‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ බයිස්කෝප් එකක් නොවෙයි – අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය

”චිත්‍රපටය බලන්න ප්‍රේක්ෂකයො එන්නෙ නැත්නම් අපිට ඒ චිත්‍රපටය බලෙන් සිනමා ශාලාවේ රඳවා තබා ගන්නත් පුළුවන්කමක් නෑ”

සිනමා අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරියගේ තිරරචනයෙන්, නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩ වූ ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ සිනමාපටය මේ දිනවල තිරගත වන්නේ විනෝදාස්වාදයට යටින් දිවෙන සමාජ යථාර්ථයක් ප්‍රේක්ෂකයාට සමීප කරවමිනි. මේ දිගහැරෙන්නේ ඔහු හා ඔහුගේ නවතම සිනමා අත්දැකීම පිළිබඳ කළ සුහද සංවාදය යි.

“ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” නිර්මාණය වී ඇත්තේ කෙබඳු තේමාවක් ඔස්සේ ද?

මේ චිත්‍රපටය පුරා දිවෙන්නේ ශ්‍රී ලංකාවට හොඳ ජනාධිපතිවරයෙකු තෝරගැනීම සඳහා පවත්වන රියැලිටි වැඩසටහනක්.

ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් මේ තරගයට ඉදිරිපත් වන තරගකරුවන් විවිධ දක්ෂතා විදහා දක්වන්නේ තම තමන්ගේ සුදුසුකම් තහවුරු කරන්න. තරගය ඉදිරියට ඇදෙන්නේ තීරණාත්මක ව. මේ වැඩසටහන නිර්මාණය කරන රූපවාහිනි නාලිකාව අභියෝග මැදින් මේ කටයුත්ත ඉදිරියට අරන් යන ආකාරය තමයි චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නෙ.

මේ චිත්‍රපටිය සුදුසු ම කාලෙදි එළියට දෙන්න පුළුවන් වීම ගැන මොකද හිතන්නෙ? 

චිත්‍රපටිය නිර්මාණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳල ම මගේ හිතේ තිබුණා මේ චිත්‍රපටය ජනාධිපතිවරණයට කලින් ප්‍රදර්ශනය කරන්න ඕනෙයි කියන කාරනාව.

මොකද අපි දැනගෙන හිටියනේ මේ කාලෙදි අනිවාර්යෙන් ම ජනාධිපතිවරණයක් පැවැත්වෙනවයි කියලා. මේ වස්තු බීජය මගේ ඔළුවෙ තිබුණා සෑහෙන්න කාලයක් තිස්සේ. ඉතිං මම තීරණය කළා  ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන්  උණුසුම් වාතාවරණයක් පවතින මේ අවස්ථාව මේ චිත්‍රපටය එළිදැක් වීමට සුදුසු ම කාලය බව. රූපගත කිරීම් ආරම්භ කළේ ජූනි 2 වැනි දා. මාස හතරක් ඇතුළත චිත්‍රපටියේ සියලු ම කටයුතු නිමා කළා. ඒ වගේ කෙටි කාලයකදී චිත්‍රපටියක් නිර්මාණය කිරීම විශාල අභියෝගයක්. සිනමා එන්ටර්ටේන්ට්මන්ට් මණ්ඩලය ඔක්තෝම්බර්  25 වැනි දින සිට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. මේ දිනවල චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා.  

ලැබෙන ප්‍රතිචාර ගැන ඔබේ අදහස ?

මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ.

මේ උණුසුම් දේශපාලන වාතාවරණය යටතේ කිසිම පක්ෂයකට පහර ගහන්න හෝ කිසිම පක්ෂයක් නඟා සිටුවන්න මේ චිත්‍රපටය තුළින් උත්සාහ කරලා නෑ. මම කිසි ම දේශපාලන බල කඳවුරකට සම්බන්ධ නැති නිසා ස්වාධීන ව ආකාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කළේ.

මේ රටේ දුරාචාර දේශපාලනය, බලලෝභී දේශපාලනය ගැන සෑහෙන කාලයක ඉඳන් මා තුළ ඇති කලකිරීමත් මේ නිර්මාණයෙන් නිරූපණය වෙනවා. මේ තුළ ඇත්තේ කිසියම් ආකාරයක වාර්තාගත ස්වරූපයක්. නමුත් තමන්ගේ දේශපාලන පක්ෂය සමඟ තදින් බැඳී සිටින ඇතැම් පිරිස් තුළ මේ චිත්‍රපටය ගැන කිසියම් ආකාරයක විචිකිච්චාවන් තියෙන්න පුළුවන්. එහෙම කාරණා මතු වන අවස්ථා මම දැක්කා.

