‘වසවිස’ ගැන ගොවියාට බැටදෙද්දී ‘පොඩි එකාගේ අල්මාරියෙත් වසවිස’

හොර පලිබෝධනාශක රට පුරා

එළිමහනට වලංගු වසවිස ගෙවල් ඇතුලට බෑ

තේ කඩයක්වත් නැති ගම්වල නම් යොදා ව්‍යාජ ඇඩ්‍රස් හදලා

අපි නොසලකා හැරියාට කපුරුබෝලත් පළිබෝධනාශකයක්

වසවිස ගැන කතිකාවක් ගොඩනැගෙන ඕනෑම තැනකදී සියලු දොස් නිවාරණනය කරගැනීම උදෙසා ගොවියාට දොස් නැගීම අද වනවිට සමාජ විලාසිතාවක් බවට පත්වී තිබේ. අපක්‍ෂපාතීව කරුණු විග්‍රහ කරන ලෝකවාසීන්, විශේෂයෙන්ම සංවර්ධනය වූ රටවල වැසියන් නම් මේ ආකාරයට හැම කුණු ගොඩක්ම ගොවිතැන ඉදිරියේ දමා ගසන්නේ නැත.

ජනාකීර්ණ වීදියේ පදික වේදිකාවේ අයිනකට වෙන්නට ඉටි රෙද්දක් එලාගත් මිනිසෙක් මොනවාදෝ විකුණමින් සිටී. යමෙක් ඔහු වෙතට කිට්ටුවී විකිණීමට තබා ඇති දෑ අතටගෙන පරීක්ෂාකර බලා ආපසු භාරදී ඉවත යනවාද දුටුවෙමි. වෙනත් අවශ්‍යතාවයක් සඳහා ඒ අසල විනාඩි 15 ක් පමණ රැඳී සිටින්නට සිදුවුවද, ඔහුට වෙළඳාමක් සිදුවන අවස්ථාවක් දැක ගැනීමට නම් හැකිවූයේ නැත.

මද්දහනයද පසුවී තිබේ. ඉටි රෙද්ද මත තැබුණු ගල් කැටයකින් බර තබා ඇත්තේ වෛවර්ණ පාටින් යුත් මුදල් නෝට්ටු මිටියකටයි. මොනර කොළ නම් එහි තිබුනේ නැති වුවත් පන්සීයේ කොළ දෙකක්ම ගල යට තිබීමෙන් සනාථවන්නේ ගතවූ වරුවක කාලය තුල වුවත් ඇඟට දැනෙන බිස්නස් එකකට වෙළෙන්දා කරගසා තිබෙනා බවය. ඕනෑම හදිස්සියකදී, මොහොතකින් ඉටි රෙද්ද අකුලාගෙන අතුරුදහන්වන්නට වෙළෙන්දා තුල වූ සූදානම නම් මා තුල එතරම් පැහැදිලි හැඟීමක් ඇතිකෙරුවේ නැත.

මගතොටේ යන එන්නන්ට ඔහු විකුනන්නේ ගෙදර දොර භාවිතයට බොහෝ දෙනාට අවැසි ද්‍රව්‍යයකි. ගෘහාශ්‍රිත පලිබෝධකයින් ලෙස සැලකෙන කැරපොත්තන්, මීයන් නසන්නට භාවිතා කළහැකි රසායන ද්‍රව්‍යයන්ගේ ඇසුරුම් ගණනාවක් ඉටි රෙද්ද මත අතුරා තිබුණි. බැලූ බැල්මටම මේවා බොහොම බාල වර්ගයේ ඇසුරුම්ය. මෙවැනි සතුන් වැනසීම සඳහා අලෙවි කරන්නට සුපිරි වෙළඳසැල් රාක්කයේ අසුරා ඇති වස පැකට් වල තිබෙනවා මෙන් වර්ණවත් දිලිසෙන ආවරණ ඒවාට තිබුනේ නැත. මේ ඇසුරුම් අවපැහැ ගැන්වුණු කඩදාසියෙන් නිමවී තිබුනා පමණක් නොව මුද්‍රනයද සිදුකර තිබුනේ කළු තීන්තෙන්ය. තීන්ත බොඳවුණු කැරපොතු පිංතූර මටනම් පෙනුනේ තාරකා ඉබ්බන්ගේ හැඩයටයි!.

