‘දරුපල අහිමි පවුල් වෙනුවෙන්’ රජයේ රෝහල්වලට නවීන තාක්ෂණය හදුන්වා දෙනවා – මහින්ද රාජපක්ෂ

දරුවන් නොමැතිව ළතැවෙන පවුල් සදහා නවීන තාක්ෂනික ක‍්‍රම අනුව නලදරුවන් ලබා ගැනීමේ තාක්ෂණය රජයේ රෝහල්වලට ලබා දීමට පියවර ගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (11) හලාවත පැවැති ජන හමුව අමතමිනි. ස්භාවික හෝ විවිධ පාරිසරික තත්වයන් හේතුවෙන් සමාජයේ දරුපල නොමැති පවුල් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඇති හැකි අය විදේශ රටවලට ගොස් හෝ නල තාක්ෂණය ඔස්සේ තමන්ගේම දරුවෙක් හිමිකර ගන්නා නමුත් නැති බැරි බොහෝ පිරිස් දරුවන් නොමැතිව ලතැවෙන බවද ඒ මහතා පැවසීය.

නව තාක්ෂණික ක‍්‍රමවේද ඔස්සේ තමන්ගේම දරුවකුගේ සුරතල් බැලීමේ හැකියාව තිබියදිත් නැති බැරි කම හේතුවෙන් දරු සුරතල් බැලීමේ හැකියාව අහිමිව පීඩා විදින්නේ නම් රජයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් පහසුකම් සැපයිය යුතුව ඇතැයි ඒ මහතා පැවසීය.

ඒ අනුව නව රජයක් බලය පත්වීමෙන් පසුව නල දරු උපත් තාක්ෂණය රජයේ රෝහල්වලට හදුන්වා දී, රෝහල් කාර්ය මණ්ඩල දැනුම්වත් කිරීම්ද සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Recommended For You

About the Author: Editor