පස් වසරක පසු ‘සුජාත ජනවරමක්’ හිමි ජනපතිවරයෙක්

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළේය. ඒ අනුව අභිනව ජනපතිවරයා හෙට (18) දිවුරුම් දෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

ඊයේ (16) පැවැති ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ සියයට 52.25ක් හෙවත් ඡන්ද 69,24,255ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් සියයට 41.99ක් හෙවත් ඡන්ද 55,64,239ක් ලබාගත්තේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතාට වඩා වැඩි ඡන්ද 13,60,016ක් ලබා ගත්තේය.

ජනාධිපතිවරණයේදී ‘තීරණාත්මක බලපෑමක්’ කරනු ඇතැයි අපේක්ෂා කළ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට දිනාගත හැකි වුණේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 3.16ක් හෙවත් ඡන්ද 418,553ක් පමණක් වූ අතර හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානාක මහතා විසින් ලබා ගත්තේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 0.37ක් හෙවත් ඡන්ද 49,655ක් පමණකි.

උතුරේ දමිළ ජනතාව වෙනුවෙන් හා නැගෙනහිර මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් ද ඇතුළු සෙසු අපේක්ෂකයි විසින් සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 2කට ආසන්න ප්‍රතිශතයක් දිනාගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ලද අති විශිෂ්ඨ ජයග්‍රහණය ගැන අවධානය යොමු කරන දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණය කරුණු කිහිපයක් නිසා ඓතිහාසික වන බවයි. ඒ අතර සුවිශේෂ කරුණක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ 1982 සිට පැවැති ජනපතිවරණ හතේදී ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා සාමාන්‍ය තත්ත්වයන් යටතේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.

1994 ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රතිවාදි අපේක්ෂිකාව වූ ශ්‍රීමා දිසානායක මහත්මියට වඩා වැඩි ඡන්ද 19,93,922ක් (ඉහත වගුව බලන්න) ලබාගත්ත ද එම මැතිවරණයේදී එජාපයේ ජනපති අපේක්ෂක ගාමිණි දිසානායක මහතා ඝාතනය වීම ප්‍රමුඛ කරු කරුණක් වූ බව ද ඔවුහු පෙන්වා දෙති.

යළි 2010 පැවැති ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ඡන්ද 18,42,749ක් ලබා ගත්ත ද යුධ ජයග්‍රහණය හමුවේ ඇති වූ දැවැන්ත ජනතා ප්‍රසාදය එකී දැවැන්ත ජයග්‍රහණය පසුපස තිබූ බව ද පෙන්වා දෙන දෙන දේශපාලන විශ්ලේෂකයෝ 2019 ජනනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනාටම වඩා දැවැන්ත අභියෝග රැසකට මුහුණ දුන් බව ද පෙන්වා දෙති.

විශේෂයෙන් එජාප අපේක්ෂකයා (ශ්‍රීමා දිසානායක සහ සරත් ෆොන්සේකා මෙන් දේශපාලනයට නවකයින් නොවී සහ රාජ්‍ය බලය අහිමිව) එජාපයේ නියෝජ්‍ය නායකයා වීම, දීර්ඝ කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටීම, ඔහු තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සදහා අසීමිත ලෙස රාජ්‍ය සම්පත් (ගම්උදාව ඇතුළු) භාවිත කිරීම, රාජ්‍ය බලය සමග ලැබුණු සීමිත වාසිය ද දමිළ සහ මුස්ලිම් සුළුජන ඡන්දවල අසීමිත වාසිය (1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායකට උතුරු – නැගෙනහිර පූර්ණ සහාය හිමි වූ අතර 2010දී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විය) ද සමග ගෝඨාභය රාජපක්ෂ මහතාට අසීමිත ‘මඩ’ ප්‍රහාරයන්ට මුහුණදීමට සිදු වූ බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන් උතුරු නැගෙනහිර දමිළ සහ මුස්ලිම් ජනතාවගේ ද වතුකරය ඇතුළ අන්‍ය ප්‍රදේශවල මුස්ලිම් හා දමිළ ජනතාවගේ ද අවම සහායක් හෝ නොමැතිව ‘දකුණේ සිංහල බෞද්ධ හා කතෝලික ඡන්දවලින්’ ම පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 52කට අධික ඡන්ද ප්‍රතිශතයක් හා ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ඡන්ද ලක්ෂ 13කට අධික ප්‍රමාණයක් ලබා ගැනීම දේශපාලන ‘හාස්කමක්’ ලෙස ඔවුහු සලකති.

‘අන්තවාදී සහ බෙදුම්වාදී සුළුජාතීන්ගේ කිසිදු සහායක් නැතිව මේ රටේ බහුතර සිංහලයින්ගෙන් (බෞද්ධ හා කතෝලික) කැමැත්තෙන් ලංකාවේ ජනාධිපතිවරයා පත්කළ හැකි බව වගේම පත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශිෂ්ඨ ජයග්‍රහණය මගින් පෙන්වා දෙනවා. ඒ අනුව නව ජනපතිවරයාට කිසිදු ආකාරයක අවස්ථාවාදයකට, බෙදුම්වාදයකට හෝ අන්තවාදයකට යටනොවී ස්වාධීනව තීන්දු තීරණ ගන්න පුළුවන් පහසු පරිසරයක් මේ ජයග්‍රහණය හරහා නිර්මාණය වී තිබෙනවා. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි අවස්ථාවක් මීට පෙර නිර්මාණය වුණේ මහින්ද රාජපක්ෂ (2005-2015) යුගයේදී පමණයි’ සමග අදහස් දැක්වූ ප්‍රකට දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙක් කියා සිටියා.

‘ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සිදු වුණේ සම්පූර්ණ වශයෙන් මේ රටේ සිංහල ජනතාව අතරින් නිසා එයට ‘පූර්ණ සුජාතභාවයක්’ ලැබී තිබෙනවා. සිංහල බෞද්ධ බහුතරයේ අනුමැතිය නොලබන කිසිම පාලකයෙක්ගේ රාජ්‍ය බලය සුජාත වෙන්නේ නැහැ. අපි පසුගිය වසර පහ පුරාම දැක්කේ ඒ ගැටලුවයි. වත්මන් තත්ත්ව්ය තුළ රටේ ආර්ථික, සමාජ හා දේශපාලන ස්ථාවරත්වය ඇතිවන බව අපට මේ අනුව කිව හැකියි. ඒ වගේම මේ හරහා ජාතික සංහිදියාවට ද ප්‍රමුඛ පියවර ගන්න පහසු පරිසරයක් නිර්මාණය වෙනවා. විශේෂයෙන් වසර පහක් පුරා දකුණේ තිබුණ අසහනකාරී හා අස්ථාවරභාවය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සමග අවසන් වෙනවා. එය සෑම අතින්ම රටට යහපත් තත්ත්වයක්’ ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

Recommended For You

About the Author: Editor