සොබාදහම අපවෙත ඇස් හා කන් දෙක බැගින්ද, එක දිවක්ද ලබාදී ඇත්තේ හොඳින් අසා, දැකබලාගෙන ටිකක් කතා කිරීමටය කියා කොහේදෝ තැනක ලියා තිබුනා මතකයට නැගේ. ඒත් අප අවට කරුනු කාරනා දැන් සිද්ධ වන්නේ ඇස් හා කන් වලින් එක බැගින් හා දිව දෙක බැගින් තිබෙන පරිදිය. ඇසීම බැලීම හා කරුණු අවබෝධ කරගැනීම කෙසේ වුවත් හැමතැනම කතාව නම් බොහොම ජයට සිදුවේ.

වසවිස හරහා මිනිසා ලෙඩවීම නොහොත් නොමැරී මැරීම ගැන පසුගිය ලිපි කීපයකින්ම කතා කරද්දී, ඒ වෙනුවෙන් මා වෙත එවා තිබූ ප්‍රතිචාර හරහා පාඨකයින් වැඩිපුරම ඉල්ලා තිබුනේ තව තවත් දැනුවත් කිරීම් කරන ලෙසටය.

වසවිස ගැන කතිකාවක් ගොඩනැගෙන ඕනෑම තැනකදී සියලු දොස් නිවාරණනය කරගැනීම උදෙසා ගොවියාට දොස් නැගීම අද වනවිට සමාජ විලාසිතාවක් බවට පත්වී තිබේ. අපක්‍ෂපාතීව කරුණු විග්‍රහ කරන ලෝකවාසීන්, විශේෂයෙන්ම සංවර්ධනය වූ රටවල වැසියන් නම් මේ ආකාරයට හැම කුණු ගොඩක්ම ගොවිතැන ඉදිරියේ දමා ගසන්නේ නැත.

කෘෂි රසායනයන් මගින් මහජන සෞඛ්‍යයට ඇතිකෙරෙන බලපෑම අභිබවා යාමට, තමා අත්කරගත් කාර්මීකරණය හරහා පරිසරයට වූ වින්නැහියත්, පහසුවට කියා පුරුදු පුහුණු කරගත් අරුමෝසම් ජීවන රටාවත් සමත්වන බවද, ඒ හමුවේ මනුස්ස ශරීරය නිකරුනේ ලෙඩවෙන බවද ඔවුහු නිහතමානීව පිළිගනිති. ‘ගොවියා’ නමැති මුව හමට තඩිබාන ලෝකල් බහුශ්‍රතයින්ට, මහමග අයිනේ මරණය විකිණෙන හැටි දැකබලා ගන්නට තවත් කවුළුවක් විවර කරමින්, අපේ පදික වෙළෙන්දා දෙනෝදාහක් ඉදිරිපිට වසවිස විකුණමින් සිටී.

“කෘෂිකාර්මික පලිබෝධනාශක අලෙවි කිරීමට බලපත්‍රයක් ගන්න ඕනෑ. ඒවායේ නීති ගොඩක් තදයි. මෙතන විකුණලා තියෙන්නේ ගෘහස්ත පලිබෝධනාශක. ඒවා උනත් ඔය විධියට පාර අයිනේ දාගෙන විකුණන්න බෑ. වෙළඳසැලක විකුණන්න ඕනෑ. එතැනදී ඒවා වෙළඳසැල තුල වෙනම තැනක ගබඩා කරලා තියෙන්න ඕනෑ. අලෙවි කිරීමේදීත් පැකට් එක කඩලා, එක දෙක වශයෙන් සිල්ලරට අලෙවි කරන්න තහනම්. සමහර තැන්වල මදුරු දඟර අලෙවිකිරීමේදී මේ තත්වය අපි දැකලා තියෙනවා. ඒක වැරදියි.”

