ජාතික ජනබලවේගයේ ප්‍රාර්ථනාව ‘සැමට හොඳ ජීවිත ලබාදීමයි’ – අනුර කුමාර දිසානායක

‘සැමට හොඳ ජීවිතයක් ලබාදීම අපේ ප්‍රාර්ථනාවයි. එළඹෙන 16 දින නිවැරදි තීරණයක් ගන්නග එයින් අපි අසමත් වුණත් නැවත නැවතත් ඒ ගමන සඳහා අපි කැපවෙනවා’ යැයි ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) මහරගම පැවති ජාතික ජනබලවේගයේ අවසන් ප්‍රචාරක රැළියේදී අවධාරණය කළා.

මෙම ජනරැළිය සදහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ නායකයින් සහ නියෝජිතයින් පිරිසක් සහභාගී වුණා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

මේ රට ගොඩනැගීම සඳහා නිවැරැදි දැක්මක් වැඩපිළිවෙළක් හා ශක්තියක් ඇති වේදිකාවක් අපට තියෙනවා.

මේ වේදිකාවේ සතයක්වත් හොරකම් කළ අය නැහැ. නිර්මාණ ශක්තියක් ඇති ජනතාවගේ පැත්තේ සිටි විශ්වවිද්‍යාල සිසුන් තම දැනුමින් පෝෂණය කළ ආචාර්යවරු මහාචාර්යවරු සිටිනවා. ඔවුන් තම දැනුම රට ගොඩනැගීම සඳහා කැපකිරීමට සූදානම්. පෞද්ගලික අංශයේ සාධාරණ ලෙස කටයුතු කරණ පිරිසක් තවත් වෘත්තිකයන් ඉන්නවා. ධීවරයන් ගොවියන් කම්කරුවන් තමයි මේ රට ගොඩගත් බලවේගය වියයුත්තේ යැයි මහරගම නගරයේ පැවැති ජන බලවේගයේ රැලියේ දී ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

පැවැති වර්ෂා සහිත කාලගුණයද නොතකා විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. එමෙන්ම ජන බලවේගය සංවිධානය නියෝජනය කරමින් එහි නායකයන් රැසක් වේදිකාවේ අසුන්ගෙන සිටි අතර සිය කතාව කරමින් දිසානායක මහතා මෙසේ ද කීය.

අද අප සමඟ තරග වදින ප්‍රධාන පාර්ශ්ව දෙකම හොරකම හා වංචාව ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන සජිත්ට ‍ හෝ කතා කරන්න බැහැ.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයුතු කරද්දී වැදගත්ම අමාත්‍යාංශ සිය භාරයේ තබාගෙනයි කටයුතු කළේ. එකම පවුලකට යටත්ව තිබූ සියලු සංවිධානවල බලය දේවාල නිලමේ සිට නායක හිමිවරු පත්කිරීමේ බලයද ඔවුන් පවරාගෙන තිබුණා.

මිග් යානා 4ක් යුක්‍රේනියාවෙන් ඇනවුම්කර අතර මැදි සමාගමක් මඟින් ඩොලර් මිලියන 7ක් වංචා කළා.

ඒ ගැන මාධ්‍යයේ පලවෙනකොට මාධ්‍යවේදීන් ඝාතනය කළා පමණක් නොව වදදීම් ද කළා. තවමත් විදේශවල ඒ අය දුක් විඳිනවා.

කටුනායක සේවක අර්ථසාධක මුදල් මංකොල්ලයට විරෝධය හලාවත ඉන්ධන මිල ඉහළයාම ගැන වූ වි‍‍රෝධය පෑමේදී සිදවූ සිද්ධීන් ජනතාවට අමතන නැහැ.

“සියත” ආයතනයට පහරදීම් යාපනය “උදයන්” කාර්යාලයට පහරදීම වැනි සිද්ධි නිසාම 2015 ජනවාරි 08 දින ඒ පාලනය නිමා කළත්, නැවතත් ඔවුන් එම බලය ලබා ගැනීමේ උත්සාහ ගන්නවා. ඒ පාලනය නැවතත් පිහිටුවීමට ඉඩ ලබානොදිය යුතුයි.

එදා ඔවුන් පරාජය කර සුදුපිරුවට අන්දවා යළිත් ඇති කළ මෛත්‍රී රනිල් පාලනය තුළ මහ බැංකුවට ගැහුවා. ඒ වංචාවට ආණ්ඩුවේ ඇමතිවරු වැඩිහරියක් සම්බන්ධ බව පැවසෙනවා.

ප්‍රාඩෝ රථ නිදහස් කිරීමෙන් මුදල් වංචාකර තිබෙනවා. හම්බන්තොට වරාය සහිතව අක්කර 15000ක් චීනයට පැවරුවා.

දැන් මේ කඳවුරු දෙකම අවතැන් වෙලා. කවුරුත් හොරකමට ගෑවිලා. ඒ නිසා වේදිකාවේ ඒ ගැන කතා කරන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ සයින්දමරුදු ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් දෙන්න පොරොන්දුවීම තුළ සිදුවන්නේ ජාතිවාදය ඇවිස්සීමක්.

පාර්ලිමේන්තුවේ අවුරුදු 10 ක් සිටිය සජිත් කිසිදු දැක්මක් ඇති අයෙක් නොවෙයි.

උතුරු නැගෙනහිර ජාතික කොඩිය ඉවත් කළ එවක මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් අද බැසිල් රාජපක්ෂ සමඟ මිත්‍රවෙලා මහින්ද අද උතුරට එකක් කියා දකුණට තවත් එකක් කියනවා. නමුත් අපේ අරමුණ වී ඇත්තේ තරුණ පරම්පරාවට සුදුසුකම් අනුව රැකියා අවස්ථා ලබාදීම, මවුවරු පියවරු මහමග දමා යන වත්මන් තත්ත්වය වෙනස් කර ශක්තිමත් ලෙස ලෙන්ගතුකමින් යුතුව ඔවුන් රැකබලා ගැනීමේ වැඩසටහන්

ආබාධිත අය සඳහා බොහෝ දියුණු රටවල පහසුකම් දෙන ආකාරයට රෝහල් සේවයේදී පහසුකම් උපරිමව ලබාදීම හා ප්‍රවාහන පහසුකම් සහිතව රැකබලාගැනීම විශේෂයෙන් ලක්ෂ 17 ක් පමණ වූ එම ආබාධිත අය සඳහා සෙසු පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් ලබාදීම හා ඔවුන් රැකබලා ගැනීම, කාන්තාවන්ට කිසිවෙකුටත් සමාජ පීඩාවන් ඇතිවීමට ඉඩනොදී ඔවුන් සඳහා නිදහස් ජීවිතයක් නිර්මාණය කිරීම.

රෝගී ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් (ප්‍රතිකාර) පහසුකම් ලබාදීම අපේ වගකීමක් ලෙස මා සලකනවා.

සැමට හොඳ ජීවිතයක් ලබාදීම අපේ ප්‍රාර්ථනාවයි. එළඹෙන 16 දින නිවැරදි තීරණයක් ගන්න. එයින් අපි අසමත් වුණත් නැවත නැවතත් ඒ ගමන සඳහා අපි කැපවෙනවා.

Recommended For You

About the Author: Editor