Voice of දියවන්නා SLPP: වසර පහක් පුරා ‘ප‍්‍රසන්න’ වැපිරූ බීජවලින් හිතූ ලෙසම සරු සාර අස්වැන්නක්

සටහන – ගජබා නාගහවත්ත

ජනාධිපතිවරණය පැවැත්වුණු 16 වැනි දා උදේම සිය බිරිය සමඟ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රසන්න කෙළින්ම ආවේ උඩුගම්පොළ පිහිටි සිය කාර්යාලයටය. කාර්යාලයේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ කටයුතු සොයා බැලූ කළ ප්‍රසන්න දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වල සංචාරය කළේය.

සවස් වරුව වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 81 ඉක්ම වූ පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව දැනගන්නට ලැබුණේය. ඒ බව ඇසූ ප්‍රසන්න කීවේ “එහෙනම් අපේ ටාගට් එක හරි“ කියාය.

ප්‍රසන්නගේ ඉලක්කය වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ලක්ෂ තුන ඉක්මවීමය. ප්‍රසන්න එයට ලැහැස්ති වුණේ 2015 සිටමය. පසුගිය ජනාධිපතිවරණ, මහ මැතිවරණ සහ අනෙකුත් මැතිවරණවල ප්‍රතිඵල අධ්‍යනය කරමින් වගු සහ ප්‍රස්තාර සකසමින් ප්‍රසන්න වසර පහක් තිස්සේ ඊට සූදානම් විය.

උතුර සහ නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය එක්සත් ජාතික පක්ෂයට වාසිසහගත තත්ත්වයක් තිබීම තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තීරණාත්මකව බලපාන බව ප්‍රසන්නගේ අදහස විය. ඒ අනුව ”17 ලක්ෂයක් වූ ගම්පහ දිස්ත්‍රික් ඡන්ද ප්‍රමාණයෙන් බහුතරය ගතහැකි වුවහොත් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සුළු දෙයක් ”බව ප්‍රසන්න නිතර කිවේය.

ඡන්ද විමසීම අවසන් වන තුරු උඩුගම්පොළ කාර්යාලයට වී කටයුතු නිරීක්ෂණය කරමින් සිටි ප්‍රසන්න පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයට ගියේ පස්වරු 6ට පමණය. ඒ වන විටත් තැපැල් ඡන්ද ගණනය ආරම්භ කර තිබුණු අතර ප්‍රසන්න ඒ කටයුතු නිරීක්ෂණය කළේය. රාත්‍රි දහය පමණ වන විට දැනගන්නට ලැබුණේ ගම්පහින් ගෝඨාභය ඉදිරියෙන් සිටින බවය.

ප්‍රසන්න සමඟ ඔහුගේ හිතවතුන් පිරිසක් ද ගණනය කිරීමේ මධ්‍යස්ථානයේ සිටියහ.එම මධ්‍යස්ථානය ඉදිරිපිට තිබූ කඩවලින් තේ බොමින් වඩේ කමින් සියලුදෙනාම නිදි මැරුවේ අවසන් ප්‍රතිඵලයක් දැනගන්නා තුරුය. නිල ප්‍රතිඵල එන තුරු රට වටා සිටින මන්ත්‍රීවරුන් අමතමින් නිවැරැදි තොරතුරක් ගන්නට ප්‍රසන්න වෙහෙසුණේය. ප්‍රසන්නගේ හිතවත් මාධ්‍යවේදී කණ්ඩායම ද ඔහු සමඟ සම්බන්ධ වෙමින් සිටියේ  කුමක් හෝ ආරංචියක් අල්ලා ගන්නටය.

ඡන්දය ගණනය කෙරෙන අතර ප්‍රසන්නට ඇමතුමක් ගත් මහින්ද තත්ත්වය විමසුවේය. ප්‍රසන්න කීවේ ලක්ෂ තුනහමාරක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත හැකි බවය. එහෙත් පාන්දර වන විට තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේය.  ඒ වන විට උතුරු පළාතේ ප්‍රතිඵල නිකුත් වෙමින් පැවැති අතර වැඩි වාසිය තිබුණේ සජිත්ටය. ඒ අතරතුර මහින්ද සහ බැසිල් ප්‍රසන්නට දැනුම් දුන්නේ උතුර කෙසේ වෙතත් දකුණේ ප්‍රතිඵලය ගැන සැකයක් නැති බවය.

 මේ අතර ඡන්ද ගණින මධ්‍යස්ථානයේ සිටි නියෝජිතයන්ගෙන් ප්‍රසන්නට දැනගන්නට ලැබුණේ ඒ වන විට තුන්ලක්ෂ විසිපන්දහසක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගෝඨාභය ඉදිරියෙන් සිටින බවය. ප්‍රසන්න මහින්දට ඇමතුමක් ගෙන එම කාරණය දැනුම් දුන්නේය. මහින්ද කීවේ ප්‍රසන්න කොහොම හරි මේක කරන බව අපි මුල ඉඳන් දැනන් හිටියා කියාය.

අවසන් නිල ප්‍රතිඵලය ආ පසුව ප්‍රසන්නට ගෝඨාභය, මහින්ද සහ බැසිල්ගෙන් දුරකථන ඇමතුම් ලැබුණේය. තිදෙනාම ප්‍රසන්නට මුව නොසෑහෙන සේ ස්තුති කළේ ගම්පහ දිනවා දීම සම්බන්ධයෙනි. ගම්පහින් එවැනි ප්‍රතිඵලයක් නොලැබුණේ නම් තත්ත්වය බෙහෙවින් අසීරු වන්නට තිබුණු බව කාගෙත් මතය විය. ප්‍රසන්න ද සිය හිතවතුන් සමඟ කීවේ ජයග්‍රහණයේ සුවිශේෂී කොටස්කරුවන් වන්නට ගම්පහ ජනතාව සමත් වීම ආඩම්බරයට කරුණක් බවය.

Recommended For You

About the Author: Editor