ඉගෙනීම හෙවත් අධ්‍යයනය (Learning)

මනෝ වෛද්‍ය, මහාචාර්ය ප්‍රියන්ත ගාමිණි ජයසිංහ

ඉගෙනීම හෙවත් අධ්‍යයනය යම් පුද්ගලයකු වෙනසක් ඇති කිරීමට බලපෑමක් කරයි. ඉගෙනීම ආකාර තුනකින් යුක්තව අපට අවබෝධ කර ගත හැකිය.

එය නියමිත නිශ්චිත කාලය ඉක්මවා ගිය අතිකාල එකකි. (Learning involve overtime) කෙටිකාලීන අධ්‍යයනය ඉගෙනීම අත්දැකීම් සිතට නංවයි. (Learning occur to experience) ඉහත අධ්‍යයන ක්‍රම තුන ගැන සලකා බැලීමේ දී පුද්ගල චර්යාව සඳහා ඇති නිපුණත්වයේ ශක්‍යතාව (capacity) පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය.

යම් පුද්ගලයකුගේ අධ්‍යයනය තුළින් ඔහු වෙනත් ආකාරයක ක්‍රියාකාරිත්වයක් සඳහා නිපුණතාවක් ලබා ගනී. ඒ මගින් සිදුවන්නා වූ චර්යාත්මක වෙනස්කම් ඔහුගේ ඍජු චර්යාවන් හඳුනා ගත නොහැකි වුවත් අවසන් ප්‍රතිඵලය වෙනස්වන බව හඳුනාගත හැකිවේ. එහිදී අනෙකුත් පුද්ගලයන් ඒ සම්බන්ධ සාධාරණ විනිශ්චයක් ලබා දීම ද අපට හඳුනා ගැනීමට පුළුවන.

එබැවින් අප සාමාන්‍යයෙන් හඳුනා ගන්නා චර්යාත්මක වෙනස්කම්වලට අමතරව ඔවුන්ගේ හැකියා, දැනුම හා චර්යා (skills, knowledge, behaviour) පිළිබඳ සැලකිය යුතු වෙනස්කම් ඇතිබව අවබෝධ කර ගත හැකිය. එනම් අධ්‍යයනය තුළින් පුද්ගලයා තුළ ඇතැම්විට බාහිරට නොපෙනෙන නමුත් පුද්ගලයා තුළ විශේෂ හැසිරීම් විධියක්, පිළිවෙළක් නිර්මාණය වෙයි. හොඳ දේ යැයි සලකන දේ ඉගෙන ගන්නා ළමයා හොඳ ආකල්ප සහිත පූර්ණ මිනිසකු බවට වර්ධනය වේ. මෙහි දී ළමයාට ජීවන නිපුණතා අත්පත් කර ගැනීම ද වැදගත් වේ.

දෙවැනි අවස්ථාව සැලකිල්ලට ගැනීමේ දී ඇතැම් පුද්ගලයන්ගේ චර්යා හෙවත් හැසිරීම් තාවකාලිකව වෙනස් වීමට පුළුවන. එහි දී පුද්ගලයන් භාවිතා කරන මත්ද්‍රව්‍ය, ඖෂධ, මානසික ස්වභාවය, කායික සෞඛ්‍ය තත්ත්වය ආදිය ඊට බලපෑ හැකිය. නමුත් මෙවැනි තත්ත්ව අදාළ හේතුව ඉවත් වූ විට ඉවත් වෙයි.

එනිසා එය තාවකාලික ත්තත්වයකි. උදාහරණයක් හැටියට බීමත් පුද්ගලයකු මත නිසා සිහිය අවුල්ව ගියත්, ප්‍රකෘති ස්වභාවය වෙනස් වී චර්යා වෙනස් වුවත් මත නැතිව, “වෙරි” සිඳී ගිය පසු ඒ තැනැත්තා යථා තත්ත්වයට පත් වේ. එසේ නමුත් අධ්‍යයනය කළ දෙයක් කාලයත් සමග අමතක වී යයි. නමුත් ඉතා සුළු කාලයක් පවතින යම් වෙනස්වීමක් අධ්‍යයනයක් ලෙස හඳුනා ගත හැකිය. එසේ ම අධ්‍යයනයක් තුළ කරන්නා වූ වෙනස්කම කෙතරම් කලක් පවතින්නේ ද යන්න තවදුරටත් සොයා බැලිය යුතුව තිබේ.

ඉගෙනීම හෙවත් අධ්‍යයනය අත්දැකීම් තුළින් සිදුවීම පුද්ගලයාගේ අධ්‍යයනය නිරීක්ෂණය කිරීම තුළ සහ භාවිතා කිරීම තුළ අප ළමා කාලයේ සිට ම නොයෙකුත් දේවල් භාවිතාව තුළින් සහ නිරීක්ෂණය කිරීම තුළින් ඉගෙන ගැනීමක් සිදුවේ. උදාහරණයක් හැටියට අපගේ භාෂාව සැලකීමේ දී එහි සාර්ථකත්වය සඳහා අප ජීවත් වන පරිසරය මනා පිටිවහලක් වේ.

අන්තර් පුද්ගල සන්නිවේදනයේ මාධ්‍යය භාෂාවයි. අප එකිනෙකා අතර සන්නිවේදන කාර්යයන් කිරීමේ දී අප‍ගේ හැඟීම් ප්‍රකාශනය කිරීමේ දී භෂාව භාවිතා වේ. මෙහි දී එය වාචික හා අවාචික ලෙස වර්ග කළ හැකිය. වචන හා ශබ්ද භාවිතයෙන් ද ශරීරයේ අංග චලනයෙන් කායික වශයෙන් හැඟීම් ප්‍රකාශනය ද සිදු කෙරේ. ඉඟි බිඟි පෑමේදී ද නිකුත් කරන සංඥා සන්නිවේදන කාර්යයක් ඉටු කරයි.