එම අදහස් දැක්වීම ගෘහස්ථ මහජන සෞඛ්‍යය හා කාර්මික පලිබෝධනාශක ඇගයීමේ අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ රාජිකා විලාසිනී මහත්මියගෙනි. ඇය පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාගේ වසවිස නියාමන බලඇණියේ සාමාජිකාවකි.

කාර්යභාරය වන්නේ ගෙදරදොරේ පරිහරණය කරන පලිබෝධනාශක ගැන විපරම් කිරීමයි. කුඹුරට, එළවලු කොරටුවට ඉසිනා වසවිස ගැන කතාකරන්නට මහ පිරිස් එකතුවුවද, කිරි සප්පයින් දනගාන නිවෙස් තුලට ගෙනෙනා අනේකවිධ වසවිස ගැන බොහෝ දෙනාට ඇත්තේ ඉතා අඩු අවධානයක් හා දැනුමක්ය. එවැනි තත්වයක් උදාවී ඇත්තේ මේවා උග්‍ර වසවිස නොවන බවට මහජනතාව තුල ඇති ලපටි අවබෝධයයි.

එහිද වරදක් නැත්තා සේය. කුඹුරට ගහන්නට ගෙනා ‘තෙල් බෙහෙත්’ බෝතලය පානය කර මියයාමේ අවස්ථාවක් තිබුනද, මදුරු දඟර පැකට්ටුව කඩාගෙන දඟරයක් දෙකක් කෑවත් මැරෙන්නේ නැති නිසා සමාජයේ මෙවැනි ආකල්ප ස්ථාපනය වූවා විය හැකිය. එසේ වුවත් කරුණු හරිහැටි දන්නා පලිබෝධනාශක රෙජිස්ර්ට්‍රාර්වරයා අවම විෂක් සහිත ගෘහස්ත පලිබෝධනාශකයක් වුවද නිදහසේ මුදාහැරීමට සූදානම් නැත. ගොවියාගේ කරේ එල්ලා ඇති බෙහෙත් ටැංකියේ ඇති අවදානම නිසි තක්සේරුවකින් දකිනවා සේම, දැල්වූ මදුරු දඟරයෙන් පිටවෙන දෑ කට්ටකුමංජල් දුමක් සේ වැළඳ ගැනීමටද ඔහු තුල සූදානමක් නැත. ඒ දෙකම ඔහුගේ මානයන්ට අනුව අඩුවැඩි වශයෙන් සිරුරට හානිකර ද්‍රව්‍යයන් අන්තර්ගත ‘වසවිස’ වේ.

මහජනතාව මූලිකව පැටලුම් හැර දැනගත යුත්තේ එළිමහනේ ඉසින්නට එක්තරා  පලිබෝධනාශක කොටසකුත්, ගෙවල් ඇතුලේ භාවිතයට ‘ගෘහස්ත’ ලේබලයකුත් අලවාගෙන, තවත් වසවිස කොටසකුත් හඳුන්වාදෙමින් රෙජිස්ට්‍රාර්වරයා වැඩ වැඩිකරගෙන ඇත්තේ ඇයිද යන්නයි.

රෙජිස්ට්‍රාර් කාර්යාලයේත් ‘ගෘහස්ත’ කොටස වෙනුවෙන් වෙනම බල ඇණියක් කටයුතු කරනවා පෙනේ. වගාවේ කෘමීන් මරණ වසවිස මගින් ගෙවල් ඇතුලේද සතුන් මැරිය හැකි වුවත් එය මහජන සෞඛ්‍යය පැත්තෙන් ගත්කල අන්තරාදායක වේ.

