මහජන මතයට හිස නමන්න ‘එජාපය තවත් කල්යල් බලයි’

ජනපතිවරණ පරාජයෙන් පසු ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුද ? නැතහොත් මහ මැතිවරණයකට යා යුතු ද ආදී කරුණු සම්බන්ධ තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (18) රැස්වී සාකච්ඡා කළ අතර එහිදී අවසන් තීරණයකට එළඹීමට ඔවුන්ට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් එහිදී ආණ්ඩුව ලෙස ඉදිරියට යා යුතු බවට අගමැතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද එම පෙරමුණු ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කර බදාදා දිනයේදී අවසන් තීන්දුවක් ගැනීමට මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ද වාර්තාවේ.

මේ අතර අද (18) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ආගමික උත්සවයකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ජනමතයට ගරු කළ යුතු බවයි. ජනපතිවරයා සහ අගමැතිවරයා එකම පක්ෂයකින් පත්කර ගැනීමට ජනවරම අනුව අවස්ථාව හිමිවිය යුතු බව ද මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

අද මාධ්‍ය හමුවක් කැදවමින් ආචාර්ය ඕමල්පේ සෝහිත හිමියෝ ද අවධාරණය කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට මාර්තු මාසය වන තෙක් කල් නොසිට වහාම මහ මැතිවරණයකට යා යුතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් පුරවැසියන් ඇතුළු සියලුම පාර්ශ්ව අවධාරණාත්මකව සදහන් කළේ ‘තව එක මොහොතක් හෝ බලයේ සිටීම අගමැතිවරයා ප්‍රමුඛ එජාප ආණ්ඩුව සදාචාරාත්මක මෙන්ම නෛතික අයිතියක් නොමැති බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ වහාම ආසන 54ක් පමණක් හිමි එජාප ආණ්ඩු බලය අල්ලා ගත් බව සදහන් කළ ඔවුහු ‘දේශපාලන සදාාචාරය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එජාප නායකයා මෙතරම් දින ගණනක් හෝ අග්‍රාමාත්‍ය ධූරයේ එල්ලී සිටීම පිළිකුල් සහගත බව ද ජනමතයට සමච්චල් කිරීමක් බව ද සදහන් කළේය.

Recommended For You

About the Author: Editor