‘රෝයල් පාක් ඝාතකයාට ජනපති සමාව ලබාදුන්නාට එරෙහිව ‘මූලික අයිතිවාසිකම් පෙත්සමක්’

මහත් ආන්දෝලනයට ලක් වූ රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ‘කාන්තා මාධ්‍ය එකමුතුව’ නැමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

“ දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව  මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.

ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.

මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

‘රෝයල් පාක්’ ඝාතකයාට සමාව දීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීන්දුවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල විය. එම විවේචන හමුවේ ජනපති මාධ්‍ය ඒකකය සදහන් කළේ අතුරලියේ රතන භික්ෂුව සහ තවත් අන්‍යාගමික පූජකතුමන්ලා හා සිවිල් සංවිධාන විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරු ජනපතිවරයා මෙම පියවර ගත් බවයි.

එහෙත් ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනය වහාම ප්‍රතිචාර දක්වමින් ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණන් වහන්සේ කියා සිටියේ තමන් කිසිදු අවස්ථවක අදාළ වරදකරුවට ජනපති සමාව ලබා දෙන මෙන් නොඉල්ලු බවයි.

කෙසේ වුවත් තමන් මිට වසර කිහිපයකට පෙර සිරගතව සිටින තරුණ පිරිස් සඳහා යහපත් අධ්‍යාපනයක් ලබාදීමට හැකි හා ඔවුන් තුල ධනාත්මක සිතුවිලි වර්ධනය කරලීම සඳහා උදව් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බවත්, එය සිදුකලේද බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු තමන් හමුවීමට පැමිණි සිදුකළ ඉල්ලීමක් අනුව බවත් ගාල්ල රදගුරු හිමියන් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

රෝයල් පාර්ක්   චුදිතයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා තමන් ඒ සිදුකළ ඉල්ලීම යොදා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එම වැරැද්ද සිදුකරන ලද පාර්ශව ඒ සඳහා වන වැරැද්ද පිළිගත යුතු බවද එහි වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම මෙම ක්‍රියාව නිසා තමන්ටද, ගාල්ල රදගුරු පදවියට මෙන්ම කතෝලික ජනතාවටද විශාල කැළලක් ඇතිව තිබෙන බවත්  රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ පියතුමන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගාල්ල රදගුරු හිමියන් නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

image edeb53cb73

Recommended For You

About the Author: Editor