අවසන් ජනරැළිය GR: සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීමට සූදානම් – ගෝඨාභය රාජපක්ෂ

ඉදිරියේ දී නොයෙකුත් බොරු අවලාද,අපහාස කිරීමට ඉඩ ඇති නමුත් අභූත චෝදනාවලට නොරැවටී පොහොට්ටුව ඉදිරියේ ඡන්දය භාවිත කොට විජයග්‍රහණයට සැරසෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රාහී අවසන් ජනරැලියට කැස්බෑවේ දී ඊයේ (13) එක්වෙමිනි. ​ ​සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව ඔස්සේ සංවිධාන කර තිබුණු එම ජනරැලිය අමතමින් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

බොරු අවලාද අපහාස ගෙන එයි. ඔබ බුද්ධිමත් ජනතාවක්. ඒ අභූත චෝදනාවලට රැවටෙන්නේ නැතිව පොහොට්ටුවට ඡන්දය භාවිත කරන්නයි අපි ඉල්ලා සිටිනවා. ඉතා පිරිසුදු මැතිවරණ ප්‍රචාරයක යි අපි යෙදුනේ. අපේ ජය අපිට සහතිකයි. ජයග්‍රහණය සාමකාමිව භුක්ති විදින්න. අපි මේ රට නඟන රට හදන වැඩපිළීවෙළ ඔබට ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි හැදුවේ මේ රටේ ඉන්න වෘත්තිකයන් බුද්ධිමතුන් ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කරලා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් විදියටයි. ඒ සමඟම ගම සමඟ පිළිසඳරක් යටතේ ඔබේ අදහස් ගෙන ඒවාත් මේ වැඩපිළිවෙළ එකතු කර තිබෙනවා. මේ ප්‍රායෝගික වැඩපිළිවෙළේ තිබෙන සෑම කරුණක්ම අපේ ධූරකාලයේ අවසන් කරනවා.

කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන්න ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කර තිබෙන්නේ. කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය කඩා වැටිලා. අපි දේශිය වැවිලිකරුවා ගොඩ නැංවිම සඳහා කිසිදු වැවිලි බෝගයක් මෙරටට ගෙන්වන්න දෙන්නේ නැහැ. අපේ රජයක් යටතේ දේශිය කර්මාන්තකරුවා දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගන්නවා. ඒකටයි අපි පැහැදිලි බදු ක්‍රමයක් හදුන්වා දී තිබෙන්නෙ. මේ සංකීර්ණ බදු ක්‍රමය නිසා ව්‍යාපාර කඩා වැටිලා. අපි අනවශ්‍ය බදු ඉවත් කර සරල බදු ක්‍රමයක් ඉවත් කරලා තියෙනවා. වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරලා ආර්ථිකය ඉදිරියට ගෙන යන ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කර තිබෙනවා. අද මේ රටේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය නැති නිසා සංචාරක ක්ෂේත්‍රය කඩා වැටිලා.

අද ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල මධ්‍යම පන්තියක් ඇති වෙලා තිබෙනවා. ඒ සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන්නත් ආගමන විගමන ක්‍රමවේද පහසු කරන්නත් අවශ්‍යයි. ඒ වගේම ආසියාවේ ආර්ථීකය තාක්ෂණය මුල්ව දියුණු වෙලා තියෙන්නේ. අපි තරුණ තරුණයන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය හරහා විශාල වශයෙන් රැකියා උත්පාදනය කරනවා. මේ ක්ෂේත්‍රයේ රැකියා ගන්න උපාධි අවශ්‍ය නැහැ. අපි කෙටි කාලයක් තුළ තරුණයා මේ සඳහා පුරුදුකර, ආර්ථිකයට සරිලන රැකියා සඳහා අවස්ථා ලබා දිය යුතුයි.

ඒ වගේම විනයගරුක, නීතිගරුක ගුණගරුක සමාජයක් අපි ඇති කරනවා. අපි හැමදාමත් අභියෝග භාරගත්ත කණ්ඩායමක්. අපි භාරගත්ත සෑම වගකීමක්ම අපි ඉටු කළා. ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වන නගරය බවට කොළඹ නගරය පත්කරන්න මට පුළුවන් වුණා. කොළඹ දුප්පත් පැල්පත් වාසින් වෙනුවෙන් මහල් නිවාස ඒකක 20000ක් හැදුවා.

Recommended For You

About the Author: Editor