‘බත් කඩේ’ වෙනස් නොවුණොත් ‘මීනි පෙට්ටි කඩේ’ යන්න වෙන දින අතළග

fbt

මහාචාර්ය අනෝමා චන්ද්‍රසේකර. ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ විද්‍යා අංශයේ මහාචාර්යවරියකි. මීට අමතරව ශ්‍රී ලංකා පෝෂණ විද්‍යා සංගමයේ සභාපතිනිය වන්නේද ඇයයි

දවසක සලාකය එක වේලට අහවරයි!    

අපේ චයිනීස් ෆ්‍රයිඩ් රයිස් චීන්නුන්ටත් අමුතු කෑමක්

වැඩියෙන් බත්කන රටවල් ලැයිස්තුවේ අපි නමවෙනියා! එක් අයෙකුට වසරකට කිලෝ 115 ක්!

පාර දිගේ ‘බත්’ විකුණන දැන්වීම්, ‘ලේ මුත්‍රා’ පුවරුත් වැඩිවෙනවා

ෆ්‍රයිඩ් රයිස් වෙනුවට ‘එළවලු බත්’, බත් එළවලු අනුපාතය 1:3    

ලංකාවේ ප්‍රසිද්ධ මාර්ගයක කිලෝමීටර 20 ක් දුර ගමන් කිරීමේදී බෝඩ් ගසාගෙන බත් විකුණන අවන්හල් නොහොත් පරණ විධියට කියනවානම් ‘බත්කඩ’, තිස් තුනක් ගණන් කිරීමට මා සමත් වූබව ඇසූ ඇතැමුන් එය විශ්වාස කෙරුවේද නැත. නමුත් එය සත්‍යයකි. බෝඩ් ගසා නොතිබුණු තැන්ද මේ සංගණනයට හසුවූවානම් ප්‍රවෘත්තිය තවත් සිත්ගන්නා සුළුවන්නටද තිබුණි. ඇතැම් තැන්වල පුවරුවේ සඳහන් වූයේ උදේ දවල් රාත්‍රී යනුවෙන් තුන් වේලටම බුෆේ ක්‍රමයට බත් සපයන බවයි.

අන්නශ්‍රෝතයද පසුකර ඇවිත් අපිජිව්හිකාව ස්ථානගතවී ඇති උගුර ප්‍රදේශය දක්වා බත් පුරවන්නට කැමැත්තෝ නම් බුෆේ ක්‍රමයට හොඳටම පෙම් බඳිති. ඒ නිශ්චිත ගණනක් ගෙවා හිතේ හැටියට තම අවශ්‍යතාවය සපුරාගත හැකි නිසාය. පෝෂණ විද්‍යාඥයින් නම් කියන්නේ බඩගින්න සංසිඳුනාට පසු හිතේ ගින්න දමනය වනතෙක් බත් නොකන ලෙසය. එසේ වුවත් සාම්ප්‍රදායික, පාරම්පරික, දේශීය යනාදී විශේෂණ පදයන්ගෙන් බත්පත සරසාගන්නා බොහෝ දෙනා දසමහ යෝධයින් වන්නට පෙරුම් පුරමින් බුෆේ මේස වටා කැරකෙන්නේ පෝෂණ මූලධර්මයන් පයිසෙකටවත් මායිම් නොකරමින්ය.

කෘෂි විද්වතුන් තැනූ අලුත් වී මාදිලි දේශීය ගොවියාගේ දහඩිය හා මුසුව පලදරා සහලින් රට ස්වයංපෝෂිත විය. එසේ වුවත් අප නිපදවන සහල් පිටරටවලට අලෙවි කිරීමට නොහැකි මට්ටමට ගුණාත්මයෙන් හීන නිෂ්පාදනයක් වූ නිසා, කවුරු කවුරුත් එකතුවී බත්කෑම ප්‍රවර්ධනය කරගැනීම නම් ආර්ථිකය පැත්තෙන් බලනකල රටට ශක්තියකි. එසේ නොවූවානම් අපට සිදුවන්නේ පාන්පිටි සංස්කෘතිය එසේම තබාගෙන, මේ සහල් අතිරික්තය මුහුදේ දමන්නටය. එසේ වුවත් වගකිවයුතු අංශයන් වෙතින් දියත් කරන ලද වැඩි වැඩියෙන් බත් කෑම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යායාමය උවමනාවටත් වඩා ඉදිරිරියට ගියාදෝ යයි සිතෙන තරම්ය. එයට හේතුව වන්නේ එහි සීමා වැට කඩොලු සලකුණු කරගැනීමට අපේ මිනිස්සුන්ට අමතක වීමයි. ඉහත කී මාර්ගයේ සවිකොට තිබූ ‘ලේ මුත්‍රා’ පුවරු ටික ගණන් කරගැනීමට ළඟදී දිනෙක යලිත් එහි යන්නටද බලාපොරොත්තු වෙමි. බ්‍රේක් නැතිව බත් කෑමේ ආදීනව එම ගණන් හිලව්ද ලැබුන පසු තවත් හොඳට අවබෝධ වේවි. ‘බත්’ පුවරු වැඩිවෙනවිට ‘ලේ මුත්‍රා’ පුවරුද ඊට සමානුපාතිකව වැඩිවෙන බව, දැනට අප උපකල්පනයක් ලෙස තබාගෙන, ලිපිය ඉදිරියටම කියවමු.

