මාර්තු වෙනකම් නොසිට ‘මහ මැතිවරණයක් පවත්වන්න’ – ඕමල්පේ සෝභිත හිමියෝ ජනපති ගෝඨාගෙන් ඉල්ලති

ලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.


අද (18) ඇඹිලිපිටිය බෝධිරාජ විහාස්ථානයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ කීහ.
 
“නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති නිර්බාධකව ඉදිරියට පවත්වාගෙන යාමට සහායෝගය අත්‍යවශ්‍යයි. වත්මන් රජයේ ඇමතිවරුන් පිරිසක් සියධූරවලින් ඉල්ලා අස්වීම අපි ඉතා අගය කර සලකනවා. ඒත් එක්කම වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ පූර්වාදර්ශය ගතයුතු බවයි අපේ හැඟීම.
 
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නව ජනාධිපතිවරයාට සිය කටයුතු කරගෙන යාමට විශ්වාසවන්න අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට අවස්ථාව ලබා දියයුතුයි.
 
අපි දැක්කා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති වූ අවස්ථාවේ එයාට කැමති අගමැතිවරයෙක් කැබිනට් එකක් පත්කරගන්න අවස්ථාව දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් ආදර්ශය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් දේශපාලන අර්බුදයක්, අවුලක් අපිට නැවතත් දකින්නට ලැබෙයි.
 
පසුගිය වසර හතර තුළ අගමැති ජනපති එක්ව කටයුතු නොකළ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි බරපතල ප්‍රහාරයක් සිදුවුණේ.
 
දැන් ඉතින් ලබන මාර්තු වෙනකම් තවත් බලා නොසිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාගේ එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුව විසිරුවා හැර නව ව්‍යාවස්ථාදායක සභාවක් ඇති කළ යුතුයි. ඒ නිසා ආත්මාර්ථකාමී නොවී පෞද්ගලික අභිමතාර්ථයන් ඉදිරියට නොදමා ලැබුණු පැහැදිලි ජනවරමට ගරු කොට ක්‍රියා කිරීම සියලුම මහජන නියෝජිතයන්ගේ වගකීමයි. 

මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක සිංහල බෞද්ධ පරාමාධිපත්‍යයේ ස්වරූපය පැහැදිලිව ඉදිරියට ඇවිත් තියනවා. මේරට සිංහල, බෞද්ධ යන සංකල්පයෙන් බැහැර කරන්නට ඉඩ නොදෙන බව ජනතාව සහතික කරලා තියනවා. ඒනිසා නව ජනාධිපතිවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් සිංහල බෞද්ධ ආකල්පය පෙරටු කරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. සිංහල බෞද්ධ ආධිපත්‍ය තුළ තමයි අනික් සියලුම ජනවර්ගවල අයිතිය සුරැකෙන්නේ යන කාරණය සියලුම දෙනාට අද පිළිගන්න වෙලා තියනවා. ඒක තමයි ඇත්ත.
 
එක්සත් ජාතික පක්‍ෂයට තවදුරටත් සජීවීව දේශපාලනය කිරීමට අවශ්‍ය නම් සිංහල බෞද්ධ සංකල්පය අනුමෝදන් විය යුතුයැයි අපි ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණටත් අනාගතයක් ඕනෑනම් මේ කියන සිංහල බෞද්ධ අයිතිය කියන යථාර්ථය තේරුම් ගන්න වෙනවාය කියන එකත් අවබෝධ කරගන්න වෙනවාය කියන එකත් සිහිපත් කරනවා.
 
මේ රජයෙ වගකිවයුතු අය සිංහල බෞද්ධයා පීඩාවට ලක්කිරීමේ විපාක අද ඒය අත් විඳිනවා. ඒ ගැන කතා කළ යුතු නෑ. මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක සිංහල බෞද්ධ අයිතිය තහවුරු වෙලා තියනවා.
 
අධිකරණයට, ජනතා පරමාධිපත්‍යයට, රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට  අසාධාරණයක් නොවෙන්න චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින යම් රණවිරුවෙක්  ඇත්නම් ඒ චෝදනා ඉක්මණින් විමර්ශනය කරලා පියවරක් ගැනීම නව ජනාධිපතිවරයා කඩිනමින් කරයි කියලා අපි විශ්වාස කරනවා” යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

Recommended For You

About the Author: Editor