නව ජනපති සුබ මොහොතින් වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (18) රුවන් වැලි සෑ සමිදුන් අභීයස දීි දිවුරුම් දුන් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිල වශයෙන් ජනාධිපතිධූරයේ වැඩභාර ගැනීම අද (19) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිනි.

අනතුරුව අතිගරු ජනාධිපතිතුමා විසින් සිය ප්‍රථම කාර්යය ලෙස ජනාධිපති ලේකම්වරයා වශයෙන් ආචාර්ය පීි. බී. ජයසුන්දර මහතා, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් එස්. ආර්. ආටිගල මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ඕෂධ සේනාරත්න මහතා පත් කෙරිණි.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 9.58ට පමණ ජනධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ සාම්ප්‍රදායික උඩරට වෙස් නර්ථන කණ්ඩායම හා ජය සක් වාදනයන් මධ්‍යයේයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා විසින් අභිනව ජනාධිපතිවරයාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලැබීය.

අනතුරුව ත්‍රිවිධ හමුදාව විසින් සම්මාන ආචාර පෙළපාලිය පැවැත් වූ අතර ඉන්පසුව යුද හමුදාව විසින් සම්මාන වෙඩිමුර 21කින් අභිනව ජනාධිපතිවරයාට සිය ආචාරය දැක්විය.

අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කර්යාලය තුළට පිවිසියේය.

එහිදී මහාසංඝරත්නය විසින් අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළ අතර එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියේය.

අනතුරුව පෙරවරු 10.51ට යෙදුණු සුබ මොහොතින් ජයපිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කළ අතර පසුව ජනාධිපතිවරයා විසින් නව ලේකම්වරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කලේය.

Recommended For You

About the Author: Editor