ලෝකයේ ජනගහනයෙන් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් තම ප්‍රධාන ශක්ති උත්පාදන ප්‍රභවය ලෙස සහල් භාවිතා කරන අතර, වැඩියෙන්ම බත් කන්නේ බංගලි දේශයයි. ඔවුන්ගේ ඒක පුද්ගල පාරිභෝජනය වසරකට සහල් කිලෝ 172 කි. බොහෝ දෙනෙක් විමතිය පලකලත් ලෝකයේ අඩුවෙන්ම මස් කන්නේද බංගලි වැසියන්ය. අධික සහල් පාරිභෝජනය හරහා ඔවුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් කොටසකුත් අනිවාර්යයෙන්ම සහලින් ලබා ගැනීමට ඔවුන්ට වැඩි වැඩියෙන් බත් කන්නට සිදුවූවා විය හැකිය. බත් කන දෙවැනි තැන ලාඕස් රටටද, තුන්වැනි ස්ථානය කාම්බෝජයටද හිමිවේ. කාටද ආඩම්බර! ලෝකයේ රටවල් 195 අතරින් බත් ගිලිනා තරම අනුව අප 9 වෙනියා වන්නෙමු.

අඩුවෙන්ම සහල් පාරිභෝජනය කරන්නේ පෝලන්තයේ වැසියන්ය. ඔවුන්ගේ එක පුද්ගල පාරිභෝජනය වසරකට ග්‍රෑම් 950 කි. එනම් පෝලන්ත වැසියන් බත් නොකන්නේයයි සිතුවත් වැරදි නැත. ලංකාවේ මේ වනවිට ඒක පුද්ගල වාර්ෂික සහල් පාරිභෝජනය කිලෝග්‍රෑම් 115 ක් තරමේ ඉහල අගයක පවතී. ලාංකිකයන්ගේ දෛනික කැලරි නොහොත් ශක්ති අවශ්‍යතාවයෙන් 70% කටත් වඩා ප්‍රමාණයක් පිෂ්ඨ ප්‍රභවයන්ගෙන් ලබාගන්නා අතර එයින් 45% ක් තරමේ ඉහල ප්‍රමාණයක් සැපයීම අප විසින්ම බත්පත වෙත භාරකර තිබේ.

පසුගිය වසර 20 ක් තිස්සේ සිදුවී ඇත්තේද මෙම පාරිභෝජන දර්ශකයේ වර්ධනයවීමක් බව සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමෙන් පෙනීයයි. 1998 දී මෙරට ඒක පුද්ගල පාරිභෝජන අගය තිබී ඇත්තේ කිලෝග්‍රෑම් 92 ක් වශයෙන්ය. ලංකාවේ වී නිෂ්පාදනයේ සංවර්ධනයට සම්පාතව පාන්පිටි සංස්කෘතියෙන් බැහැරව සහල් වෙත වැඩි වැඩියෙන් යොමුවීම නිසා යමෙක් මෙම වැඩිවීම සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරුවත්, නිරපේක්ෂ අගයක් ලෙස ගත්කල මේ කන ප්‍රමාණය නම් හොඳටම වැඩිය.

