ඔසප් සමයේ කාන්තාවන්ට ‘සබරිමාලා කෝවිල් දොරටු ඇරීම: ඓතිහාසික තීන්දුව අවධානමේ

මාසික ආර්තවය සිදුවෙන වයසේ පසුවෙන කාන්තාවන්ට, මතභේදයට හේතු වී ඇති හින්දු කෝවිලකට ඇතුල්වීම සඳහා නෛතික අයිතිය ලබාදෙමින් කලින් ප්‍රකාශිත ඓතිහාසික තීන්දුවක් යළි සලකා බැලීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ විය,

එම අධිකරණයේම පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් පසුගිය අවුරුද්දේ දෙන ලද තීන්දුවකින් ප්‍රකාශ වුණේ, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ‘සබරිමාලා’ (Sabarimala shrine) කෝවිල කාන්තාවන්ට තහනම් කරනු ලැබීම “වෙනස්කොට සැලකීමක්”(discriminatory) වන බවය.

කාන්තාවන්ට කෝවිලට පිවිසීමේ අයිතිය තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එසේ නොකිරීම එක්තරා සමාජ කණ්ඩායමක් කොන්කිරීමක් (untouchability) වන බව පෙන්වා දුන්නේය.

එහෙත් කාන්තාවන් කෝවිලට පිවිසීම දෙවියන්ගේ අභිලාෂයට එරහිව යාමක් යයි එම තීන්දුවට එරෙහි කණ්ඩායම් කියා සිටිති.

වයස අවුරුදු 10 සිට 50 දක්වා “ඔසප් සීමාවේ” පසුවන කාන්තාවන්ට ‘සබරිමාලා’ කෝවිලට ඇතුළු වීම මුල් අධිකරණ තීන්දුව තෙක් තහනම් කර තිබිණි.

එම තහංචිය ඉවත් කරමින් පසුගිය වසරේ දෙනලද අධිකරණ තීන්දුව කේරළ ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාර පැතිරයාමට පවා හේතුවිය.

කෙසේවුවද, පළමු අධිකරණ තීන්දුව යළිත් සලකා බැලීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකඟවීම ‘සබරිමාලා’ කෝවිලේ දොරටු විවෘත කර ගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදුන කාන්තාවන් දැඩි කෝපයට පත් කිරීමට හේතුවනු ඇත.

මාසික ආර්තවය සිදුවෙන කාන්තාවන් අපවිත්‍ර යයි සලකන හින්දු දහම, ආර්තව වයස් කාණ්ඩයේ පසුවෙන කාන්තාවන් ආගමික වතාවත්වලට සහභාගී කරගනු ලැබීමෙන් ඈත්කර තබයි.

සබරිමාලා
කාන්තාවන්ට කෝවිල් දොරටු වසන ලෙස කියා සිටින විරෝධතාවාදියෙක්

ඉන්දියාවේ වෙනත් බොහෝ හින්දු කෝවිල් කාන්තාවන්ගේ මාසික ආර්තව කාලසීමාව තුළ පමණක් ඔවුන්ට එම ආගමික ආයතනවලට ඇතුල්වීමට ඉඩ නොදෙන අතර, ඇතැම් කාන්තාවෝ ආර්තව කාලය තුළ ස්වේච්ඡාවෙන්ම කෝවිල් කරා යාමෙන් වැළකී සිටිති.

එහෙත් ‘සබරිමාලා’ කෝවිල වයස අවුරුදු දහයත් – පනහත් අතර කිසිදු කාන්තාවකට තම භූමියට පිවිසීමට ඉඩ නොදෙයි.

කාන්තාවන්ට එම කෝවිලේ දොරටු විවෘත කළ යුතු බව පැවසෙන පසුගිය වසරේ තීන්දුව අභියෝගයට ලක්කරමින්, එය යළි සලකා බලන ලෙස ඉල්ලා සිටින පෙත්සම් රාශියක් ඉදිරිපත්ව තිබුණ අතර,මෙම බ්‍රහස්පතින්දා (නොවැම්බර් 14) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් එම පෙත්සම් විමසා බලමින්, වඩාත් වැඩි සාමාජික සංඛ්‍යාවක් සහිත විනිශ්චය මණ්ඩලයක් (පූර්ණ විනිශ්චය මණ්ඩලයක්) ඉදිරියේ යළි සලකා බැලීමක් සිදු කෙරෙනු ඇතැයි ප්‍රකාශයට පත් කළහ.