කූඨ නිෂ්පාදකයින්ගේ සමාජය මේ බවක් දන්නේ නැත. දැන ගත්තත් ඔවුනට එය වැදගත් වන්නේද නැත. මහපාර අයිනේ හෝ හාඩ්වෙයාර් කඩයක හෝ කිසිදු වගකීමක් නැතිව විකුණන ව්‍යාජ ගෘහස්ථ පලිබෝධනාශක නිෂ්පාදන සකස් කිරීමේදී උග්‍ර විෂ සහිත කෘෂිකාර්මික පලිබෝධනාශක යොදා ගන්නා බවට තොරතුරු වාර්තා වී තිබේ. මෙවැනි අධි ක්‍රියාකාරී වස දියරයක් එළිමහනට ඉසිනලද මොහොතේ පටන් එය වියෝජනය නොහොත් අක්‍රිය වෙන්නට පටන්ගනී. අන්තිමට නැතුවම යයි. මේ සඳහා ඉවහල් වන්නේ පරිසර උෂ්ණත්වය, හිරුඑළිය, සුළං සහිත වාතාශ්‍රය වැනි බාහිර සාධකයන්ය. නමුත් ගෙවල් ඇතුලේ ඒවා නැත. බොහෝ විට ගෙවල් ඇතුලේ අහුමුලුවල සිටින කැරපොත්තන්, මැසි මදුරුවන් සොයා නාශක දියර ඉසින්නේද, කුඩු හෝ කැට වශයෙන් ඇති වසවිස තැන්පත් කරන්නේද, ඉහත කී පරිසර සාධක කිසිවක් නැති ස්ථාන වලය. ප්‍රතිපලය වන්නේ ඉලක්කය සැපිරී දඩයම සාර්ථක වුවද ඉසින ලද වසවිස මාත්‍රාව නොදිරා එතැනම ඉතිරිවීමයි.

ගෙදර වැසියනට දැන් සිදුව ඇත්තේ කැරපොත්තන් සමග වාසේ වෙනුවට මරුවා සමග දිවි ගෙවන්නටය. ගෘහස්ත පලිබෝධනාශක ලෙස වෙනම කොටසක් අවශ්‍ය වන්නේ මේ නිසාවෙනි. මහජන ආරක්‍ෂාව සුරකිමින් ගෘහස්ත පලිබෝධනාශක වෙළඳපොළට නිකුත්කිරීමේ ක්‍රමවේදය පවසමින් රාජිකා විලාසිනී මහත්මිය නැවතත් හඬ අවදි කලාය.

“කුමන හෝ සමාගමකට ලංකාවේ අලෙවි කරන්න ගෘහස්ථ පළිබෝධනාශකයක් ගෙන්න ඕනෑ කියලා හිතුනොත් පළමුව ඒ සඳහා අවසර ගැනීමට කටයුතු කරන්න ඕනෑ. අදාළ සියලුම දත්තයන් සමග රෙජිස්ට්‍රාර්වරයා වෙත අයදුම් කලවිට එහි අන්තර්ගත තොරතුරු ගැන අපි සෑහීමකට පත් උනොත් එය විශේෂ කමිටුවකට යොමුකරනවා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා. ඒ කමිටුවේ කෘෂිකර්මයේ අය පමණක් නෙවෙයි සෞඛ්‍යය අමාත්‍යාංශයේ අයත් ඉන්නවා. එතැනින්ම තේරෙනවා කෘෂිරසායන වලට වඩා ගෘහස්ථ පලිබෝධනාශක වලින් සෞඛ්‍යයට බලපෑමක් තිබෙන බව. කෘෂිරසායන නියාමනය කරන කමිටුවට සෞඛ්‍යය අමාත්‍යාංශ සංරචකයක් නෑ.”

කමිටුවේ නියෝජිතයින් සෑහීමකට පත්වන්නේ නම්, අදාළ සංයෝගයේ ජෛව සපලතාවය පිළිබඳව පරීක්ෂනාත්මකව තහවුරුකිරීමක් ලබාගැනීම සඳහා ඒ ගැන පර්යේෂණයක් කල හැකි ආයතනයකට හෝ කීපයකට එය භාරදෙනු ලබයි. කෘෂිරසායන ද්‍රව්‍යයකදී නම් මෙතනට ගාවා ගන්නේ දෙපාර්තමේන්තුවේම පර්යේෂණායතනයක් වුවත්, ගෘහස්ථ කරදරකාරයින් ගැන ගොවිතැනේ මහගෙදරින් කරන්නට තවත් දෙයක් ඉතිරිව නැති නිසා කැරපොත්තන්, මැසි මදුරුවන් ආදී සතුන්, යෝජිත සංයෝග හමුවේ මැරී වැටෙනවාදැයි පර්යේෂණාත්මකව තහවුරු කරන්නට වෛද්‍ය පර්යේෂණායතනය වැනි ආයතනයක සහාය ලබා ගනී. ඇතැම්විට ඩෙංගු හා මැලේරියා මර්දන ව්‍යාපාරයන්හි සහභාගිත්වයත් මෙයට එකතුකර ගන්නවා ඇත.