රතුහාලේ බතකින් කුස පුරවා ගත්කල බොහෝ දෙනෙක් නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කරන්නේ මෙවැනි ආහාර රටාවක් අනුගමනය කල අපගේ මුතුන්මිත්තන්ද එකසිය විස්සක් ආයු වැළඳූ ප්‍රවෘතියකි. ඔවුන් මේ ගැන නිවැරදිව සිතිය යුතුය. නව ගොවි යුගයක උදාව යනුවෙන් 1975 දී මහාචාර්ය සෙනරත් පරනවිතාන ශුරීන් ලියු ලියවිල්ලක සඳහන් වන්නේ පුරාණ වැසියන් රාත්‍රී ආහාරය සඳහා නිතරම ගත්තේ පාලි භාෂාවෙන් ‘තුම්මාස’ නමින් හඳුන්වන ආහාරයක් බවයි. එය සාදාගෙන තිබුනේ මුං, මෑ, වැනි මාෂ බෝග වලිනි. රෑ කෑමට අමතරව, පතරාසය සඳහාද ඔවුහු මේවා යොදාගෙන පිලියල කරගත් කැඳ බිවූහ.

එසේ නම් වැඩි ජනතාවක් කය වෙහෙසා වැඩකරන සමයේදීත් ඔවුන්ගේ කුස තුලට බත් ගුලි වැටී ඇත්තේ යම්කිසි සීමාවකට යටත්වය. යාර දෙතුන් සීයක්වත් පයින් යාගත නොහැකි කුසීතකම නිසා, තුන්රෝද රියකට අත දමා එයට ගොඩවෙන වත්මන් මිනිසා, බත් කඩයක බුෆේ වන්දනාවේ ගොසින් පදමට වැළඳීම මේ අනුව කිසිසේත්ම අනුමත කල නොහැකි සංසිද්ධියකි.

ලාංකිකයින්ට ආවේනික ව්‍යංජන කීපයක් සමග බත් වේලක් අනුභව කිරීම, මොනයම් පෝෂණ නිර්නායකයන් යටතේ කිරා මැන බැලූවද ඉතා අනර්ඝ ආහාරයකි. පලාකොල මැල්ලුමක්, තවත් එළවළුවක් හෝ ඇට වර්ගයක් සමග එකතුවුන සත්ව ප්‍රෝටීන ප්‍රභවයක් ගත්කල, අහවල් එක මෙහි නැතැයි තර්ක කිරීමට කිසිවෙකුට නුපුළුවන. රයිස් ඇන්ඩ් කරි සොයමින් විදේශිකයින් පවා කෑම වෙලාව ලංවෙත්දී තොලකට ලෙවකන්නේ මෙහි ඇති රසගුණ නිසාමය.

විදෙස් සංචාරකයින් සඳහා සේවා සපයන ආයතනයන්, තම අමුත්තන් පිනවීමට සංවිධානයකරන වැඩසටහන් වල ‘රයිස් ඇන්ඩ් කරි’ පිළියෙළ කිරීමේ පුහුණු සැසි පවා ඇතුලත්කර ඇත්තේ කැමරා තුල සඟවාගෙන යන දෑට වඩා සුන්දර අතේහුරුවක් ඔවුනට තිලින කරන්නටය. පිටරැටියෙක් අපේ බත් වේලක් අනුභව කරද්දී පිඟාන මත බතට හිමිවන්නේද අනෙක් ව්‍යංජනවලට මෙන් සම අයිතියකි.

අප විදෙස් රටකදී බත් ඉල්ලා සිටින විටදී, අවන්හල් මගින් පිලිගන්වන්නේද මිලි ලීටර 240 ක් පමණ අල්ලන තේ කෝප්පයක් වැන්නකට බත් පුරවා පිඟාන මතට හැලූ කෝම්පිට්ටුවක් වැනි බත් ගුලියකි. බඩගින්නේ ඉතිරියක් වේනම් වෙනත් ද්‍රව්‍ය වලින් පුරවා ගත යුතුය. මෙරටදී නම් රයිස් ඇන්ඩ් කරි අනුභව කරද්දී වෙනත් ද්‍රව්‍ය ලෙස අවට ඇත්තේ යහමින් කුළුබඩු යොදා සාදන ලද ව්‍යංජන බැවින්ද, අඩුව පුරවන්නට ඒවා වැඩිපුර කෑම ප්‍රායෝගික නොවන බැවින්, පෝෂණවේදීන්ගේ නිර්දේශයන් ගෙඩිය පිටින්ම අනුගමනය කරන්නට යාමේදී, ගමේගොඩේ පුරුද්දට බත් මාළු කන අප යම් අපහසුතාවයකට පත්වෙන බවත් රහසක් නොවේ.

