විශ්වවිද්‍යාලවල කරන ‘හෙණගහන අපරාධ’ රැසක් කෝප් කමිටුව හෙළි කරයි

විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව හා එයින් තෝරාගත් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2013-14 වර්ෂයේ සිට 2017-18 දක්වා වර්ෂ 05 ක කාලයක් තුළ 45% සිට 38.7% දක්වා අඩු වී ඇතැයි 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන තිබෙනවා.

මේ අතර විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් ‍තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව  බව ද කෝප් කමිටුව විසින් අදාළ විගණන වාර්තා හරහා හෙළිකරගෙන තිබෙනවා.

මෙයට අමතරව විශ්ව විද්‍යාල වෙත වාර්ෂිකව ලබාදෙන ප්‍රාග්ධන ප්‍රදාන අදාළ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට නොගෙන රඳවා තබාගෙන තිබෙන බවත් ඒ අනුව 2017.12.31 වන දිනට විශ්ව විද්‍යල විසින්  රඳවා තබාගෙන ඇති මුදල රුපියල් මිලියන 1,416ක් බවත් කෝප් කමිටුව විසින් ඊයේ  (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සිය සිව්වන වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.

විශ්ව විද්‍යාල විසින් මෙලෙස බැංකු ගිණුම් වල මුදල් ආයෝජනය කිරීම වෙනුවට විශ්ව විද්‍යාල කටයුතු වෙනුවෙන් යෙදවූයේ නම් භාණ්ඩාගාර ප්‍රතිපාදන අඩු කරගැනීම තුළින් ඒක පුද්ගල ණය බර අඩු කර ගැනීමට පවා හැකියාව තිබූ බව ද කෝප් කමිටු වාර්තාවෙන් අණාවරණය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය සම්බන්ධ කාර්ය සාධනය සලකා බැලීමේදී කාර්ය මණ්ඩල විසින් එළඹෙන බැඳුම්කර ගිවිසුම් කඩ කිරීම හා එම කඩකිරීම නිසා රජයට අය විය යුතු මුදල් අයකර ගැනිමට කටයුතු නොකිරීම නිසා එලෙස කඩකරන ලද ගිවිසුම් 519 ක් වෙනුවෙන් රජයට අය විය යුතු මුදල රුපියල් 836,133,700 බව ද විගණන වාර්තාවේ සදහන් වූ බව කෝපි කමිටුව සදහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පුරවැසියන් බොහෝ දෙනෙක් ප‍්‍රකාශ කළේ තම දරුවන් විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වීම සදහා දැවැන්ත අරගලයක යෙදී සිටියදී, දෙමාපියන් නොකා නොබී ඔවුන් වෙනුවෙන් වියදම් කරද්දී මේ ආකාරයෙන් විශ්වවිද්‍යාලවල ඉඩ පහසුකම් තිබියදී පවා තම දරුවන්ට සරසවි ප‍්‍රවේශය අහිමි කිරීම ‘හෙණගහන අපරාධ’ බවයි.

විශ්වවිද්‍යාල විසින් රජයෙන් ලබා දුන් ප‍්‍රතිපාදන වැය නොකර බැංකුගත කිරීම සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සරසවි ශිෂ්‍ය සංගම් නායකයෙකු සදහන් කළේ සරසවිවල පවතින අකාර්ෂයක්ම හා අත්තනෝමතික පාලනය නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වීම ගැන තමන් පුදුමයට පත් නොවන බවයි. අධ්‍යාපනය සදහා රාජ්‍ය වැය ඉහළ දැමීමට බල කරන සරසවි ඇදුරන්ම මෙවැනි තත්ත්වයකට වැටීම ජාතියේම අභාග්‍යයක් බව ඔහු සදහන් කළේය.

‘අද විශ්වවිද්‍යාලවල සුදුසුකම් ඇති ආචාර්ය මණ්ඩල නැහැ. මුට්ටි අල්ලලා සහ තවත් අයථා ක‍්‍රමවලින් පත්වීම් ලබාගත්ත පිරිසක් තමයි අද සරසවිවල ඉන්නේ. ඉතිං ඔවුන් මේ වගේ වැඩ නොකර මොනවා කරන්නද ?’ ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

Recommended For You

About the Author: Editor