සජිත්ගේ ‘හම්බන්තොට අස්වැන්න’

7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඊයේ (16) දින පැවැති ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵල නිකුත් වී නැතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක, එජාප නියෝජ්‍ය නායක, ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සිය පරාජය පිළිගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභපතමින් විශේෂ පුවත්පත් නිවේදනයක් ද නිකුත් කර ඇත. මෙම විශේෂ නිවේදනය වෙනදා මෙන් සුපුරුදු පරදි සිංහල භාෂවෙන් හෝ භාෂා ත්‍රිත්වයෙන් නිකුත් නොකර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීම ද විශේෂත්වයකි.

තම නිවේදනය මගින් සජිත් ප්‍රේමදාසා මහතා කියා සිටින්නේ තමන් ජයග්‍රාහක ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභපතන බවත්ය. එමෙන්ම තමන් එජාප නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වන බව ද ප්‍රේමදාස මහතා පවසා ඇත.

එහෙත් මෙහිදී ලියුම්කරු අවධානය යොමු කරන්නේ ඒ කිසිවක් ගැන නොව සජිත් ප්‍රේමදාස මහතා තමන් නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සහ විශේෂයෙන් ඔහු වසර දශක දෙකකට අධික කාලයක් නියෝජනය කළ ‘තිස්සමහාරාම ආසනයෙන් ’ ලබාගත් ‘නින්දා සහගත පරාජය ගැන කෙටි සටහනක් තැබීමටය. මෙම සටහන මගින් සජිත් ප්‍රේමදාස මහතාට අපහාස කිරීමක් ගැන ලියුම්කරුට කිසිදු අභිලාෂයක් නැති අතර මෙහි දක්වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ‘ජනපති සිහින දකින විට’ ඔහු සිටි ස්ථානය ගැන දත්තමය විග්‍රහයක් පමණි.

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ඉතිහාසය දෙස බලන විට පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ එජාපය ‘දකුණේ’ දී සැලකිය යුතු ජයග්‍රහණයක් 1947 සිට වාර්තා කර නැති බවයි. දකුණ සාමාන්‍යයෙන් වාමාංශික නැඹුරුවක් තිබීම මෙන්ම 1952දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වූ දා සිට එම වාමාංශික නැඹුරුව ශ්‍රීලනිපය වෙත විතැන්වීම ඊට හේු වූවා විය හැකිය.
දකුණ එසේ වන විට දකුණේ ඈත කෙළවරේ පිහිටි ‘ගිරුවාපත්තුව’ හෙවත් හම්බන්තොට ‘ඩී.එම්. රාජපක්ෂ’ යුගයේ සිට දැඩිව ශ්‍රීලනිපය හා බැඳී තිබුණ අතර හම්බන්තොට සැලකුණේ ද ශ්‍රීලනිපය බලකොටුවක් ලෙසය. මේ තත්ත්වය තුළ ‘රාජපක්ෂවරු’ දකුණේ දේශපාලන උරුමක්කාරයින් බට පත්ව සිටියේය.

මේ තත්ත්වය තුළ පවා 1982දී පැවැති ජනාධිපතිවරණයේදී එජාප නායක ජේ.ආර්. ජයවර්ධන මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සියයට 45.90ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර එහිදී තිස්සමහාරාම ආසනයෙන් සියයට 47.21ක ප්‍රතිශතයක් ලබා ගත්තේය.

1988 දී පැවැති දෙවැනි ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සියයට 49.62ක ප්‍රතිශතයක් දිනාගත් අතර තිස්සමහාරාම ආසනයෙන් සියයට 48.98ක ප්‍රතිශයක් දිනාගත්තේය.
ඊට පසුව 1994 දී පැවැති තෙවැනි ජනාධිපතිවරණයේදී එජාපයෙන් ඉදිරිපත් වූ ගාමිණි දිසානායක මහතාගේ වැන්දඹු බිරිය වූ ශ්‍රීමා දිසානායක මහත්මිය දිස්ත්‍රික්කයෙන් සියයට 35.99ක් ද තිස්සමහාරාමයෙන් සියයට 34.43ක් ද දිනාගත් අතර 1999 දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ප්‍රතිශතය ලෙස සියයට 37.48ක් ද තිස්සමහාරාම කොට්ඨාශ ප්‍රතිශතය ලෙස සියයට 37.67ක් ද දිනා ගත්තේය.