“ඇයි ෆ්‍රයිඩ් රයිස්. මේක ඉතා හොඳ ආහාරයක්. අපිට ඕන විදියට කළමනා බැලන්ස් කරලා හදාගන්න පුළුවන්. ඇඟ වෙහෙසන්නේ නැති වැඩිහිටියෙකුට අපේ නිර්දේශය නම් දවසටම බත් කෝප්ප තුනයි. ෆ්‍රයිඩ් රයිස් කෑවත්, රයිස් ඇන්ඩ් කරි කෑවත් ඉන් එහාට යන්න බෑ. ඒකයි කොන්දේසිය. ඒ උනාට අපේ රටේ නම් මේ කොන්දේසි කැඩෙනවා. දේශීය ක්‍රමයට බත් මාළුපිණි කනකොට බත් පිඟානේ ප්‍රමාණය නිසා සෞඛ්‍යාරක්ෂක පෝෂණය අවුල් වෙනවා. ෆ්‍රයිඩ් රයිස් උනොත් ප්‍රමාණය වගේම අන්තර්ගතය නිසාත් ප්‍රශ්න ඇතිවෙනවා”

එසේ අදහස් පළකරන්නේ මහාචාර්ය අනෝමා චන්ද්‍රසේකරයි. ඇය ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පෝෂණ විද්‍යා අංශයේ මහාචාර්යවරියකි. මීට අමතරව ශ්‍රී ලංකා පෝෂණ විද්‍යා සංගමයේ සභාපතිනිය වන්නේද ඇයයි. යහපත් දිවි පැවැත්මක් උදෙසා ලාංකික ආහාර අනුභව රටාවේ සුවිශාල වෙනසක් ඇතිවිය යුතු බව ඇගේ ස්ථාවරය වේ. බතෙහි අවභාවිතය ගැන කතාකරන්නට යාමේදී ෆ්‍රයිඩ් රයිස් වලට වැඩි අවධානයක් දෙන්නට ඇය සූදානම්ය. ඇය හා කෙරුණු සංවාදය තුලදී මට නම් හැඟුනේ, මහාචාර්යවරිය නොකියා කියන්නේ මෙරට බහුතරය පිහිය රත්තරන් කියා පපුවටම ඇනගන්නා බවයි. ෆ්‍රයිඩ් රයිස් කෝප්පයකින් සැනසෙන ජනතාවක් දකින්නට අප තව බොහෝ දුර යා යතුයයි මටනම් සිතේ. 

ෆ්‍රයිඩ් රයිස් සම්භවය ලැබුවේ ඈත අතීතයේ චීනයේ ‘සුයි’ රාජවංශය පැවති සමයේදී බව කියවේ. අතීතයේදී අධික ජනගහනය හේතුවෙන් චීනුන්ට සුලභව ආහාර තිබුනේ නැත. ඔවුහු ඉතා අරපරිස්සමෙන් ආහාර පරිහරණය සිදුකල අතර, කෑමට හැකි කිසිවක් ඉවත දැමුවේද නැත. තම කෑම මේසය මත ඉතිරිවෙන දෑ, මිනිස් පරිභෝජනයට තවමත් සුදුසු නිසාත්, සතුන්ට දීමට හොඳ වැඩි නිසාත්, ඔවුන් සිදුකලේ සෝයාසෝස්, ඌරුතෙල් හා සුදුලූනු වැනි රස හා සුවඳ උත්පාදක ද්‍රව්‍ය දෙක තුනක් මිශ්‍රකොට ඉතිරිවූ සියල්ල එකට දමා තෙම්පරාදු කිරීමය. ෆ්‍රයිඩ් රයිස් පමණක් නොව කොත්තු රොටිය පවා සම්භවය ලැබුවේ මෙවන් පිරිමැසුම්දායක ආහාර රටාවක් හරහාය. එතැන් සිට සෞඛ්‍යාරක්‍ෂිත ස්වභාවයක් දක්වා ෆ්‍රයිඩ් රයිස් පරිනාම ගතවුනි.

