නිශ්ශංක සේනාධිපතිගේ ‘ඇප ඉල්ලීම ඒකමතිකව’ ප‍්‍රතික්ෂේප කරයි

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට ඇප ලබාදීම ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (08) ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව යළි කැදවන ලදි.

චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත්තේ ප‍්‍රථම වතාවටය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ 07 වැනි විත්තිකාර ‘ඇවන්ට් ගාඞ්’ සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ඇතුළු මෙම නඩුවේ කිහිපදෙනෙකු විදේශගත වන විට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් පසුගිය ජුලි මස 08 වැනිදා නියෝගයක් නිකුත් කොට ඇතත් මහෙස්ත‍්‍රාත්වරයාගේ නියෝගය වැරදීමකින් සටහන් වීම නිසා තම සේවාදායකයා ලංකාවට පැමිණීමේදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කීය.

තම සේවාදායකයා ලංකාවට පැමිනීමේදී රහස් පොලිස් නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගැනීම නිතීවිරෝධී බවත් කොදු නාරටියේ ආබාධයක් ඇතුළු රෝගී තත්වයන් කිහිපයකින් පෙළෙන තම සේවාදායකයාට ප‍්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලට නිතිපතා ගෙන යෑම නිසා ඔහුගේ රෝගී තත්වය වැඩිවී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා රිමාන්ඞ් බාරයට පත් කොට සිටින තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරු සම්බන්ධයෙන් කරුණු ඇතුලත් පිටු 529කින් යුත් මෝෂන් පත‍්‍රයක් තමන්ට ලබා දී ඇතැත් එහි කිසිදු තැනක පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරු රිමාන්ඞ් බාරයට පත් කිරීම පිළිබඳව කරුණු ඇතුලත් කොට නැතැයි කීය.

නඩුවේ 07 වැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා පසුගිය ඔක්තෝම්බර් 10 වැනිදා අළුයම ලංකාවට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන මෙම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා  විනාඩි 50කට අධික කාලයක් පුරා කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියත් මෙම අධිකරණය ඒකමතිකව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කොට නඩු විභාගය අවසන් වනතුරු ඔහු රිමාන්ඞ් බාරයට පත් කළේ යැයි කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එසේ තිබීයදී අද මෙ විත්තිකරු වෙනුවෙන්ම වෙනත් නීතීඥවරයකු ඉදිරිපත් වී පැයකට අධික කාලයක් පුරා කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටින්නේ යැයි පැවසීය.

නීතීඥවරු මාරූ කරමින් එකම කරුණු පැවසීම මෙම නඩුවේ විභාගයට බාධාවක් බවත් එය කාලය කා දැමීමක් බවත් මේ වන විට නඩුවේ 07 වැනි විත්තිකාර නිශ්ශංක සේනාධිපති නමැත්තා නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඞ් බාරයට පත් කිරීමේ තීරණය විනිශ්චිත බවත් පැවසු දිලීප පීරිස් මහතා සෑම දිනකට එකම කරුණු වලට අවධානය යොමු කිරීම අධිකරණයේ වටිනා කාලය කා දෑමීමක් යැයිද එම කරුණු වලට අවධානය යොමු නොකොට දැන් ඇත්තේ නඩුවේ ඉදිරි කටයුතු කරගෙන යෑම යැයිද පැවසීය.

නඩුවේ විත්තිකාර පාලිත ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් නේපාලයේ කත්මන්ඩු නුවර ලබන 30 වැනිදා සිට දෙසැම්බර් මස 11 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු මළල කී‍්‍රඩා උළෙලට සහභාගී වන ලෙස තම සේවාදායකයාට ඇරයුම් ලැබී ඇති හෙයින් ඒ සඳහා සහභාගී වීමට ඔහුට විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ විත්තිකරුවකු වන ‘එම්.වී. ඇවන්ට් ගාඞ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග‍්‍රැව්රිලෝන් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් රෝගී තත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුගේ මව්රට වන යුක්රේනයට යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

සියළු පාර්ශවයන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල සවස 5.10ට පමණ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතාට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීම ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.

එමෙන්ම විත්තිකාර පාලිත ප‍්‍රනාන්දු මහතා ආසියානු මළල කී‍්‍රඩා උළෙලට සහභාගී වීමට විදේශගත වීමට කළ ඉල්ලීම මෙන්ම විත්තිකාර ගෙනඩි ග‍්‍රැව්රිලෝන් නමැත්තාට ප‍්‍රතිකාර ගැනීමට යුක්රේනයට යෑමට අවසර ඉල්ලීමද විනිසුරු මඩුල්ල ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළේය.

මෙම නඩුව ලබන දෙසැම්බර් මස 03 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල රිමාන්ඞ් බාරයට පත් කොට සිටින විත්තිකරු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

Recommended For You

About the Author: Editor