පන්සල් තිබුණත් හාමුදුරුවරු නැති එක අපට ලොකු ප‍්‍රශ්නයක් – අගමැති මහින්ද රාජපක්ෂ

‘අද අපට පන්සල් තියෙනවා, නමුත් හාමුදුරුවරු නැහැ. හුඟක් පන්සල් වැහිලා. ඒක අපට ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඒ පන්සල් නගා සිටුවීම නායක ස්වාමීන් වහන්සේලාට ඇති කාර්‍යභාරයක් වෙනවා. රජයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට අපි කටයුතු කරනවා’ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ (23) වීරඹුගෙදර රන්වලගෙදර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ නව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාට එක් වෙමින්.

“රාජ්‍ය සේවකයින් සද්භාවයෙන් කරන ක්‍රියාවන් ඔවුන්ට පාරා වලල්ලක් වන්නට කිසිසේත් අප ඉඩ දෙන්නේ නැහැ. බුද්ධ ජයන්තියට සිල් රෙදි බෙදන්න කියලා මහා සංඝරත්නයෙන් ඉදිරිපත් කල යෝජනාව අනුව එදා විධායක ජනාධිපතිවරයා ලෙස මා දුන් නියෝගය ක්‍රියාත්මක කළ ලලිත් වීරතුංග මහත්තයටයි, අනූෂ පැල්පිට මහත්තයටයි එදා ජම්පර් ඇන්දුවා. තවමත් ඒ නඩුව යනවා. මෙවැනි තත්වයකින් රජයේ සේවකයා මුදවා ගතයුතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වෙනම විශේෂ පනතක් ගෙන ආ යුතුයි.

නමුත් දැන් තියෙන්නේ සුලුතරයක් සහිත ආණ්ඩුවක්. විරුද්ධ පක්ෂය වැඩියි. ආණ්ඩු පක්ෂයක් විදිහට අපට අඩුයි. නමුත් අපි දෙගොල්ල එක්තරා විදිහක සහයෝගයකින්  මාස 3ක් මැතිවරණයකට යනතෙක් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකට කතානායකතුමා මැදිහත් වෙලා කටයුතු කරනවා. ජනතා වරම තියෙන්නේ අපිටයි. ඒ වරම අනුව ඔවුන් කටයුතු කිරීම අපි එක පැත්තකින් අගය කරන්න ඕනෑ. අපිට ඒ වෙලාවේ මන්ත්‍රී ධුර එකසිය හතලිස් ගණනක් තියෙනකොට මේ අද අභාවප්‍රාප්ත වෙලා ඉන්න දි.මු. ජයරත්න අගමැතිතුමා ඉවත්වෙලා ගියා. 42ක් තිබුණු පක්ශයේ නායකයාට අගමැතිකම දුන්නා.

මේක තමයි මම අගමැතිවෙලා කරන පළවෙනි රාජකාරිය. දැන් මම බුද්ධ ශාසන ඇමති නිසා අයිතියකුත් තියෙනවා ආරාධනා කළාම එන්න. අද අපට පන්සල් තියෙනවා. නමුත් හාමුදුරුවරු නැහැ. හුඟක් පන්සල් වැහිලා. ඒක අපට ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඒ පන්සල් නගා සිටුවීම නායක ස්වාමීන් වහන්සේලාට ඇති කාර්‍යභාරයක් වෙනවා. රජයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට අපි කටයුතු කරනවා. වසර කීපයකට පසු පළවෙනි වතාවට තමුන්නාන්සේලා සියලු දෙනා එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.

අපට තියෙනවා ලොකු වගකීමක්… ඒ වගේම මේක තාවකාලික ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 15 දෙනයි. කැබිනට් එක පහලොවට බස්සනකොට පළාත් සභාවේ ඇමති මණ්ඩලය හතරේ ඉඳලා දෙකට බස්සනවා වගේ වැඩක් මේක. 15 දෙනෙක් තෝරනකොට ප්‍රශ්න තියෙනවා. සුදුස්සෝ ඉන්නවා. සුදුස්සෝ අපමණයි. ඒ සුදුස්සන්ට 15 නිසා ඇතිවුන හිත් අමනාපකම් මම දන්නවා. ඒ වුණත් ඔවුන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මේ මාස කීපය කැපකරන්න අපට පුලුවන් කියන ආත්ම ශක්තිය ඔවුන්ට තිබුණා. ඔවුන් මට කිව්වේ අපිත් මහන්සියෙන් වැඩ කළා. ඒ නිසා හිත් වේදනාවක් තියෙනවා. නමුත් අපි රටක් වෙනුවෙන් කරන කැපවීම කරන්න සූදානම් කියලයි. ඒක  අපි අගය කරනවා.‘‘ යැයි පැවසීය.

ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරත්න හිමියන්ගේ ආරාධනයෙන් අගමැතිවරයා මෙම අවස්ථාවට එක්වූ අතර දහම් පාසල් ගොඩනැගිල්ල ව්‍යාපාරික රංජිත් වීරසිංහ මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන්  ඉදිකර තිබිණ.

Recommended For You

About the Author: Editor