භාෂාව පිළිබඳව සැලකීමේදී එය හුදෙක් වචන පුකාශ කිරීමට එහා ගිය අන්තර් සම්බන්ධතාවක් එම ක්‍රියාවලිය තුළ සිදු වේ. එහිදී ජානමය බලපෑම තිබුණ ද ඉගැන්වීම මව්පියන්ගේ සමාජ සම්බන්ධතා සහිත පරිසරය දරුවාගේ භාෂාවේ නිපුණතාව සඳහා ඍජුව ම බලපෑම් ඇති කෙරේ. මෙම තත්ත්වය මැෂ්බර්න් (Mashburn), ජස්ටික් (Justic), ඩවුනර් (Downer) සහ පියැන්ටා (Pianta) නම් විද්‍යාඥයන් විසින් 2009 දී තහවුරු කර තිබේ. මේ තත්ත්වය තවත් ආකාරයකට අවබෝධ කරගත හැකි වන්නේ දරුවාගේ වර්ධන ක්‍රියාවලියේ දී ඔවුන්ට තහංචි පැනවීම මගින් බොහෝ අධ්‍යයනයන් කරගත නොහැකි බවය.

උදාහරණයක් හැටියට බොහෝ මව්පියෝ ද, ගුරුවරු ද, ළමයින්ට හැමවිටම හැමදේටම තහංචි දැමීමට උත්සුක වෙති. එහෙත් එය දරුවාට කරන බරපතළ හානියක් සිදුකිරීමට හේතුවන බව ඔවුහු කල්පනා නො කරති. තමා අවට පරිසරය ගැන, ලෝකය ගැන දැනුම ලබා ගැනීමේ කුතුහලයෙන් පිබිදී එන දරුවාට නෑ, බෑ, එපා වැනි වචන අරහං ය.

ළමයාගේ ජීවන නිපුණතා ගොඩ නංවා ගැනීම සඳහා මේවා බාධක වේ. ළමයාට සුරක්ෂිත බව ලබා දීම සඳහා පරිසරය හා ගැටීම, සබඳතාව නවතාලීමෙන් සිදු කිරීමට උත්සාහ දැරීම වැරදිය. පරිසරයේ ඇති බාධක දරුවා හඳුනාගත යුතුය. ඒවා ගැන අවබෝධයක් ලබා ගත යුතුව ඇත. එසේ නොවූ විට දරුවාට අනාගත පරිසර, සමාජ අභියෝගවලට මුහුණ දීමට, ඒවා ජය ගැනීමට අපහසු වේ. දරුවාට කියා දිය යුතු වන්නේ නොවැටී සිටින්නට ම නොවේ. වැටි වැටී නමුත් නැගී සිටින්නට ය.

“විභාගෙට තව දවස් කීයද? පුතා සෙල්ලම් කිරීම නවත්වන්න…”, සාමාන්‍යයෙන් මව්පියෝ එසේ කියති. එපමණක් නොව ළමයා මඳ ‍විවේකයක් ගන්නවාට ද ඔවුහු අකමැති වෙති. එසේ ම ළමයි පාඩම් කිරීමට හැර වෙනත් කිසිවකට යා නො දී කාමරයක සිරකර ළඟට කෑම බීම සපයමින් පාඩම් කිරීමට සහාය දෙති. නමුත් පාඩම් කිරීම, මතකය හා මතක තබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව අප මින් ඉහත අධ්‍යයනය කළ කාරණා ගැන මඳක් වත් ඔවුහු නො සිතති. එක දිගට ම පාඩමකට යොමු වීම තුළින් මතකය පිළිබඳ ප්‍රතිඵල සාර්ථක නොවේ.

උත්සාහය අසාර්ථක වේ. පාඩම් කිරීමේ දී යම් කාල කොටසකට පසුව මනසට විවේකයක් ලැබිය යුතුව ඇති බව අපි මීට ඉහත පැහැදිලි කර ඇත්තෙමු. පාසල්වල අධ්‍යයන කාලසටහන් වල විනාඩි 40 හෝ 45 වශයෙන් එක් විෂයයක් ඉගැන්වීම සඳහා නිශ්චිත කාල පරිච්ඡේදයක් තීරණය කර ඇත්තේ ද ඒ හේතුවෙනි. ඒ ළමයාට එක දිගට පාඩමකට යෙදිය හැකි කාලයයි. විභාගයක් ළං වුණා යැයි කියා මේ මනෝ විද්‍යාත්මක සත්‍යය යටපත් කර ක්‍රියාකළ හැකි නොවේ.

දවස තිස්සේ විවේකයක් නො‍ ගෙන ම පාඩම් කිරීම සාර්ථක නොවේ. මනසට විවේකය අවශ්‍ය බව දැනුණු විට එම ක්‍රමය වෙනස් කරගත යුතුය. පන්ති කාමරයේ සිටීනම් මඳක් ඉන් එළියට ගොස් වතුර ටිකක් බී වෙනසක් කරගෙන යළි පාඩමට අවතීර්ණ විය හැකිය.නිවසේ දී නම් පාඩම් කරමින් සිටි කාමරයෙන් හෝ ඒ ස්ථානයෙන් නැගිට මඳක් එළිය පහළියට ගොස් ඇවිද ඉරියව් වෙනසක් කරගෙන වෙනසක් කරගත හැකිය. එවිට යළි පිබිදුණු ගතියෙන් යුතුව පාඩමට යොමුවිය හැකිය.

Recommended For You

About the Author: Editor