2005 වසරේදී හම්බන්තොට නිජබිම කරගත් මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති ජනපතිවරණ සටනේදී රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් අනුපාතය ලෙස සියයට 35.23ක් ද තිස්සමහාරාම ආසනයේ ප්‍රතිශතය ලෙස සියයට 38.28ක් ද තිස්සමහාරාම ආසනයේ ප්‍රතිශතය ලෙස සියයට 38.28ක් ද 2010 දී මහින්ද රාජපක්ෂ මහතා සමග තරග කළ සරත් ෆොන්සේකා මහතා දිස්ත්‍රික් අනුපාතය ලෙස සියයට 31.93ක් ද තිස්සමහාරාම කොට්ඨාශයේ ප්‍රතිශතය ලෙස සියයට 33.77ක් ද දිනා ගත්තේය.

ඉහත සඳහන් ජනාධිපතිවරණවලදී 1982 සිට 1994 දක්වා එක්සත් ජාතික පක්ෂය ද 1994 සිට 2015 දක්වා ශ්‍රීලනිපය නායකත්වය දුන් සන්ධාන ද විධායක ජනාධිපති ධූරය දැරුවේය.

එහෙත් 2015 ජනවාරි 08 දින පැවැති ජනාධිපතිවරණයෙන් එජාපයේ සහාය ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සියයට 35.93ක් ද තිස්සමහාරාම ආසනයේ ප්‍රතිශතය වශයෙන් සියයට 38.93ක් ද දිනාගත්තේය.

සජිත් ප්‍රේමදාස ආගමනය

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතා 1993 මැයි 01 වැනිදා සිදු වූ සිය පියාගේ ඝාතනයෙන් පසුව කෙටි කාලයක් තුළ දේශපාලනයට ප්‍රවේශ වන අතර ප්‍රේමදාස මහතාගේ ඡන්ද කොට්ටාශය වූ ‘මැද කොළඹ’ වෙනුවට දුරබැහැර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය තම දේශපාලන භූමිය වශයෙන් තෝරා ගත්තේය.

සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂවරුන්ගේ නිජබිම වන හම්බන්තොට තෝරාගැනීම ගැන විවිධ අදහස් ඉදිරිපත් වුව ද ප්‍රේමදාස මහතා කියා සිටියේ ‘කොළඹට වී අභියෝගයකින් තොරව දේශපාලනය කිරීමට වඩා හම්බන්තොට වැනි අති දුෂ්කර ප්‍රදේශයක දේශපාලනය කිරීම තමන්ට අභියෝගාත්මක වන බවයි. ඒ අනුව පුරා දශක දෙකක් පුරා ප්‍රේමදාසවරුන්ට ආවේණික ‘සුබසාධනවාදී’ දේශපාලනය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු වූ අතර ‘අධාර බෙදාදීම’ ඒ අතර එකම, ප්‍රමුඛම දේශපාලන කටයුත්ත විය.

බලයේ සිටි ආණ්ඩුවේ ප්‍රබලයින් වූ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ හා පසුකාලීන මහින්ද අමරවීර සමග ද කරට කර දේශපාලනයේ නියැලුණු බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිය ද 1994 සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාප ඡන්ද පදනම ආරක්ෂා කර දීමට එජාප දිස්ත්‍රික් නායකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව ලැබුණේ නැත. 1994 දී සියයට 35.99 සිට 2010 වන විට එය සියයට 31.20 දක්වා පහත වැටුණු අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ආසනය වූ තිස්සමහාරාමයේ ඡන්ද ප්‍රතිශතය ද 1994 දී 34.43 සිට 2010 වන විට 33.77 දක්වා පහත වැටුණේය. යළි එහි ඉහළ යාමක් සිදු වුණේ 2015 ජනාධිපතිවරණයේදී පමණය.

මේ තත්ත්වය තුළ සජිත් ප්‍රේමදාස මහතාට විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ‘කළ හැකි’ දෙයක් තිබුණේ නැති අතර එජාපය ඉහළම පරාජයක් ලබන දිස්ත්‍රික්ක අතර හම්බන්තොට දිගින් දිගටම ප්‍රමුඛ ස්ථානයක තිබුණේය.

පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වය උදෙසා අරගල කරන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ තිස්සමහාරාමයේ ලබන පරාජයන් ඔහුට එරෙහිව බොහෝ විට ‘ඍණාත්මකතා’ ඇති කළේය.
මේ තත්ත්වය තුළ 2019 ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන විට විපක්ෂ දේශපාලනඥයින් කියා සිටියේ ‘ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන (ප්‍රධාන පක්ෂ දෙකෙන්) ජනපති අපේක්ෂකයෙක් තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කය පමණක් නොව ආසනය පවා මෙම (2019) ජනාධිපතිවරණයේදී පරාජයට පත්වන බවයි.

එහෙත් ඊට ප්‍රති තර්ක ඉදිරිපත් කළ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය කියා සිටියේ දශක දෙකකට අධික කලයක්, විශේෂයෙන් 2015 සිට සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටට, තිස්සමහාරාමයට කළ ‘සුවිශාල සේවය’ නිසා සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරනු ඇති බවයි. ඒ අනුව මධ්‍යස්ථ විචාරකයින් පවා කියා සිටියේ ‘සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස වැඩිම නිසාව සංඛ්‍යාවක් ඉදිකළේ තිස්සමහාරාමයේ හා හම්බන්තොට නිසා ඔහුට සැලකිය යුතු ඡන්ද පදනමක් මෙවර ජනාධිපතිවරණයේදී හිමිවනු ඇති බවයි.

අන්ත පරාජය

එහෙත් එකී සියලු නිරීක්ෂණ හා සජිත් ප්‍රේමදාස මහතා දශක දෙකක් ‘හම්බන්තොටට කළ බව කියන සුවිශාල සේවය ගඟට කැපූ ඉණි බවට’ ඊයේ පැවැති ජනාධිපතිවරණයේදී පත් විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි සහාය ලැබූ අපේක්ෂකයෙක් 1982 සිට 2019 දක්වා පැවැති ජනාධිපතිවරණ 07 දී හම්බන්තොටින් වාර්තා කළ අවම ඡන්ද ප්‍රතිශතය වූ සියයට 25.85ක් ද තිස්සමහාරාමයෙන් එජාපය වාර්තා කළ අවම ඡන්ද ප්‍රතිශතය වූ සියයට 24.23ක අගය මෙවර සජිත් ප්‍රේමදාස මහතා විසින් වාර්තා කිරීම විශේෂත්වයකි.

සජිත් ප්‍රේමදාස මහතා පමණක් නොව මෙවර සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන් ප්‍රමුඛයින් සියලු දෙනාම, එනම් මංගල සමරවීර (මාතර) හරීන් ප්‍රනාන්දු (බදුල්ල) අජිත් පී. පෙරේරා (කලුතර) සුජීව සේනසිංහ (කොළඹ) ද තම දිස්ත්‍රික්කවලින් පමණක් නොව ආසනවලින් ද ‘අන්තපරාජයක්’ ලැබීම සුවිශේෂත්වයකි.

සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ‘අපකීර්තිමත්’ පරාජයට බලපෑ දේශපාලන හා සමාජයීය හේතු, ඔහුගේ මැතිවරණ ප්‍රාචාරක ව්‍යාපාරයේ තිබූ දුර්වලතා ගැන පසුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර ‘සජිත් ප්‍රේමදාස මහතාගේ දශක දෙකක හම්බන්තොට අස්වැන්න ගැන පමණක් මෙහිදී දත්ත ඉදිරිපත් කර ඇත.

සටහන – රුවන් ලොකුවිතානගේ

Recommended For You

About the Author: Editor