මීයන් වැනි සතුන්ට මේ වස කවා පරීක්ෂා කරන්නට තැනක් මෙහි නැති නිසා, එවැනි අවස්ථාවලදී විලාසිනී මහත්මියටත් ඇයගේ සහායිකාව ලෙස කටයුතු කරන කෘෂිකර්ම උපදේශිකා දිල්රුක්ෂි පතිරණටත් සිදුවන්නේ අදාළ සංයෝග සාන්ද්‍රණයට අදාලව නිකුත් කර ඇති විදේශීය සපලතා වාර්තා පරිශීලනය කරමින් ගෘහස්ථ මීයන්ගේ ඉරණම් කතාව ලියන්නටය.

මෙම කණ්ඩායම කෙතරම් ප්‍රවේසමෙන් වැඩ කරනවාද කියනවා නම්, සපලතා වාර්තාවක් ලබාගැනීම සඳහා යෝජිත පලිබෝධනාශකයේ සාම්පලයක් ආනයනකරුවාට භාරදී පරීක්‍ෂණය සිදුකරන තැන වෙත යැවීමටවත් ඔවුන් කටයුතු නොකරයි. රෙජිස්ට්‍රාර්වරයා වෙත සැපයූ විස්තරයට අදාළ නොවන, වෙනත් සාම්පලයක් වංචාකාරී ලෙස පර්යේෂණායතනයට සැපයිය හැකි නිසාය. මේ නිසා සංයෝගයට තවමත් අවසරය ලැබී නොතිබුනත්, එහි සාම්පලයක් පර්යේෂණය උදෙසා ආනයනය කිරීමට ප්‍රමාණවත් තාවකාලික බලපත්‍රයක් ආනයනකරු වෙත නිකුත් කරනු ලැබේ. ඒ අනුව නිෂ්පාදන සමාගම ආනයනකරුගේ සම්බන්ධයක් නොමැතිව  සාම්පලය සපයනු ලබන්නේ පරීක්ෂනාගාරයටය. අක්කා පෙන්නා නංගි දීග දීමට වැට බඳින්නට රෙජිස්ට්‍රාර්වරයා කටයුතු කර ඇත්තේ එසේය.

“අපිට යම් පලිබෝධනාශකයක විස්තර සමග ඉල්ලුම් පත්‍රය භාරදීපු දවසේ ඉඳල විටින්විට ආනයනකරුවන් මේ කාර්යාලයට ඇවිත් විපරම් කරනවා තමන්ගේ බලපත්‍රය ගැන. මෙවැනි ක්‍රියාදාමයක් හරහා යන බව ඒ අයට තේරුම් කරලා දුන්නත් සමහර අය මේ ප්‍රමාදය ගැන එතරම් පැහැදීමක් නෑ. මේ වගේ නිර්නායකයන් සහිතව ක්‍රමවේදයක් හදලා තියෙන්නේ උවමනාවෙන් කටයුතු පමා කරන්න නෙවෙයි, මහජන ආරක්‍ෂාව වෙනුවෙන්.”   