එම නව අධිකරණ විමර්ශනයේ තීන්දුව කුමක් වුවද එය ප්‍රකාශයට පත්කෙරෙන තෙක් කලින් තීන්දුව අනුව කාන්තාවන්ට ‘සබරිමාලා’ කෝවිල වැඳීමට නීතියෙන් අවසර ඇත.

එහෙත් කාන්තාවන්ට ‘ඉදිරිය’ පහසු නොවන බවක් දක්නට ලැබේ.

සබරිමාලා
සිය පවුලේ විරෝධය නොතකා සබරිමාලා කෝවිලට ඇතුල් වූ මෙම කාන්තාව පවුලෙන් නෙරපා හරිනු ලැබුණි. “දෙවියන් වැඳීමට ගොස් පවුල අහිමි කාන්තාවක්”

අලුත් අධිකරණ තීන්දුව අගය කරන ‘සබරිමාලා’ කෝවිලේ පාලක මණ්ඩලය කෝවිල කාන්තාවන්ට තහනම් කරන ලෙස අභියාචනය කරති.

පසුගිය අධිකරණ තීන්දුවෙන් අනතුරුව විරෝධතාවාදීන් විසින් කෝවිලට පැමිණි කාන්තාවන් ආපසු හරවා යවනු ලැබූ අතර ඇතැම් කාන්තාවන්ට පහර දුන්හ.

එම කෝවිල දෙසට ධාවනය වෙමින් තිබුණ රථ වාහන අතරමඟ නතරකළ විරෝධතාවාදීන් මාසික ඔසප්වීම සිදුවිය හැකි වියේ (වයස අවුරුදු 10-50 අතර) පසුවෙන කාන්තාවන් එම වාහන තුළ සිටින්නේදැයි විපරම් කර තිබුණි.

කාන්තාවන්ට කෝවිලට පිවිසීමේ අධිකරණ තීන්දුව ඇතැම් කාන්තාවන්ගේ පවා විරෝධයට හේතුවිය.

බ්‍රහස්පතින්දා අධිකරණ තීන්දුවෙන් පසු ප්‍රකාශයක් කළ කේරළ ප්‍රාන්ත පොලිසිය ‘සන්සුන්ව සිටින ලෙස’ මහජනයාගෙන් ඉල්ලීමක් කළේය.

සබරිමාලා
කාන්තා අයිතිය වෙනුවෙන් හඬ නගන ඉන්දියානු කාන්තාවන් පිරිසක්

“නීතිය අතට ගන්නා පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා” බවත් පොලිසිය කියා සිටී.

“එපමණක් නොව, සමාජ මාධ්‍ය ජාලයන්හි හැසිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින අතරම,ආගමික ගැටුම් අවුළුවාලීමට තැත්කරන්නන් අත්අඩංගුවට ගන්නා” බවට පොලිසිය අනතුරු ඇඟවීමක් කරයි.

ඔසප් විමසන උපකරණයක්

සබරිමාලා කෝවිලේ ප්‍රධානියා මෙයින් වසර හතරකට පමණ පෙර කළ ප්‍රකාශයක් ඉන්දියාවේ දැඩි ආන්දෝලනයකට ලක් විය.

කෝවිලේ ප්‍රධාන පරිපාලකයා ප්‍රකාශ කර තිබුණේ කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් සිය කෝවිලට ඇතුළු වීම සඳහා කාන්තාවන්ට අවසර දියහැකි බවය.

සබරිමාලා
සබරිමාලා වැඳීමට අවසර නැති කාන්තාවන්

එම ප්‍රකාශය හෙළා දකිමින් ඉන්දියාවේ සමාජ මාධ්‍යජාලවල බොහෝ ප්‍රකාශන පළ වූ බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත වාර්තා කර තිබුණි.

Recommended For You

About the Author: Editor