තිලංග පාර්ලිමේන්තු නිලධාරීන් එක්ක ‘ගේමක් ගහලා – හරීන් ප‍්‍රනාන්දු

‘ක්‍රීඩාවල වැරදි වැළැක්වීමේ පනත’ ඊයේ (7) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළු නොවීම පිටුපස පාර්ලිමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හා හිටපු කථානායක තිලංග සුමතිපාල මහතා සිටින බවත් එම පනත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර සම්මත කර ගැනීමට ඇති අවස්ථාව වැළැක් වූ පුද්ගලයන්ට විරුද්ධව කථානායකවරයා පියවර ගත යුතු බවත් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ ක‍්‍රීඩා ඇමැතිවරයා,

“රටේ තිබෙන ක්‍රමවේදයන් බයිපාස් කරන ක්‍රමය අපි කවදද නවත්වන්නේ. රට හදන තැන කියලා තමයි පාර්ලිමේන්තුව හඳුන්වන්නේ. සූදු හා ඔට්ටු වැළැක්වීමේ පනත ඇයි න්‍යාය පත්‍රයේ නැත්තේ.

මම පාර්ලිමේන්තුවට ඇවිත් අහනකම් න්‍යායපත්‍රයේ නොමැති බව දන් නෑ. නමුත් රෙගුලාසි ඇතුළත් කර තිබෙනවා. එක රෙගුලාසියක ක්‍රීඩාව ගැන විගණකාධිපති විස්තරයක් දැක්වෙනවා.  ඔට්ටු ඇල්ලීම්, සූදු ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කරන ආයතනයක එදිනෙදා නියැළී සිටින තැනැත්තෙකු, පවුලේ පූර්වාසන්න සාමාජිකයෙකු, කාලත්‍රයා, මවපියා, සහෝදර සහෝදරියන්ට, මව, පුතා, බෑණා, ලේලිය වැනි අයෙකුට ජාතික ක්‍රීඩා සංගම්වලට සහභාගි වෙන්න බෑ කියලා තවත් රෙගුලාසියක් තිබෙනවා.

ඊට වඩා වැදගත් දෙයක් පනතේ තිබුණා. එය න්‍යායපත්‍රයට ඇතුළු නොවීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේක හිටපු නියෝජ්‍ය කථානායකවරයා ආරක්ෂා කරන්න පාර්ලිමේන්තු කණ්ඩායමක් විසින් සිදුකළ දෙයක්ද කියන සැකය තිබෙනවා.

මේක ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතක්. ක්‍රීඩා තරග පාවාදෙන, ක්‍රීඩාවලට සම්බන්ධ දූෂිත ක්‍රියාවල යෙදෙන, නීතිවිරෝධී මෙහෙයවීම්, නීතිවිරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම් වැළැක්වීමේ පනතක්. මෙම වැරදිවලට මහාධිකරණ විභාගයකින් පසු යම් තැනැත්තෙකු වරදකරුවෙකු වුවහොත් රුපියල් මිලියන 100 දක්වා දඩයක් හා අවුරුදු 10ක සිරදඬුවමක් ලබාදීමටයි මේ පනත ගෙනාවේ. එතකොට කවුද මේක වළක්වන්නේ? කථානායකවරයා මේ ගැන සොයා බැලිය යුතුයි.

වෙනත් ක්‍රීඩා වැරදි මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන යෑමට පනතින් අවස්ථාව ලැබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව මහන්සිවෙලා, සොලිසිටර් ජනරාල්ලා මේකට මහන්සිවෙලා හැදුවේ. අවුරුදු ගාණක් එහේ යටින් යවනවා. මේසෙ අස්සෙ යවනවා. හංගනවා. පාර්ලිමේන්තුවට ආවට පස්සෙ ඉස්පිල්ලක් නෑ කියනවා. පාපිල්ලක් නෑ කියනවා. නැවතීමේ තිත නැහැ කියනවා.

මේ විදිහට පනත 16 වතාවක් එහෙට මෙහෙට ගියා. එහෙම ගෙනාපු පනත අන්තිමට න්‍යායපත්‍රයට ඇතුළු කරලා නැහැ. නොවැම්බර් 16 වෙනකම්ද මේවා නතර කරගෙන ඉන්නේ. මේක මහ ඛේදවාචකයක්.