විලාසිනී මහත්මියගේ විලාසිතාව සැර වැඩිදැයි විටෙක මට සිතේ. මේ තරම් සියුම් පෙරහනක් හරහා වසවිස පෙරා ගනිමින් එය සමාජගත කරන්නේ ඇය පවසනා පරිදි, පාරිභෝගික ඔබගේත් මාගේත් සුවසෙත වෙනුවෙන්මය. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකවන මෙවන් රාජ්‍ය යාන්ත්‍රණයක් හරහා ගෘහස්ථ පලිබෝධනාශක නියාමනය වන විට, අප නිවෙස්තුල දුව පනිමින් දඟකරන ළමා ළපැටියන්ගේ සුරක්ෂිතතාවය ගැන ඇතිවන්නේ මහත් අස්වැසිල්ලකි. ඒත් ඒ මොහොතකටය. අස්වැසිල්ල පෑල දොරින් පලවාහරිමින් පදිකවේදිකාවේ කැරපොතුකැට විකිනූ මගමරුවාගේ සෙවනැල්ල ලිපිය ලියන කඩදාසියට යටින් හොල්මන් කරනවා සේ පෙනේ.

සපලතා වාර්තාවත් හරිනම් ආනයනකරුවාට බලපත්‍රය ලබාදෙන්නේ රුපියල් ලක්ෂයක පමණ ගාස්තුවක් අයකරගෙනය. දැන් ඉතින් ඔහුට අදාළ සංයෝගය ආනයනය කර බෙදා හැරීමට පුළුවන. එත් ඒ අවසරය වසර තුනක කාලයකට පමණක් වලංගු වේ. වසර තුනක් ඇතුලත අදාළ නිෂ්පාදනය ජාත්‍යන්තරයේ තවදුරටත් පවතිනවාද, වෙනත් කුමක් හෝ ව්‍යසනයක් හමුවේ එය තහනම් වීද, වැනි කරුණු දැනගැනීම සඳහා එවන් සීමිත කාලයකට බලපත්‍රය නිකුත්කරනා බව පැවසේ.

ලියාපදිංචිය වසර තුනකින් පසු අලුත් කිරීම සඳහා, නැවතත් කලින් සේම විස්තර වාර්තාවක් සහිතව අයදුම් කලයුතු වුවත්, නැවත අයකෙරෙන්නේ නම් රුපියල් 4000 ක ගාස්තුවක් පමණි. ගොවිතැනේ වසවිස මෙන් නොව මේවා ඕනෑම වෙළඳසැලක විකිණිය හැකිය. නිෂ්පාදකයා, බෙදාහරින්නා යනාදීන්ගේ නම් හා දුරකථන අංක, අන්තර්ගත රසායන සාන්ද්‍රණය, හදිසියේ ගිලුනහොත් කලයුතු ප්‍රතිකාර, ලියාපදිංචි අංකය ආදී තොරතුරු රාශියක් ලේබලයේ අන්තර්ගත කල යුතුවේ.

ඔබ පළාතේ පිහිටි පිළිගත් වෙළඳසැලකින් මිලදී ගන්නා මදුරු දඟර, මැසි හෝ කැරපොතු නාශක වැනි ඕනෑම ගෘහස්ත පළිබෝධනාශකයක් ඉහත අවශ්‍යතා සපුරා ඇතිදැයි සැකහැර දැනගන්න. ඒවා පලිබෝධනාශක පනතේ නීතිරීති වලට ප්‍රකාරව වෙළඳසැලේ වෙනම ස්ථානයක ගබඩාකර ඇති ආකාරයද දැකගන්න. එසේනම් ඔබ ආරක්ෂිතය. මිලදී ගත් දෑ ගෙදර ගෙනගිය විටත්, ගෘහස්ථ පලිබෝධකයින් හැර ගෙදර වාසී අන් අයත් ආරක්ෂිතය.

