අපේ කාලේ දේශපාලනය: ‘මොන රජෙක් ආවත් අපේ බඩගොස්තරේ මෙහෙම තමයි’

දිග්දෙනියගේ ටයිටස් – 72

වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ තම ජීවිතය කෙසේ හෝ පවත්වා ගැනීමට මිනිසුන් බොහෝ ලෙස වෙහෙස මහන්සි වේ. ඒ ආර්ථික ගැටලු වෙත පමණක් නොව සමාජ ගැටලු උදෙසාද පිළිතුරු ගැටගසා ගනිමිනි. එවන් සමාජයක ආර්ථික බරින් මිරිකී ජීවිතයේ බොහෝ හැලහැප්පීම් වලට මුහුණදෙන චරිතයක් එක්ක අද අපි කතා කරන්න හිතුවා.

දිග්දෙනියගේ ටයිටස්

අපිට ඔහුව හමුවුණේ පිළියන්දල පොදු වෙළඳපොළ පිවිසුම අසල තම රැකියාවේ යෙදී සිටියදී.

සීයේ ඔයාගේ නම මොකක්ද?

දිග්දෙනියගේ ටයිටස්

දැන් වයස කීයක් විතර වෙනවද?

මට දැන් 72 ක්

අවුරුදු කීයක විතර  ඉදන් මේ රස්සාව කරනවද?

ධීවර වාරයේ වැඩ කරල වරායේ ස්ට්‍රයික් වලට අහුවෙලා එකෙන් දොට්ට දාලා ජීවිතේ ගැටගහගන්න මේ රස්සාව කරනව.

සීයට ළමයි කීදෙනෙක් ඉන්නවද?

මට ළමයි හතර දෙනෙක් ඉන්නවා.

කලින් රස්සාවෙන් පෙන්ෂන් අරන්ද ඉන්නේ?

මොන පෙන්ෂන් ද පුතේ.දොට්ට දැම්ම වන්දියවත් හම්බුණේ නෑ. සල්ලි හොයාගන්න ඉතින් මාකට් එක අයිනෙ මේ කරපිංච ටිකක් විකුණල තමයි ජිවත් වෙන්නේ. ළමයි හතරක් ඉන්නවා.පවුල ඉන්නවා.

ළමයි ඔක්කොම රස්සා කරනවද?

නෑ නෑ. මගේ ලොකු දුව නැති වුණා ලියුකේමියාව හැදිලා. එයාගේ ළමයෙක් ඉන්නවා අවුරුදු 17 ක. ළමයත් බලාගෙන සේරම උගන්නන්නේ අපි.

අනික් ළමයි 3 දෙනා එතකොට?

එක්කෙනෙක් ඉන්නවා කැමරා වැඩ වලට යනව කොන්තරාත් වලට. තව එක්කෙනෙක් කුලී වැඩ කරනවා. එයත් ඉලන්දාරියෙක්. අනික් දුව ගාර්මන්ට් එකක පොඩි වැඩක්. ඒ කියන්නේ  රෙදි කපනවා. ඕක තමයි ළමයෝ ඉතින් අපේ ජිවිතේ.

ඉතින් මේ තියෙන්නේ රම්පෙයි , කරපින්චයි , සේරයි නේද? පවුලත් එක්ක ඇවිත් විකුනනවා. එහෙමද?

මම දැන් උදේ ඇවිත් මේවා විකුණනවා. මම රෑ 7 ට විතර කොළඹ යන්නේ මේවා ගෙන්න. ගෙනල්ල මෙතන තියල 1 න් පස්සේ පවුලට දෙනවා. ඊට පස්සේ ඇඟ සෝදලා කරල ආයේ මාකට් ඇවිත් හවසට කොළඹ යනව. ආයෙ පාන්දර 1 ට විතර එන්නේ.ගෙදර යන්න වෙලාවක් නැති නිසා ගොඩක් දවස් වලට පාන්දර ඇවිත් නිදා ගන්නෙත් මෙහෙමයි.

දැන් ඉතින් අද දවසට කීයක විතර විකිණුනාද?

එයේ ඒවත් ඉතුරු වුණා පුතේ. වේලිලා ඔක්කොම. කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 100 ගානේ දෙන්නෙ. මට ගස් නගින්න බැරි නිසා  කොළඹ ගිහින් ගේනවා . පවුල නම් ළග බංගලා වලින් අහල කොළ ජාති  කඩාගෙන එනව.

සීයලා කොහෙද ඉන්නේ?

සමරකෝන් වත්තෙ. වෑවල ළඟ.පොඩි පොල් අතු පැලක ඉන්නේ.

එතකොට දවසට කොච්චර විතර යනවද වියදම?

වියදම යනව ඉතින් කන්න බොන්න ඔක්කොම ගියාම රු . 1000 ක් විතර. දවසට හම්බවෙන්නෙත් රු.1200 ක් විතර. එක වියදමටම ඉවරයි.

අනික් ළමයි තුන්දෙනා බලන්නේ නැද්ද?

නෑ නෑ .එයාල එයාලගේ ජීවිත. ඒ කියන්නේ එයාලට ළමයි ඉන්නවා. අපිට කරදර කරන්න බැහැනේ ඉතින් එයාලට. එගොල්ලොන්ගෙත් යමක් වුණොත් අපි ඒගොල්ලොන්ට මෙතනින් සහය දෙනවා. මොන රජෙක් ආවත් අපේ බඩගොස්තරේ මෙහෙම තමයි.

කලින් කරපු රස්සාව ගැන මොනවද හිතෙන්නේ?

මොනා වෙන්නද ඉතින්.1964 දී ධීවර වරායේ වැඩ වලට සිරිමාවෝ මැඩම් අපිව ගත්තේ.ඊට පස්සේ චන්ද්‍රිකා මැඩම් ආවනෙ. ඇවිල්ලා අවුරුදු 4 කින් ගිය එ. ජා .පෙ ට.ගිය ගමන් වාමාංශිකයෝ ඔක්කොම දොට්ට දැම්මා. නඩු කියන්න ගියාම ඒ ගොල්ලොන්ගේ අයට වන්දි හම්බ වුණා.අනික් අයට කතා කරන්නවත් ඉඩක් නැතිව ගියා.දැන් ජීවිතේ බෙහෙත් ගන්න වත් සල්ලි නැහැ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනාද?

මොනාහරි තියෙනවනම් පිහිටක් වෙන්න.එච්චරයි ඉතින් මට කියන්න තියෙන්නේ.

සටහන-මල්මි ඉන්ද්‍රචාපා දේවසිංහ

Recommended For You

About the Author: Editor