ජනපතිගේ ගෝඨාභයගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

සිය පළමු නිල විදේශ සංචාරය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන (29) වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ජනපති කාර්යාලය සදහන් කරයි.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවට පැමිණෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය රැගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද (19) සවස මෙරටට පැමිණි අතර අද රාත්‍රියේදී ජනපතිවරයා හමුවී අගමැති මෝදිගේ ආරාධනය පිළිගැන්වීය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 29 වැනිදා ඉන්දියාවේ සංචාරය කරනු ඇත.

ඒ බව සඳහන් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඉහළ මට්ටමකට වර්ධනය වනු ඇති බවත් දෙරටටම ප්‍රතිලාභ ගෙනෙමින් සාමය, සංවර්ධනය, සෞභාග්‍යය සහ ආරක්ෂාව වර්ධනය වනු ඇති බවත් සඳහන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පණිවුඩය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ආචාර්ය ෂිල්පක් අම්බුලේ සහ එම අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප සම්බන්ධීකරණ ලේකම් අමිත් නාරන්ග් යන මහත්වරු ද මෙරටට පැමිණියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අතර පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද සහභාගී විය.

Recommended For You

About the Author: Editor