රටපුරා සංසරණය වෙන ව්‍යාජ ගෘහස්ථ පලිබෝධනාශකවල මෙහි දැක්වූ කිසිදු තොරතුරක් නොමැති විය හැකිවා මෙන්ම තිබේ නම් ඒවා බොරු තොරතුරු වීමට ඉහල හැකියාවක් තිබේ. ඇසුරුම දෙස බැලූවිටම එය ගෘහ කර්මාන්තයක් ලෙස නිපදවන ලද්දක් බව සැකහැර කිව හැකිවේ. මීයාගේ රූපයත් බොඳවෙලාය. පොලිතීන් ඇසුරුමක් නම් සීල්කර ඇත්තේ ඉටිපන්දම් දැල්ලකින් බව පෙනේ. ඇතැම් විට නිෂ්පාදනය කල තැන ලිපිනය සඳහන්ව තිබුනත් විලාසිනී මහත්මිය නම් පවසන්නේ එවැනි ලිපිනයන් බොහෝවිට මහපොළොවේ ඇති ස්ථානයන්හි ඒවා නොවන බවයි.

ලිපිය ලිවීමට කරුණු සොයායත්දී මා හටද අනවසර ලේබලයක තිබුණු එවන් ලිපිනයක් ඇස ගැටුණි. හුරුබුහුටි නමක් මුලට යොදා කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් යනුවෙන් ගාම්භීර ලෙස නිෂ්පාදනායතනයේ නම සඳහන් කර තිබුනද, ලිපිනය අවසාන වී තිබුනේ මහනුවර දිස්ත්‍රික්කයේ උප තැපැල් කාර්යාලයක නමකින්ය.

කලකට ඉහතදී යම් අවශ්‍යතාවයකට මා එම ගම් පලාතට ගොස් ඇත්තෙමි. කෙමිකල් කම්හලක් තබා ඒ දුප්පත් ගමේ තේ කඩ දෙකතුනක්වත් පවත්වාගන්නේ ඉතා අමාරුවෙන්ය. එසේ නම් මෙවන් ලිපිනයන් හරහා මහජනතාව කෙතරම් රවටනවාද? රැවටීමෙන් පසුව හෝ  නවතිනවානම් එතරම් අවුලක් නැත. ඊළඟ පියවර වන්නේ රැවටීම හරහා භයානක වසවිස ඇසුරක් තුලට ජනතාව ඇදදැමීමයි. තවත් අපූරු ඇසුරුම් අවවාදයක්ද එක්තරා දවටනයක  දක්නට ලැබුණි. එහි මුද්‍රණය කර තිබුනේ ‘අනුකරණ වලට නොරැවටෙන්න’ යන අවවාදයයි!!.

පලිබෝධනාශක පනත යටතටවත් අයත් නොවුනත්, ලක් දෙරණ පුරා නිදහසේ අලෙවිවෙන හා ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව පළිබෝධනාශකයක් වන ද්‍රව්‍යයක් ගැනද දැනුවත් නොකරන්නේ නම් පාඨකයාට කෙරෙන අසාධාරණයක් යයි සිතේ. කාවුන් මර්දනය කිරීමට අල්මාරි තට්ටුවලට දමන කපුරු බෝල හෙවත් නැප්තලීන් බෝල මෙම ද්‍රව්‍යයයි. මෙය නීතිය යටතේ වුවත් අපට හසු නොවෙන පලිබෝධනාශකයකි.

Related image

2006 වසරේ ජූලි මස 31 වෙනිදා නිකුත්කළ රොයිටර් පුවත් වාර්තාවක අපූරු සිද්ධියක් වාර්තා කර තිබිණ. ඔවුන් එය උපුටාගෙන තිබුනේ New England Journal of Medicine නම් සඟරාවේ ජූනි 27 වෙනිදා නිකුතුවෙන්ය. 18 හැවිරිදි ප්‍රංශ ජාතික යුවතියක් හෝන්දු මාන්දු මානසික තත්වයක් සහිතව රෝහල් ගතකර තිබේ. ඇයගේ හම පුරා කොරපොතු මතුව තිබුණි. දොස්තරලා අන්දුන් කුන්දුන්ව සිටියේ ඇයගේ නිවුන් සොයුරියද මෙතරම් බරපතලව නොතිබුනත් එම රෝග ලක්ෂණම පෙන්වමින් සිටි නිසාය. පවුලේ ඉතිහාසයේද එවැනි රෝග තත්වයක් වාර්තා නොවුන අතර, ‘බළලා මල්ලෙන් එලියට පැන්නේ’ දින ගණනාවකට පසුවය. රෝහල් කාමරය තුලදීත් ඇය විසින් ‘කපුරු බෝල’ බෑගයක් සඟවා තබාගෙන සිටිනවා වෛද්‍යවරුන්ගේ අතටම හසුවී තිබේ.