අද දවසේ නම් චීන්නු අපගේ ෆ්‍රයිඩ් රයිස් දැක පුදුමයට පත්වෙනවා ඇත. චීනයේදී මෙම ආහාර පරිනාමය සෞඛ්‍යයට හිතකර මාවතක් ඔස්සේ ඉදිරියට යද්දී අප ගමන් කර ඇත්තේ අනෙක් පැත්තටයි. චීනයට ගියවිට බොහෝවිට ලැබෙන්නේ බහුලව එළවලු මිශ්‍ර කරනලද, තෙල් හා ලුණු ඉතා අඩුවෙන් යෙදූ ෆ්‍රයිඩ් රයිස්ය. එහෙත් මෙරට අවන්හල් හිමියෝ පාරිභෝගිකයාගේ හෙට දවස ගැන කල්පනා නොකර හැකිතාක් රසට අද දවසේ කෑම වේල පිළිගැන්වීමේ සටනක නිරතව සිටිති. එයද අභිබවා යමින් රෙස්ටෝරන්ටුවේ රහ පරදන්නට ගෙදරදී කෑම හදන්නටත්, ඒවා කවා තම දරු පැටවුන්වම ලෙඩ කරන්නටත් දඟලන මන්දබුද්ධික අම්මලා සෙට් එකක්ද ජාතියේ අවාසනාවට මෑතක සිට අප අතරට පැමිණ සිටී.

“අපි ඉස්සෙල්ල කතාකරමු ගෙදර හදන ෆ්‍රයිඩ් රයිස් එක ගැන. මොකද එතන නිවැරදි කිරීමයි පළමුව කලයුත්තේ. මේ නමත් වෙනස් කරනවානම් මම කැමතියි. ‘එළවලු බත්’ කියල හැඳින්වුවහොත් කොහොමද ?. බත් කෝප්පයකට එළවලු කෝප්ප 3 ක් වත් දමන්න ඕනෑ. එතනින් පටන් ගන්න. අනිත් එක කැරට්, ගෝවා, ලීක්ස් වගේ උඩරට එළවලු කීපයක් ෆ්‍රයිඩ් රයිස් එක අයිති කරගෙන වගේ. මේ එළවලු තමයි හොඳටම කෘෂිරසායන ද්‍රව්‍ය යොදල හදන්නේ. ඇයි අපි සැකයක් හිතේ තියාගෙන ඒවා තෝරාගන්නේ. හීනියට කැපූ නිවිති, කොහිල දළු, කතුරුමුරුංගා කොළ, මෑකරල් වගේ පහසුවෙන් පිසගතහැකි එළවලු කොපමණ තියෙනවද? ඕනෑමනම් පෙනුමක් එන්න කැරට් ටිකක් දැමීමේ වරදක් නෑ. ඔය කියන 3:1 අනුපාතයට අරගෙන තෙල් ඉතා ස්වල්පයකින් පිසගෙන බලන්නකෝ. ලුණුත් දැමිය යුත්තේ බොහොම පරෙස්සමෙන්.”

මහාචාර්ය චන්ද්‍රසේකර මැතිනිය මේ උත්සාහ කරන්නේ ගමේකෑම සොයමින් හතර අතේ දුවන්නන්ට නගරයේ සළුපිලි ඇන්දූ ගමේකෑම වේලක් සපයා ඔවුන්ව සනසාලන්නට දැයි මට සිතේ. ෆ්‍රයිඩ් රයිස් හදන්නට අද දවසේ තෝරාගන්නා සහල් වර්ගය ගැනද ඇයගේ එතරම් මනාපයක් නැත. බොහෝ විට අප පුරුදුවී ඇත්තේ බාස්මතී, කීරි සම්බා වැනි හොඳටම පාහිනලද සහලක් මේ සඳහා යොදා ගැනීමටයි.

පසුගිය ලිපියකදී අප සඳහන් කල ආකාරයට මෙම සහල් දෙවර්ගයම ග්ලයිසෙමික් අගය ඉතා ඉහල සහල්ය. එනම් ඒවා හනි හනිකට ජීර්නය වී, රුධිර ධාරාවට තොගය පිටින්ම ග්ලුකෝස් මුදා හරී. ‘බ්ලඩ් ෂුගර්’ ආබාධයක් නැති නිරෝගී අයෙකුගේ සීනි පාලන යාන්ත්‍රණයට වුවද මෙවැනි හදිසි ග්ලුකෝස් මුදාහැරීමක් අගුනය. එසේනම් ‘එළවලු බත’ සෑදීම කල යුත්තේ නිවුඩ්ඩ ඇති, නොපාහින ලද රතු හෝ සුදු සහලකිනි.

