හැඳුනුම්පත් ‘ඇති හෝ නැති’ ඡන්දදායකයන් දැන සිටිය යුතු ‘වැදගත් කරුණු’

ජනපතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේදී ‘ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සදහා වලංගු හැදුනුම්පතක් තිබීම අත්‍යවශ්‍ය’ බව මැතිවරණ කොමිසම දිගින් දිගටම අවධාරණය කරනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා ගැනීමට නියමිත ඡන්ද පෙට්ටියක් ප්‍රදර්ශනය කරන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා ගැනීමට නියමිත ඡන්ද පෙට්ටියක් ප්‍රදර්ශනය කරන අයුරු

එහෙත් පුද්ගලයින් ලියාපංදිචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතිව තිබෙන තාක්ෂණික ගැටලු හේතුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගැටලු මතු වී තිබෙන බව වාර්තා වුණා. මේ තත්ත්වය තුළ ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී ‘වලංගු හැදුනුම්පතක් ’ නොමැති පුද්ගලයින්ට විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවිය හැකියි. මේ ගැන මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

 මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනය කර ඇති නිර්දේශ පහත දැක්වේ.

ඡන්දය ලබා දීම සඳහා ඡන්ද පොළට පැමිණෙන සෑම ඡන්ද දායකයෙකුම ස්වකීය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඡායාරූපය සහිත හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා.

  • ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසන පරිදි ඒ සඳහා ඉදිරිපත් කළ යුතු හැඳුනුම්පත්:
  • වලංගු ජාතික හැඳුනුම්පතක්
  • වලංගු රියදුරු බලපත්‍රයක්
  • වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ
  • රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම්පතක්
  • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පුජ්‍ය පක්ෂය වෙත නිකුත් කරන ලද හැඳුනුම්පතක්
  • වැඩිහිටි හැඳුනුම්පතක්

ඉහත කී ආකාරයේ හැඳුනුම්පතක් නොමැති නම් එම පුද්ගලයන් තාවකාලික නැතිනම් විශේෂ හැඳුනුම්පතක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

භාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ හැඳුනුම්පත් ලබා ගැනීමේ කාල සීමාව 2019 නොවැම්බර් 09 අවසන් වීමට නියමිතව තිබූ නමුත් පුරවැසියන්ගේ, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂවල ඉල්ලීම පරිදි එකී කාල සීමාව 2019 නොවැම්බර් 13 දින මධ්‍යහන 12:00 දක්වා දීර්ඝ කිරීමට තීන්දු කර ඇති බවයි.

හැඳුනුම්පතක් නොමැති නම්

ඉහත සඳහන් ආකාරයේ හැඳුනුම්පතක් නොමැති නම් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසන පරිදි:

  • ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හමු වී එම තාවකාලික/ විශේෂ හැඳුනුම්පත ලබා ගත යුතුය.
  • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත හැඳුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් කළ අයෙකු නම් හැඳුනුම්පතේ තොරතුරු සනාථ කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ඡායාරූපය සහිත ලිපිය අනන්‍යතාව සහතික කිරීමේ ලියවිල්ලක් ලෙස පිළිගැනේ.

ඡන්දය ලකුණු කිරීම

නොවැම්බර් 16 වෙනිදා ඡන්ද පොළට යන ඔබ ඡන්දය ලකුණු කිරීමේදී ඡන්දය දීමට අපේක්ෂා කරන අපේක්ෂකයාගේ නම සහ සලකුණ සඳහන් තීරුව තෝරා විශේෂ සැලකිල්ලක් යොමු කර එහි ඡන්දය ලකුණු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී ඡන්ද දායකයාගේ ලකුණ ඉදිරියෙන්:

  • එක ලකුණු කළ හැක නැතිනම් කතිරය ලකුණු කළ හැක.
  • මනාප ලබා දෙන්නේ නම් 1 ලකුණු කිරීමෙන් පසු 2 සහ 3 යොදා දෙවන සහ තෙවන මනාප ලකුණු කළ හැක.

“මම ඡන්දය දෙන්න අපේක්ෂා කළේ මේ අපේක්ෂකයාටයි නමුත් ලකුණු වුණේ වෙනත් කෙනෙකුටය කියා යම් කෙනෙක් කියූ පමණින් ඔහුට හෝ ඇයට අමතර ඡන්ද පත්‍රිකාවක් දීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට කිසිඳු බලයක් නැහැ,” යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ඔහු පෙන්වාදෙන පරිදි තවත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාටබලය ඇත්තේ “අනවධානය නිසා සිදුවන අත්වැරදීම්” සඳහා පමණි.

උදාහරණ වශයෙන්:

  • යම් හෙයකින් වම් අතේ සුලැඟිල්ලේ සලකුණු කෙරෙන තීන්ත ඡන්ද පත්‍රිකාවේ ගැවුණු අවස්ථාවක.
  • ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමේදී ඉරී ගිය විට.

නොවැම්බර් 07 වෙනිදා වන විට සියලුම තැපැල් ඡන්ද දායකයන් තැපැල් ඡන්දය ලකුණු කර අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

“හැබැයි මේවා ගණන් කරන්නේ දාසය වෙනිදා පස්වරු පහෙන් පස්සේ. ඒක නිසා කිසිවකුටත් කියන්න බැහැ තැපැල් ඡන්දයෙන් අපේ අපේක්ෂකයා මෙච්චර ප්‍රතිශතයක් ගත්තා. මෙච්චර ගානකින් දිනුම් කියා කියන්නේ නම් ඒක අසත්‍ය ප්‍රකාශයක්,” යනුවෙන් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළා.

Recommended For You

About the Author: Editor