක් සිටිනවා. ඔවුන්ගේ ජිවනෝපාය ශක්තිමත් කරන්න ඇපයක් පොලියක් නොමැති ණයක් ලබා දෙනවා. එවිට ත්‍රි රෝද රථ රියදුරන්ට තමන්ගේ රැකියාව තවදුරටත් ශක්තිමත් කර ගන්න පුළුවන්.

පළමු වසරේ සිට තමයි නොමිලේ අධ්‍යාපනය හිමි වන්නේ. පළමු වසර වෙනකම් පෙරපාසල් අධ්‍යාපනය ලබා දෙන්නේ මුදල් ලබා ගෙනයි. එය අසාධාරණ දෙයක්. එම නිසා සෑම පෙර පාසල් ගුරුතුමියකටම, සහාය ගුරුතුමියකටම, සහාය පාලිකවකටම රජයේ අනුග්‍රහයෙන් මින් ඉදිරියට වැටුප් හා දීමනා ලබා දෙනවා. ඊට අමතරව පෙර පාසල් දුවා දරුවන්ට නොමිලේ දිවා අහාරයත් ලබා දෙනවා.

අපි ඇයි මෙහෙම කරන්නේ. ඊට වැදගත් හේතුවක් තියෙනවා. දරුවෙක් ඉපදුනාම ඔහුගේ මොළය වර්ධනය වනනේ උපන් දවසේ සිට වයස අවුරුදු පහ දක්වායි. අපේ රටේ වයස අවුරුදු 5 දක්වා දුවා දරුවන්ට නොමිලේ අධ්‍යාපනයත් නැහැ. පෝෂණයත් නැහැ. 25 වසරක මගේ සමාජ සේවාව තුළ මා අවබෝධ කරගත් සත්‍යය මෙයයි. එම නිසා මෙරට පෙරපාසල් අධ්‍යාපනය නොමිලේ ක්‍රියාත්මක විය යුතු මයි.

පෙර පාසල් ගුරුවරුන්ට රජයෙන් වැටුප් ලබා දෙන අතර දරුවන්ට දිවා ආහාරයත් ලබාදී පෙර පාසල් භූමිය තුළ පෙර පාසල තුළ වෙනමම ළමා උද්‍යානයත් දෙනවා. භෞතික සම්පත් මානව සම්පත් යන සියල්ල ලබාදී මෙරට පෙර පාසල් අධ්‍යාපනයද නොමිලේ ලබා දෙන නිදහස් නිවහල් අධ්‍යාපනයක් බවට පත් කරනවා.

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට සහන ණය දීලා ව්‍යාපාරිකයන්ගේ ආදායම් වැඩි කර ගැනීමට අවස්ථාව උදා කරනවා. පෞද්ගලික ව්‍යාපාර සාර්ථක කරන්නට අපට දිය හැකි උපරිම ශක්තිය අපි ලබා දෙනවා.

අප වැඩිහිටි පරපුර  සුරකින්නට ඕනේ. වැඩිහිටි පුරපුරට අපි කළගුණ සලකන්නට  ඕනේ. වැඩිහිටි දිමනාව රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කර තියෙනවා. ඊට අමතරව අප වැඩිහිටි අයට සමාජ ආරක්ෂණය ලබා දුන්නා. අපි රාජ්‍ය සේවක පරපුරට සලකනවා. විශ්‍රාමිකයන්ට සලකනවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලගදීම ජනතාව අතට ලැබේවි.

අපි කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගසා කා නැති නිසා බොහොම අමාරුවෙන් තමයි මුදල් හොයා ගෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කර ගන්නේ. ප්‍රමාද වී හෝ සෑම නිවසකටම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලැබෙයි. එය හොදින් කියවන්න. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගේම සිතුවිලි මගේම අදහස් තියෙන්නේ. කව්රුත් ලියලා දුන් එකක් නොවෙයි. මොකද වසර 25 ක් පොදු ජනතාව සමග සිටිමින් පොදු ජනතාවගේ දහඩිය සුවද හදුනාගෙන සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් අභිලාෂයන් හදවතේ කැකෑරෙන දුක කදුළ වේදනාව හදුනාගෙන ඒකරාශි කරගත් අදහස්වලින් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කර තියෙන්නේ.

ජනතාවගේ දුක හදුනන ජනාධිපතිවරයා ලෙස මා පත් කළ පසු ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන කාරණා මහපොළොවේ ක්‍රියාත්මක කරන්න කැප වෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ස්වාධින සමබර තැනකදී පවත්වමු කියලා මා යෝජනා කළා. එවිට අපේ රටේ ජනතාවට අපේක්ෂකයන් දෙන්නගේම තරම බලාගෙන තක්සේරුවක් කරලා හොද නිගමනයකට එන්න පුළුවන්. නමුත් මගේ ආරාධනාවට තවම පිළිතුරක් නැහැ. තනිවම එන්න බය නම් හිටපු ජනාධිපති අයියත් එක්ක ගෙන එන්න. එහෙමත් බැරි නම් පවුල් පරපුරම අඩගහගෙන එන්න. පන්දහද විසිදහද කියලා නැහැ මම තිනිවම ඊට මුහුණ දෙනවා. මට කාගෙවත් අත්උදව් අවශ්‍ය නැහැ.