“මෙයට පෝෂණය හා රස එකතු කරන්න කුකුල් මස්, බිත්තර වගේ දෙයක් දාන්න පුළුවන්. මම එකේ වරදක් දකින්නේ නෑ. චිකන් ෆ්‍රයිඩ් රයිස් කියල හැමෝම කන්නේ ගැඹුරු තෙලේ බැදලා, සැකසූ කුකුල් මස්. එතනදීත් අපි අනවශ්‍ය තෙල් ටිකක් කනවා. එතනදීත් පිසීමේ ක්‍රමවේදය අපිට වෙනස් කරන්න පුලුවන්”

පෝෂණ විද්වතිය පවසයි. ගෙදර සෑදූ චීන බත්පත දේශීය එලවලුවෙන්, නොපාහින ලද සහලෙන්, කුකුල් මස් හා බිත්තරවලින් නවීකරණයවී කන්න හිතෙන කෑමක් බවට පත්වී තිබේ. එය රෙස්ටෝරන්ටුවේ තිබෙන කන්න හිතෙන තෙල් බතට වඩා පෝෂණ ගුණයෙන් අනූනය. කුස පිරෙන්නට කෑවද, බතට එළවලු අනුපාතය 1:3 තරමට පවතින නිසාත්, අනවශ්‍ය තෙල් හා ලුණු ප්‍රමාණයක් ශරීර ගත නොවන නිසාත්, මෙහි සෞඛ්‍යය හිතවාදී පැත්ත ගැන ගෘහණියන්ගේ අවධානය වඩ වඩාත් යොමුවිය යුතුවේ. ඒ හරහා පරිප්පු හොද්දේ චිකන් රසය හොයන ලපැටියාවද ගෙදර ‘එළවලු බත’ ට යොමුකර ගැනීමද ඔවුනටම භාර වගකීමකි.

ගෙදර හැදෙන ‘ෆ්‍රයිඩ් රයිස්’ එක අප විසින් එලෙස සුසර කර ගත්තද, මහමග බත් සංස්කෘතිය දුටුවිට නම් පෙනෙන්නේ මේවා බුදින ජනතාවක් මේ තරමින් හෝ හුස්මගන්නේ කුමන ආශ්චර්යයකින්ද යන්නයි. දහවලේදී බෙදාගෙන හෝ බෙදවාගෙන කන ක්‍රමයට රයිස් ඇන්ඩ් කරි සපයන අවහන්හල් සියල්ලම පාහේ සවස්යාමයේ සිට මැදියම තෙක් හෝ අවන්හල වසනාතෙක් දෙන්නේ ෆ්‍රයිඩ් රයිස්ය. එහි බතට එළවලු අනුපාතය ගැන අමුතුවෙන් කියන්නට අදහස් නොකරමි. අතරින් පතර ඇති කැරට් තීරු කීපයක්, කොලපාටක් ගෙනදී විචිත්‍රත්වයක් මවන ලීක්ස් කැබැල්ලක් හැරුණු විට එහි ඇත්තේ තෙම්පරාදු කල බත් පමණකි. තත්වය තවත් පැහැදිලි කරගන්නට නම්  මෙම ‘චීන’ ආහාරය හැඳි ගෑරුප්පුවලින් නොකා පුරුදු විධියට අතින් අනා කෑ යුතුවේ.

“බොහොමයක් හොඳ හොඳ හෝටල්වල පවා මෙය පිළියෙළ කිරීමේදී ඝන තෙල් වර්ග දානවා. ඒ බව අපිට තේරෙන්නේ අතින් කෑවොත් තමයි. අතේ ඇඟිලිවල තිබෙන තෙල් පහසුවෙන් ඉවත් නොවෙන හේතුව ඒකයි. සාමාන්‍ය තෙල් ප්‍රමාණයකින් තෙම්පරාදුවක් කෙරුවට මේ විධියට අතේ බැඳෙන්නේ නෑ. අනිත් එක තමයි මේ සමග ලැබෙන චිලී පේස්ට්. මේවත් දැන් ඉතාමත් අක්‍රමික විධියට ඒ ඒ තැන්වලම හදනවා.