කවුරුහරි උසාවියට ගිහින් යම් පුද්ගලයෙකු වරදකරු කියලා නඩුවක් දැම්මොත් නඩුවේ තීන්දුව මොකක් වෙයිද කියන්න මම දන්නෑ. හැබැයි රටේ නීතියක් තිබෙනවා. වංචාවක් කළොත්, දූෂණයක් කළොත් දඬුවම් දිය යුතුයි.

වෙනත් ක්‍රීඩා වැරදිවලට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයකින් පසුව දඬුවම් දෙන්න පුළුවන්. ක්‍රීඩාවේ යෙදී අදාළ තොරතුරු හෙළිදරව් කිරීම, පැහැර හැරීමට සහාය දීමත් වරදක් වෙනවා. වරද ගැන නොකියා සිටීමත් වරදක් වෙනවා. මෙම විමර්ශනවලට සහාය නොදී පැහැර හැරීමට දඬුවම් දඩය රුපියල් ලක්ෂ 02යි. අවුරුදු තුනක් බන්ධනාගාරගත කරන්න පුළුවන්. මේවා රටට අවශ්‍ය දේවල්.

ක්‍රීඩාව සුද්ද කිරීම පාර්ලිමේන්තුවෙන් පටන්ගන්න ඕන. රටේ නීතියක් තියෙන්න ඕන. දැන් මේ රටට විදේශිකයන්ට ඇවිත් බුකී කටයුතු කරන්න පුළුවන් නීතියක් නැති නිසා. මහ මොළකරුත් ඉන්නේ මේක ඇතුළෙමයි. සූදු ව්‍යාපාරයට සම්බන්ධ කිසිම කෙනෙකුට ක්‍රීඩාවලට ඇතුළුවීමේ අවසරය අදින් පස්සේ ලැබෙන්නෑ. ඒ සඳහා රෙගුලාසි සම්මත වෙනවා.

ඒ අතරේ මේ නීතිය ඇයි හැංගුවේ? මේක භයානක ප්‍රශ්නයක්. ක්‍රීඩකයන් විඳින දුක අප්‍රමාණයි. ක්‍රීඩකයන්ට ලැබිය යුතු මුදල් ක්‍රීඩා සංගම් ලබාදෙන්නේ නෑ. ක්‍රීඩා සංගම් ඇතුළෙ කිසිම නීතියක් නෑ. ඒ නිසා නීතිය හඳුන්වා දිය යුතුයි. පනත ගෙනවානම් ලංකාවේ නීතියක් බවට පත්වෙනවා. අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකා පක්ෂ නායකයන් කැඳවා මේ පනත සාකච්ඡා කරන්න කියා කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ පනත ආංශික අධිකරණ කාරක සභාවේදී අනුමත වූ පනතක්. පාර්ලිමේන්තුව ඇතුළෙන් දරුණු වරදක් සිදුවී තිබෙනවා. පාර්ලිමේන්තුව බොරුවක් කරන බව අපට කියන්න වෙනවා.”

කථානායක කරු ජයසූරිය

අපි හොයා බැලුවා. මේ පනත පක්ෂ නායක රැස්වීමට අරගෙන තිබුණේ නෑ. පාර්ලිමේන්තුවේ කටයුතු පෙළගැස්වීම ආණ්ඩුවේ වගකීමක්.

හරින් ප්‍රනාන්දු

අපි පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් මේ ගැන ඇහුවා. වරදක් වී තිබෙන බව ඔවුන් පිළිගත්තා. පසුගිය කාලය පුරාම යමක් කරද්දී ඊට ඉඩ නොදෙන තත්ත්වයක් තිබුණා. අස්සෙන් ගහන, හංගන, වරද්දන, ඉස්පිලි, පාපිලි මගහරින ක්‍රමයක් තිබුණා. මේක කොහෙන් කළාද කියන එක හොයන්න ඕනා.

කරු ජයසූරිය

පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කැඳවා මේ පිළිබඳ තීරණයක් ගන්නවා.

මේ අතර හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනතට අදාළව ඊයේ ඉදිරිපත් කරන ලද රෙගුලාසි තුනකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.

Recommended For You

About the Author: Editor