ජාතික ආරක්ෂාව ස්ථාපනය කරන්නට, නීතිය හා සාමය ශක්තිමත් කරන්නට ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව නීතිය සාමය හා ආරක්ෂක ඇමතිවරයා බවට පත් කරනවා. එලෙස කරමින් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ සුබ සාධනය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක කරනවා.

පහුගිය දවසක මගේ ප්‍රතිවාදියා මෑත ඉතිහාසයේ  ලොකුම පාවා දීම කළා. විදෙස් මාධ්‍යවේදියෙක් රණබිමේ වූ දේ ගැන ප්‍රශ්න කළාම මගේ ප්‍රතිවාදියා කිව්වා මම නොවෙයි හමුදාව භාරව හිටියේ කියලා කිව්වා. අයියා නේද කියලා ඇහුවාම අයියත් නොවෙයි කියලා කිව්වා. හමුදාව බාරව හිටියේ හමුදාපති කියලා කිව්වා. අවුරුදු 10 කුත් මාස ගණනාවකට පසුව රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අවසන් වචනය වන “සත්‍ය කවදා හෝ ජයගනී” යන වචනය සනාත වුනා. අවුරුදු 10 කුත් මාස ගණනාවක් කිව්වේ යුද්දේ දින්නේ රජ පවුලයි කියලා. ඒකට පොත් ගැහුවා. චිත්‍රපට කලා. කවි ලිව්වා. ටෙලිනාට්‍ය හැදුවා. ගීත නිර්මාණය කළා පමණක් නොව පොළොවත් ඉම්බා. වසර 10 කට පසු ඒ අයගේ කටින්ම සත්‍ය හෙළි වුනා. එනම් යුද ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවා ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියලා හෙළි වුනා.

ජනාධිපතිවරණ රාශියකට ජනතාව මුහුණ දී සිටිනවා. ජනතාවගේ වටිනා ඡන්දයෙන් ජනාධිපතිවරු රැසක් බිහි කර තියෙනවා. ජනතාව ඡන්දය දෙනවා, අපේක්ෂකයා ජනාධිපති වෙනවා. නමුත් ඡන්දදායකයා හා ජනාධිපතිවරයා අතර විශාල පරතරයක් තියෙනවා. මම අලුත් යාන්ත්‍රණයක් නිර්මාණය කරනවා ඒ පරතරය සම්පුර්ණයෙන්ම නැති කරන්න. අපි ජනාධිපති ජාතික සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. එය පිහිටුවන්නේ මගේ ප්‍රධානත්වයෙන්. ජාතික සංවර්ධන ජනාධිපති බලකායේ ඒකක රට වටේම හැම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම පිහිටුවනවා.

මේ ප්‍රදේශයේ සංවර්ධනය ගැන බලන්න මේ බලකායේ නිලධාරින් එවනවා. ජනසවිය ලැබෙනවාද කර්මාන්ත ශාලාටික බිහිවෙනවාද, තාක්ෂණ උද්‍යාන බිහිවෙනවාද, දිවා ආහාරය, නිල ඇදුම් ලැබෙනවාද ,කියලා මට බලා ගන්න පුළුවන්. ඒ වගේම ජනතාවට තමන්ගේ දුක් ගැනවිල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිටින නිලධාරින් හමුවී ඉදිිපත් කරන්න පුළුවන්. මගේ සැලැස්ම මගේ ඉලක්කය පැය 24 ක් තුළ ජනතා ප්‍රශ්නවලට මේ ඒකක හරහා විසදුම් ලබා දෙන්නටයි.

ජනතාවගේ දුක හදුනන නායකයෙක් නිසා තමයි මම මෙවැනි සැලසුම් ඉදිරිපත් කරන්නේ. පෙර පැවැති තත්ත්වය වුනේ ජනතාව ජනාධිපති පත් කලාට ජනාධිපතිවරයාට දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රී පළාත් සභා මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ ඇමතිවරු හරහා යා යුතු වෙනවා. ඒ ක්‍රමය තමයි මම වෙනස් කරන්නේ.

හැබැයි එය එසේ වුවත් මේ මන්ත්‍රීවරු මම ශක්තිමත් කරනවා. ඔවුන්ට පළාත ආසනය සංවර්ධනය කරන්න වෙනමම විමධ්‍යගත අරමුදල් ලබා දෙනවා. ඒ වගේම මේ ජනාධිපතිවරණයේදි හැම මැතිවරණ කොට්ඨාශයකටම එන එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාසයි.

Recommended For You

About the Author: Editor