මහාචාර්යවරිය පැහැදිලිකරන ආකාරයට ෆ්‍රයිඩ් රයිස් වලට යොදන රසකාරක නිසා කෑමට යම් ඇබ්බැහිවීමක්ද එතැන තිබේ. රෑ කඩයේ ෆ්‍රයිඩ් රයිස් හදන තැන මෙන්ම කොත්තු රොටී ගසන තැනද මේස ලුණු වලට අමතරව තවත් බඳුනක ලුනුමෙන්ම සුදුපාට රසකාරක බඳුනක දසුන අපට අමුත්තක් නොවේ. දැනටමත් යුරෝපීය සංගමය ඇතුළු රටවල් 50 කට වඩා ප්‍රමාණයක ළදරු ආහාරයන් සඳහා මෙය යෙදීම නීතියෙන් තහනම්ය.

ඉන්දියාවේ හා පාකිස්තානයේ ඇතැම් ප්‍රාන්තයන්හි මෙය භාවිතය හා විකිණීම පවා සපුරා තහනම්ය. මේ රසකාරකයට නිශ්චිත රසක් නැති වුවත් එමගින් දිවේ ඇති රසාංකුර උද්දීපනය කරන නිසා ආහාරයේ ඇති අනෙකුත් රස වර්ග වඩා ප්‍රබලව හා සංවේදීව දැනෙන්නට පටන් ගනී. මේ නිසා ආහාරයෙන් කුස පිරී තිබුනද හිත පිරෙන්නේ නැත. ප්‍රතිපලය වන්නේ අනවශ්‍ය මෙන්ම අහිතකර ප්‍රමාණයක් අනුභව කිරීමට ගනුදෙනුකරු නිරායාසයෙන්ම පෙළඹීමයි. ඒ මදිවාට මේ පැටවීම සිදුවන්නේ රාත්‍රියටය. රෑ කෑමට පසු පැය දෙක තුනක්වත් නොනිදා සිටින්නට දෙන වෛද්‍ය උපදේශ කෙසේ වෙතත් අපේ ඇත්තන් කෑම අහවර කරන්නේද ඈනුම් දෙක තුනක් මුදාහරිනා අතරතුරයි.

“මෙම රසකාරකය ගැන මත දෙකක් ලෝකයේ තියෙනවා. ඇතැමුන් කියනවා ආහාරයේ ඇති රසය මතුකර දෙන නිසා මේ හරහා ලුණු භාවිතය අඩුවෙන බව. එයට කීකරුවෙලා ලුණු අඩුකරනවානම් හොඳයි. ඒත් අපේ රටේ කරන්නේ ලුණු ටිකත් එහෙමම දානවා. ඊට අමතරව රසකාරකයත් දානවා. එහි ප්‍රතිපලය නම අනිවාර්යයෙන්ම අහිතකරයි.”

යන්නට ඇරලා වැලමිටෙන් අල්ලන්නට උත්සාහකර එය අතහැරුණු පසු අනෙකාට අවලාද නගන්නටත්, හිතට ආ පලියට බහුබූත ප්‍රතිකර්ම යෝජනා කරන්නටත් අප උපන්ගෙයි සමතුන් බව මේ වනවිටත් ඇතිතරම්, ඔප්පුකර තිබේ. කඩචෝරුවේ ආදීනව කෙතරම් පෙන්වා දුන්නද දරු පැටියන්ද කිහිලි ගන්නාගෙන ඩැඩීලා මමීලා අඳුර වැටෙද්දී ‘චේන්ජ්’ එකකට වාගේ රෙස්ටෝරන්ටුවට රිංගන්නේ ෆ්‍රයිඩ් රයිස් කන්නටය.

ඉදිරි දින දෙකකට පමණ වුවත් ඇතිවෙන්නට බත් වේලක් කුසට දමාගන්නා ඔවුහු, ලුණු හා තෙල් සැර මකන්නට වතුර බූලියක් පමණ බී, ගෙදර ගොසින් ගොරව ගොරවා නිදාගනිති. හෙට උදයේ බිහිවෙන නිරෝගී පරපුරක් උදෙසා දරදිය අදින, උපදෙස් වපුරන පෝෂණවේදීහු, එම රාත්‍රියේදීම තවත් තැනක නිදමින් තම අරමුණු ඉටුවන සුන්දර අනාගතයක් ගැන පෙනෙනා, සුභ  සිහින නරඹති.

සනත් එම්. බණ්ඩාර

​Assistant Director of AgricultureNational Agriculture Information and Communication CentreGannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor