සැබෑ දේශප්‍රේමීන් කවුද යන්න අපට පෙන්වා දුන්නේ ‘ඉල් මහ විරුවන්’ – අනුර කුමාර

අද (13) ගාල්ල සමෝදා ශාලාවේ පැවති 30වැනි ඉල් මහ විරු සමරුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මහ ජවිපෙ ප‍්‍රචාරක ලේකම් ටිල්වින් කළ සම්පූර්ණ කතාව.

අපේ රටේ පහළවූ ශ්‍රේෂ්ටම දේශපාලන මිනිසා විජේවීර සහෝදරයායි. ඔහුව ඝාතනය කරලා අදට අවුරුදු 30ක් වෙනවා. ඔහු සමග අපේ සහෝදර සහෝදරියන් දහස් ගණනක් එජාප ආණ්ඩුව විසින් ඝාතනය කළා. ඒ සහෝදරවරුන්ගේ මතකය හැමදාමත් අපේ හදවත් පතුලේ තැන්පතක් වෙලා තිබෙනවා. එදා ඉන්දියානු හමුදාව ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කළා.

අද එවැනි ආකාරයේ ආක්‍රමණයක තර්ජනයක් නොවූවත් විවිධ වර්ගයේ තර්ජන අපේ රටට එල්ල වෙලා. එනිසා එදා තත්වයයි අද තත්වයයි කියලා වෙනසක් නැහැ. කොළඹ වරායේ වැදගත්ම කොටස්, හම්බන්තොට වරාය, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවලින් කිහිපයක් අද විදේශිකයන් අතේ. ත්‍රීමලය වරායටත් බලපෑම් එල්ල වෙලා. රටේ වැදගත් ආර්ථික මර්මස්ථාන රාශියක් විදේශිකයන් අතේ. මේ දෙගොල්ලම එකතුවෙලා කළේ රට විකුණන එකයි.


අපේ රට විදෙස් බලවතුන්ට යට කළ ගිවිසුම් ගණනාවක් මේ වෙනකොටත් අත්සන් කරලා. තවත් ගිවිසුම් අත්සන් කිරීමට කැසකවනවා. ඒ නිසා එදාටත් වඩා අපේ රටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය අහෝසි වෙමින් තිබෙනවා. ජාතික සම්පත් බහුජාතික සමාගම්වලට පවරා දීලා. ඉඩම් විශාල ප්‍රමාණයක් රාජපක්ෂ පාලන සමයේ ඇමරිකානු සමාගම්වලට පවරා දුන්නා. කල්පිටිය දූපත් පවා වික්කා.

1988-89 අරගලය කියන්නේ රට පාලනය කළ පාලකයන්ගේ මර්දනයටත් විදේශ ආක්‍රමණයටත් එරෙහිව කරපු අරගලයක්. ඒ අරගලය වෙනත් ස්වරූපයකින් අද අපට කරන්න වෙලා තිබෙනවා. රට විකුණන අයම අද දේශප්‍රේමීන් යැයි කියා ගන්නවා. සැබෑ දේශප්‍රේමීන් කවුද යන්න අපට පෙන්වා දුන්නේ ඉල්මහ විරුවන්.

අපේ පක්ෂය, අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය මර්දනය කිරීමේ උත්සාහය අදටත් පාලකයන් විසින් අත්හැර නැහැ. වරාය පවරාදීමට එරෙහිව සටන් වැදුණු කම්කරුවන්ට රනිල්ලාගේ ආණ්ඩුව එලව එලවා පහර දීලා අතපය කඩා දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන එදාට වඩා අරගලයක් අද අපට තිබෙනවා. අපේ රටේ ආර්ථික විනාශ වී හමාරයි. එය පෙරළා ජන ජීවිතයට පහර පිට පහර දෙමින් තිබෙනවා. එනිසා අද අරගලයේ අවශ්‍යතාව එදාටත් වඩා වැඩියි. මෙවැනි අවස්ථාවල අතපය හකුළාගෙන නොසිට ධෛර්යවන්තව සටන් වැදුණු මිනිස්සු තමයි ඉල් මහ විරුවන්. එවැනි අභිමානවත් අතීතයක් සහිත පක්ෂයක් අපි. අපි සමරන්නේ ඉල් මහ විරුවන්ගේ වීරත්වය පමණක් නෙමෙයි. ඔවුන්ගේ සියලු ගුණාංග අපේ ජීවිතවලටද ඇතුළත් කරගත යුතුයි.

රට පාලනය කළ සහ කරන මේ කඳවුරු දෙකම අද ඉතිහාසයේ දරුණුම කඩාවැටීමට ලක්වෙලා. එම පරිසරය ජනතාවට වාසිසහගතයි. මෙම උපරිමයෙන් වැහැරුණු මේ කඳවුරු දෙක පිළිබඳව තවදුරටත් කිසිදු බලපොරොත්තුවක් තබාගත යුතු නැහැ. එදා අපේ විරුවන් සටන් වැදුණේද මේ කඳවුරු දෙක රටට අත්කර දුන් විනාශයන්ට එරෙහිවයි. ඔවුන් අවසානයේ තම අමිල ජීවිත පවා පුද කළේ ජනතාව වෙනුවෙන්. ඔවුන්ගේ ජීවිතවලින් ගත හැකි හොඳම ආදර්ශ තවත් බොහෝ තිබෙනවා. වත්මන් පරපුරේ අපි එම ආදර්ශ අත්පත් කරගත යුතුයි. අපේ අවසන් අරමුණු ජයගන්න එය අත්‍යවශ්‍යමයි. ඒ වෙනුවෙන් සියලු දෙනාටම ධෛර්යවන්තව පෙරට එන්න කියලා අපි ආරාධනා කරනවා. 

රට අර්බුදයට ගෙන ගිය පාලක පංතියට එරෙහි එකම විකල්ප ව්‍යාපාරය අපයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපි කොතැන සිටියත් කොහොම හිටියත් අපේ පංති යුතුකම ඉටු කරන්න බැඳී සිටිනවා. ඒ සඳහා තමයි අපි මෙතැනට ඒකරාශී වුණේ. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු අපේ පංතිය වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් දිවි දුන් දහස් ගණනක විරුවන් සමරන්න තමයි අපි අද එකතු වෙලා ඉන්නේ. අද ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් මොහොතක් ගතකරමින් ඉන්නවා. ඒ සියලු ජයග්‍රහණයන්හි ගෞරවය එලෙසම ඉල් මහ විරුවන්ටත් හිමියි.

අද වෙනකොට ඉතිහාසයේ නිර්මාණය වූ දැවැන්තම සමාජ ව්‍යාපාරය අපි ගොඩනගා තිබෙනවා. ඉල් මහ විරුවන්ට පුදන ලොකුම ජයග්‍රහණයත් එයයි. අපි විශ්වාස කරනවා, දිවි පිදූ අප සගයින්ගේ අරමුණු ඉටුකිරීම සඳහා මේ ජයග්‍රහණ අපි ලොකු ශක්තියක් සපයනවා කියලා.

ඉතිහාසය ලියැවී ඇත්තේ හැම විටම සත්‍යය මතම පදනම් වි නොවෙයි. අධිපතියන්ගේ ජයග්‍රහණ තමයි ඉතිහාසයේ වැඩිපුර ලියවෙලා තියෙන්නේ. විමුක්තිය උදෙසා සටන් කළ සියලු මිනිසුන් අර අධිපතියන් විසින් නාමකරණය කළේ ද්‍රෝහීන් කියලයි. පුරන්අප්පු, කැප්පෙටිපොළ වැනි අතීත විරුවන්ටත් යටත්විජිත අධිපතියන් සැලකුවේ එහෙමයි. අපි අහනවා ප්‍රශ්නයක්. පුරන්අප්පුලා, කැප්පෙටිපොළලා මේ රටේ පාලකයන්ට වීරයන්නම් ඉන්දියානු ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදුණු ඉල් මහ විරුවන් ද්‍රෝහීන් වෙන්නේ කොහොමද කියලා. අධිපතියන් ඉතිහාස පොත්වල වීරයන් වුණාට විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණු විරුවන් ජනතා හදවත්වල වීරයන්.

දැන් පාලකයන් අප සම්බන්ධයෙන් වැරදි මත විශාල ප්‍රමාණයක් සමාජයට මුදා හැර තිබෙනවා. 88-89 ජේවීපී භීෂණය කියන එක එහෙම එකක්. ඔවුන් එය හඳුන්වන්නේ ‘ජේවීපී භීෂණය’ කියලා. නමුත් එදා ඇත්තටම තිබුණේ එජාප භීෂණයක්. රාජ්‍ය භීෂණයක්. අපට විරුද්ධව මත පළ කරන අය ඒ ගැන කථා කරන්නෙ නැහැ. ඉතිහාසය විකෘති කරලා මේ රටේ ජනතාව, විශේෂයෙන් අප කරා ඇදී තරුණ ජනයා නොමඟ යවන්න තමයි, එහෙම කරන්නේ.

අපිව ප්‍රශ්න කරමින් බොහෝ අය අවුරුදු 30ක් තිස්සෙ අහන්නෙම 88-89 ජේවීපී භිෂණය ගැන. ඔවුන් කවදාවත් අහන්නේ නැහැ, 88-89 නිර්මාණය වීමට බලපාපු දේවල් ගැන. පාලකයන් ඒ සඳහා කළ දේවල් ගැන. 88-89 ඕපපාතික දෙයක් නෙමෙයි; ඒක දේශපාලනිකව කියවිය යුතු දෙයක්.

1977 බලයට ආපු ජේආර් කොල්ලකාරී ආර්ථිකයක් රටට හඳුන්වා දුන්නා. ඊට ආවරණය සැපයීම පිණිස ඔහු පළමුව කළේ බලය වැඩිකර ගන්න එක. ඉන්පසු වම මර්දනය කළා. විධායක බලතල අතට ගත්තා. ඛේදවාචකය පටන් ගත්තෙ එතැනින්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන අය ඒකෙ මළගම පටන් ගත්තෙ කොතැනින්ද කියලා කථකරන්නෙ නැහැ. ජේආර් තමන්ගේ අරමුණු ඉටුකරගන්න විවිධ මැර කණ්ඩායම් හැදුවා. ඔවුන් යොදවලා කම්කරුවන්ට පහරදුන්නා.

සෝමපාල සහෝදරයාව මරා දැම්මා. 80 ජූලි වර්ජක කම්කරුවන් දහස් ගණනක් රැකියාවලින් දොට්ට දැම්මා. ජේආර්ගෙ මේ මර්දනකාරී පිළිවෙතට ප්‍රබලම අභියෝගය එල්ල වුණේ ජනතා විමුක්ති පෙරමුණෙන්. අපි ඒ වන විට සියලු මැතිවරණවලට සහභාගි වෙමින් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් හිටියෙ.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ප්‍රබලව ඉදිරියට එන බලවේගය ජවිපෙ බව ඔහු දැක්කා. එහෙත් ඔහුට ජවිපෙ දුර්වල කරන්න, දණ ගස්වන්න, බය කරන්න බැරිවුණා. කුමන්ත්‍රණයක් හරහා නිර්මාණය කළ කළු ජූලිය පදනම් කරගෙන ඔහු ජවිපෙ තහනම් කළා මර්දනය කිරීමට පටන් ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ වැඩ කළ ජවිපෙ තහනම් කළේ ඇයි කියලා එජාපය සහ අපට මඩ ගහන අය උත්තර දෙන්නෙ නැහැ. ඔවුන් කථා කරන්නෙ ප්‍රතිඵලය ගැන විතරයි.

1983 අපව තහනම් කලාට පස්සේත් තහනම යටතේත් අපි වැඩ කළා. අපට දේශපාලනය කරන්න කාගෙන්වත් ලයිසන් ඕනෙ වුණේ නැහැ; වෙන්නත් නැහැ. තහනම යටතේත් අවුරුදු දෙකක් පමණ අපි ඉතා සාමකාමීව කටයුතු කරගෙන ගියා. දෙස් විදෙස් රටවල්, සංවිධාන, ආයතන අපේ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ලිඛිත දැනුවත් කිරීම් කළා. නමුත් පළක් වුණේ නැහැ. දිගටම අපේ සහෝදරවරු මර්දනය කරන්නත් ඝාතනය කරන්නත් පටන් ගත්තා. විජේවීර සහෝදයාව පවා ඝාතනය කරන්න සැලසුම් කළා. එහිදී අප තෝරාගත යුතු මඟ කුමක්ද? ඒ මඟ අප කැමැත්තෙන් තෝරාගත් මඟ නෙමෙයි. පාලකයින් අපව ඒ මඟට තල්ලු කළා.

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ඉන්දියානු හමුදාව අපේ රට ආක්‍රමණය කළා ඊට එරෙහිව ජනතාව සාමකාමීව පෙළපාලි ගියා. ජේආර් හෙළිකොප්ටර් යොදලා ඒවාට වෙඩි තිබ්බා. එහිදී සහෝදරවරු 148ක් මිය ගියා. එවැනි තත්වයක් හමුවේ නිහඬව ඉන්න පුළුවන් නිවටයින්ට විතරයි. අපිට මඩ ගහන කවුරුවත් ඒවා ගැන කථා කරන්නේ නැහැ. එදා අපි සටන් කළේ අපේ දේශයේ විමුක්තිය වෙනුවෙන්. නැතුව රටේ සම්පත් කොල්ලකන්න, අපරාධ, වංචා දූෂණවල යොදෙන්න නෙමෙයි. ඒ සටනේදී තමයි රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක වැනි අපේ නයක සහෝදරවරුන් ඇතුළු 60,000ක් පමණ ඝාතනය කළේ. ආයුධ සන්නද්ධ සටනක් කියන්නේ තේ පැන් සංග්‍රහයක් නෙමෙයි. ඒ සටනේදී අපි අතිනුත් වැරදි සිද්ධ වුණා. ඒවා අවම කරගන්න අපි සමත් වුණා. අපි සටන් කළේ ජනතාවට හොඳ රටක් නිර්මාණය කර දෙන්න.

ලෝක දේශපාලන ඉතිහාසයේ මිනිස්සු සටන් කළේ එකම ආකාරයට නෙමෙයි. දැන් ආයුධවලින් සටන් කරන එක අතීතයට අයිතියි. අද අලුත් පරපුර සටන් කරන්නේ අදහස්වලින් කියලා කස්ත්‍රෝ කියලා තියෙනවා. මතවාදීව අපිත් එක්ක සටන් වදින්න සතුරා අද අසමත් වෙලා. ඒ නිසා අවලාදවලින් අපිට ගහන්න පටන් අරන්. අවලාදකරුවන්ගේ වැඩිම ප්‍රහාරයට ලක්වෙලා ඉන්නේ අපේ අනුර සහෝදරයායි. සතුරාට අප සමග සටන් වදින්න මතවාදී විද්‍යාවක් නැහැ.

88-89 සිදුවීම් නිතර නිතර මතක් කරමින් අවලාද නගන්නේ ඒ නිසා. ඉන් ඔවුන් අරමුණු දෙකක් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ජනතාව හා අප අතර සම්බන්ධය කැඩීම එකක්. අවලාදවලට උත්තර දෙන්න පොළඹවා අපේ කාලය කා දමා අපව හෙම්බත් කිරීම තමයි අනෙක් එක. අපි උත්තර දෙන්නෙ අත්‍යවශ්‍ය දේවලට පමණයි. වින්ස්ටන් චර්චිල් වරක් කිවුවා, ඔබ ගමනක් යන විට ඔබට මඟදි බුරන හැම බල්ලාටම ගල් ගහන්න ගියොත් ඔබට ඒ ගමන යන්න වෙන්නෙ නැහැ කියලා.

අද අපි දැවැන්ත මහජන ව්‍යාපාරයක් හදන්න පදනම දමා හමාරයි. මේ වෙනකොට ඒ සඳහා විද්වතුන්, කලාකරුවන් විවිධ ක්ෂේත්‍රවල වැඩකරන සංවිධාන, වමේ කණ්ඩායම්, තරුණ කණ්ඩායම් එකතු වී සිටිනවා. දැන් සතුරාට අපව හුදෙකලා කරන්න බැහැ. අද ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම එකම අභියෝගය අපි. ඒකම අපේ ජයග්‍රහණයක්. අපේ අනාගත ජයග්‍රහණය ස්ථීර බවට පූර්ව සංඥාවක්. අද රට අර්බුදයට ඇදගෙන ගිය අධිපති පාලක පංතියට එරෙහි එකම විකල්ප ව්‍යාපාරය අපයි. මේ සියලු දේවල්වල ගෞරවය ඉල් මහ විරුවන්ට හිමි විය යුතුයි

Recommended For You

About the Author: Editor