යහපත් ශරීර සුවය සඳහා දිනකට විනාඩි 10 බැගින් ‘කපුරු බෝල’ සුවඳ ආඝ්‍රාණය කරන ලෙසට ඇයගේ පන්ති සගයින් නිර්දේශ කර තිබූ බව අවසානයේදී හෙලිවුනි. තම රෝගී තත්වයට මේ පුරුද්ද බලපානා බවක් නොසිතුන නිසා ‘කපුරු බෝල’ බෑගය රෝහල් කාමරය තුලටද රැගෙන ආ බවත් කියැවුනි. මේ එක සිදුවීමක් පමණි. ‘කපුරු බෝල’ විෂවීමේ සිදුවීම් ජාත්‍යන්තරයෙන් නම් ඇති පමණ වාර්තා වුවත්, මෙරටින් ඒවා වාර්තා නොවන්නේ පළිබෝධනාශකයක් ලෙස අප එය නොසලකන නිසාද? එසේ නැත්නම් කපුරු බෝල විෂවීමෙන් ඇතිවන රෝග ලක්ෂණ මේ දක්වා අප වෙනත් ප්‍රභවයක් වෙත බැරකළාවත්ද?

පනතේවත් නැති නිසා කපුරු බෝල හැමතැනම අලෙවි කෙරේ. ඇතැම් අසුරනයන්හි භාවිතා කරන්නාට අවවාද කෙසේ වෙතත්, එකදු අකුරක් ඉලක්කමක්වත් නැත. මිහිරි සුවඳක් එන නිසා කුඩා දරුවෝ පොත් බෑගයේද මේවා දමාගෙන යති.

“වැටලීමට නිලධාරීනුත් පත් කරලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරවත් නිලධාරීන්ට බලය දීලා තියෙනවා. හැකි අවස්ථාවල එවැනි වැටලීම් අපි අතිනුත් සිදුවෙනවා. මම නම් හිතන්නේ වඩාත් කාර්යක්ෂම උවදුර පිටුදැකීමේ ක්‍රමය තමයි තුන්වෙනි පාර්ශවයකින් ලැබෙන ආරක්‍ෂාව ගැන බලාපොරොත්තු තියාගෙන අමාරුවේ වැටෙන්නේ නැතුව, තමා දැනුවත් වෙලා, අනිසි වසවිස පරිහරණය නොකර ඉන්න එක. එතකොට ඉබේම ඔය නිෂ්පාදන වෙළඳපොලෙන් ඉවත්වේවි.

එම අදහස ඉදිරිපත් කෙරුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය සුමිත් ජයකොඩි මහතාය. තමා විසින්ම පිටු 18 ක තොරතුරු පත්‍රිකාවක් රචනාකර බෙදාහරිමින් සමාජය දැනුවත් කරන්නට ඔහු කටයුතු කරමින් සිටී. මේ ලිපිය සඳහා ඇතැම් කරුණු උපුටා ගත්තේද, සමාජ සත්කාරයක් වශයෙන් තනියෙම හිතා ඔහු රචනා කර ඇති එම ලියවිල්ලෙනි. මේකට ප්‍රසිද්ධියක් දීල ජනතාව දැනුවත් කෙරුවොත් ලොකු දෙයක් යයි පසුගියදා මා හමුවේ ඔහු පැවසුවේ එම ලියවිල්ලට මා හරහා තවත් අගයක් දෙන්නටය. මෝඩයින් රැලක් මැද සිට සිනාසෙනවාට වඩා එක නුවනැත්තෙකු හා එක්වී හැඬීීීම වටිනා බැවින් ඔහුගේ ඉල්ලීම යතාර්ථයක් බවට පත්කිරීමට සිත එකඟ කරගත්තෙමි.

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor