පාඩම් මතක තබා ගන්නා ‘විද්‍යාත්මක ක්‍රමය’ නිවැරදිව දැන ගනිමු

මනෝ වෛද්‍ය, මහාචාර්ය ප්‍රියන්ත ගාමිණි ජයසිංහ

විශේෂයෙන් ම විභාග අරමුණු කරගත් පාඩම් කිරීමේ දී ක්ෂණික, කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් මතකයන් ගබඩාවන ආකාරය වඩාත් පැහැදිලි ලෙස අවබෝධ කර ගැනීම විභාගාපේක්ෂකයන්ට විශේෂයෙන් වැදගත් වෙයි. ඒ හැරුණු කොට සාර්ථක ජීවිතයක් ගත කිරීමේ දී පුද්ගලයකුට අත්‍යවශ්‍ය වන “මතකයන්” මතක ගබඩාවේ තැන්පත් කර ගැනීම හා අවශ්‍ය වූ විට භාවිතයට ගැනීමට ද අවශ්‍ය වේ. ඒ ගැන ද අපගේ අවධානය යොමුවිය යුතුය.

මොළය හා සම්බන්ධ ශරීරයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය මෙහිදී වැදගත් කාර්යයක් ඉටු කරයි. කෙනකු අධ්‍යයනය කිරීම පිළිබඳව විද්‍යාත්මක ලෙස සලකා බැලීමේ දී ඔවුන්ගේ බාහිර චර්යා හෝ ඒ සම්බන්ධ නොයෙකුත් න්‍යායාත්මක කාරණා ගැන සැලකීම වටී. ඒ හා සම්බන්ධ අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය සැලකීමේ දී බුද්ධිමය ක්‍රියාකාරිත්වය (Cognitive Process) පිළිබඳව අවධානය යොමුකළ යුතුය. එහිදී සිතුවිලි (Thoughts), විශ්වාසය හා ඇදහිලි, (believes) මෙන්ම හැඟීම් හෙවත් චිත්තවේග (emotions) හා සම්බන්ධ ස්නායු පද්ධතිය මෙන්ම එහි ක්‍රියාකාරිත්වය සොයා බලනු වටී. මෙහි දී ස්නායු කායික විද්‍යාව (Neurophysiology) මගින් අපට අධ්‍යයන චර්යා ගැන අවබෝධයක් ලද හැකිය.

එහිදී තත්ත්වාරෝපණයෙන් (Conditioning Learning) ඇතිවන හුරුව සහ බුද්ධිමය හැකියාව (Cognitive Learning) වෙනත් අලුත් දෙයකට භාවිත කිරීමේ හැකියාව ලබා ගනී. එනම් බුද්ධිය තිබුණනාට මදි ය. බුද්ධිය තිබීම පමණක් ඵල රහිතය. අලුත් දෙයක් ගැන සිතා මතා අලුත් ආකාරයට එනම් නිර්මාණාත්මක ලෙස සිතා මතා කටයුතු කිරීම අවශ්‍යය. වැදගත් එයයි. බුද්ධිමය හැකියාව යනුවෙන් අදහස් කරන්නේ එයයි.

අපගේ මධ්‍ය ස්නායු පද්ධතිය මොළයේ සහ සහ සුෂුම්නාවේ සිට ඒ හා සම්බන්ධ පර්යන්ත ස්නායු ක්‍රියාකාරිත්වයකින් සහ අනිච්ඡානුග ස්නායු පද්ධතියකින් ද සමන්විතයි. අනිච්ඡානුග ස්නායු යනු අපගේ දැනුවත්වීමක් පාලනයක් නැතිව ඉබේ ක්‍රියාකාරන ස්නායු පද්ධතිය වේ. අද වන විට බොහෝ අධ්‍යයනයන් මගින් ඉගෙනීම සම්බන්ධ මොළයේ ක්‍රියාකාරිත්වය මෙන්ම ඉගෙනීමේ අපහසුතා ගැන බලපෑම් ද අධ්‍යයනයන් සිදු කරමින් තිබේ.

මෙහිදී හඳුනාගෙන ඇති කාරණයක් නම් මතකය සහ ඉගෙනීම සඳහා මානසික ක්‍රියාකාරිත්වය සමග සම්බන්ධ වන ආකාරය, එනිසා අද වන විට ඉගෙනීම සහ ඉගැන්වීම ගැන ද අධ්‍යයනය කෙරේ. එහිදී ඉගෙනීම අභිප්‍රේරණය (motivation) හෙවත් පෙලඹවීම සහ සංවර්ධනය (development) යන කාරණා තුන පිළිබඳව වැඩි නැඹුරුතාවක් දක්වයි. අප හොඳින් දන්නා අයුරු භාෂාවේ වර්ධනය වීම අධ්‍යයනය කරන විට මුල් කාලයේ ද අධ්‍යයනය හෙවත් ඉගෙනීම සඳහා යෝග්‍ය, ඒ සඳහා බලපාන නොයෙකුත් සාධක ගැනත් හඳුනා ගනු ලැබේ.

අධ්‍යයන යන්නෙන් පෙන්වා දී ඇති ආකාරයට අධ්‍යයනය කරන දේවල් (academic) වම් පස පිහිටි මොළයෙන් ගනී. එය “වම් අර්ධගෝලය” ලෙස හැඳින්විය හැකිය. එසේ ම එම කරුණු තුළ අන්තර්ගතය ක්‍රියාත්මක කරන්නේ දකුණු අර්ධ ගෝලයෙනි. එනිසා ගුරුවරුන් ඉගැන්වීමේ දී අවස්ථා සම්බන්ධ (Context) හැකි තරම් භාවිතා කිරීම වැදගත් වෙයි.

කෞතුකාගාරයක් නැරඹීම තුළින් ලබන දැනුම හා මතකය, එවැන්නක් ගැන ඇසීමෙන් හෝ පොත පත කියවීමෙන් ලද නො හැකිය. දැකීම නිසා ලබන දැනුම හා මතකය ඇසීම හා කියවීම තුළින් ලබනවාට වඩා වැඩි ය. ස්ථාවර ය. අමතක නොවනසුලු ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දරුවෝ සමහර විෂයයන් අප්‍රසන්න ලෙස සලකති. උදාහරණයක් ලෙස මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ දී ඒ හා සම්බන්ධ චර්යාවන් ගැන සංසන්දනාත්මකව සම්බන්ධ කර ගැනීමෙන් මනා අවබෝධයක් ලබාගත හැකිය.

අතීතයේ දී මේ හා සම්බන්ධ පර්යේෂණ, අධ්‍යයනයන් සඳහා මිය ගිය අයගේ මොළය පාවිච්චි කර තිබේ. එහිදී වැදගත් කරුණු හඳුනා ගත හැකි වුවත් අධ්‍යයන ක්‍රියාවලියේ දී මොළය ක්‍රියාත්මක වීම පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම අපහසු විය. එනිසා අධ්‍යයනයන් සමග මොළයේ වෙනස්වීම, එම අධ්‍යයනයන් කර ‍තොරතුරු භාවිතයට ගැනීම සහ ක්‍රියාත්මක කිරීම මෙන් ම අලුත් අලුත් දේ ඉගෙනීම සඳහා මොළයේ ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම ද වැදගත් වේ. වීර කැප්පෙටිපොල නිලමේතුමා ඝාතනය කරනු ලැබීමෙන් පසු ඉංග්‍රීසිහු ඔහුගේ හිස එංගලන්තයට රැගෙන ගියහ.

එහි දී ඔහු‍ගේ අසාමාන්‍ය වීරත්වය, හඳුනා ගැනීම සඳහා මොළය පරීක්ෂා කර ඇති බව ඉතිහාස කතාවේ සඳහන් ය. සාමාන්‍ය මිනිස් මොළයට වඩා එහි රැළි ස්වභාවයේ ද වෙනසක් තිබූ බව කියැවේ. අයින්ස්ටයින් වැනි මහා චින්තකයන්, දාර්ශනිකයන්ගේ මොළය අසාමාන්‍ය ලෙස විශාලව පිහිටා තිබූ බව ද අධ්‍යයන වලදී තහවුරු වී ඇත.

අධ්‍යයන ක්‍රියාවලිය තුළ මොළය සම්බන්ධ වීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. “බයිර්මස්” (Byrmes) නම් විද්‍යාඥයා 2001 දී ඉගෙනීම සහ මතකය ස්නායු කායික විද්‍යාත්මකව පැහැදිලි කර තිබේ. තොරතුරු පිරිසැකසුම් ක්‍රමය හෙවත් සකස් කරන, පදම්කරන ක්‍රමවේදය (infromations processing system) මෙහි දී අන්තර්ගත ය. ඒ අතර සංවේදන ගබඩාවීම නැතහොත් සංවේදන ධාරණාව (sensory register), කෙටිකාලීන ධාරණාව හෙවත් කෙටිකාලීන මතකය (short time memory or working memory), දිගුකාලීන මතකය (Long term memory) යන ක්‍රමවලට මතක ගබඩාවේ මතකයන් සම්බන්ධ තොරතුරු සංවේදන තැන්පත් වේ.

සංවේදන පිරිසැකසුම (Sensory register) මගින් තොරතුරු ග්‍රහණය කර ගන්නා අතර එම තොරතුරු තත්පරයකටත් වඩා ඉතා අඩු කාලයක් රඳවා තබා ගනී. ඉන්පසු එම තොරතුරු ඉවත්කර, අයින් කර (discard) දැමීම හෝ ක්‍රියාත්මක මතකය (working memory) වෙත සම්ප්‍රේෂණය කරයි. බොහෝ සංවේදන මතක (sensory memory) කරන්නේ ඒවා විනාශ කර දැමීමයි. ඒවා කෙටිකාලීන මතකයටවත් (short terms memory) නො ගනී. මේ අතර විශේෂ සංසිද්ධීන් (special incidents) බහුතරයක් ම සංවේදන සැපයුම් (sensory inputs) අපට ලැබෙන අතර ඒවා අපගේ පසිඳුරන්‍ ඔස්සේ ම ලැබේ.

මෙම ලැබෙන සංවේදන වලින් ඉතා සුළු ප්‍රමාණයක් කෙටිකාලින මතක ගබඩාවට යයි. සංවේදී ඉන්ද්‍රියයන් මගින් අපට ලැබෙන සංවේදන ඍජුව ම තැලමස කරා ගමන් කරන අතර ම ඉන්පසු මොළයේ බාහිකය දක්වා එම තොරතුරු රැගෙන යන්නේ ක්‍රියාකාරිත්වය සඳහා ය. නමුත් ආඝ්‍රාණයට අදාළ සංවේදන කෙළින් ම තැලැමස ඔස්සේ ගමන් නො කරයි. මෙසේ ලබා ගන්නා සංවේදන පෙර මතකයේ පවතින සංවේදන හා සම්බන්ධ වී එම සංවේදන විශ්ලේෂණය කර ගැනීම සිදුකර ගනී. විභාග සඳහා පුනරීක්ෂණ (revision) කිරීමේදී ද සිදුවන්නේ මෙම ක්‍රියාවලිය යි. එබැවින් උගත් දෙයක් පාඩමක් පිළිබඳ නැවත නැවත අභ්‍යාසයේ යෙදීම වැදගත් වේ.

Recommended For You

About the Author: Editor