ඊට අමතර ව ස්වාධීන ව රටේ යහපත ගැන හිතන පිරිස් මේ චිත්‍රපටිය ඉතාමත් ආසාවෙන් වැළඳගෙන තියෙනවා. ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වනවා වගේ ම පුදුමාකාර විදිහට මේ චිත්‍රපටිය අගය කරනවා.  නමුත් තමන්ගේ දේශපාලනය තුළින් යම් ආකාරයක වාසි බලාපොරොත්තු වන පුද්ගලයන්ට මේ චිත්‍රපටිය තුළින් කිසියම් යහපත් දෙයක් දකින්න බැරුව ඇති කියලා මම හිතනවා. ඒ නිසා ම විසම ප්‍රතිචාර තමයි චිත්‍රපටියට ලැබෙන්නෙ. කෙසේ හෝ චිත්‍රපටිය නිර්මාණය කරන්න හැකි වීම ගැන සතුටු වෙනවා. මේ චිත්‍රපටියේ වටිනාකම අදට වඩා හෙට වැඩිවෙයි කියලයි මම හිතන්නෙ.

මේ නිර්මාණය වෙනුවෙන් රංගන දායකත්වය ලබාදෙන පිරිස මතක් කළොත්?

මේ චිත්‍රපටය මම මින් පෙර නිර්මාණය කළ සෞන්දර්යාත්මක චිත්‍රපටිවලට වඩා වෙනස් එකක්.

ශ්‍රියන්ත මෙන්ඩිස්,මහේන්ද්‍ර පෙරේරා, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, ගිහාන් ප්‍රනාන්දු,රොෂාන් රණවන, පුබුදු චතුරංග, නිල්මිණි තෙන්නකෝන්, ලකී ඩයස්, සනත් ගුණතිලක, බිමල් ජයකොඩි ඇතුළු ප්‍රවීණ නළුනිළියන් විශාල පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. ජයනාත් ගුණවර්ධන තමයි මේ චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නෙ. සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙන්.

මේ චිත්‍රපටය මම මින් පෙර නිර්මාණය කළ සෞන්දර්යාත්මක චිත්‍රපටිවලට වඩා වෙනස් එකක්. මේක ඇත්තට ම බයිස්කෝප් එකක් නෙවෙයි. ඊට එහා ගිය ජීවිතාවබෝධයක් සහ රට ගැන ආදරයක් ඇති කරගන්න පුළුවන් චිත්‍රපටියක් විදිහට තමයි මම මේ චිත්‍රපටිය නිර්මාණය කළේ. පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් විනෝදාත්මක චිත්‍රපටියක්. සිනමාත්මක අගයන් බහුලයි. ඒ විනෝදෙට යටින් හිනාවත් එක්ක හදවතට දැනෙන යමකුත් මේ තුළින් උකහා ගන්න පුළුවන්. මේ රටේ පුරවැසියෙක් වශයෙන් ජීවත් වෙනකොට අපිට ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. එක එක්කෙනාට හුරේ තිය තිය අත්පුඩි  ගැහුවට අපි අද මේ තියෙන අප්‍රසන්න දේශපාලන වටපිටාව ගැන මොන තරම් කලකිරීමෙන් ද ඉන්නෙ? මේ සියලු කාරණා ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ තුළ ගැබ්වෙලා තියෙනවා.

වර්තමානයේ ඇතැම් චිත්‍රපට සිනමා ශාලාවලින් දවසින් දෙකෙන් ගැලවී යෑම පිළිබඳ ඔබට ඇත්තේ කෙබඳු අදහසක්ද?

චිත්‍රපටියට අත්වන ඉරණම තීරණය වෙන්නේ ප්‍රේක්ෂකයන්

අපි මොනතරම් වියදම් කරලා, කාලය මිඩංගු කරලා, ආයාසයෙන් චිත්‍රපටියක් නිර්මාණය කළත් අවසානයේ දී ඒ චිත්‍රපටියට අත්වන ඉරණම තීරණය වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වය මත. අපිට ඒක වෙනස් කරන්න බෑ. චිත්‍රපටිය වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයේ උනන්දුවක් නැත්නම් අපිට කරන්න දෙයක් නෑ. අපිට ඒ පාඩුව විඳදරා ගන්න වෙනවා.

චිත්‍රපටය බලන්න ප්‍රේක්ෂකයො එන්නෙ නැත්නම් අපිට ඒ චිත්‍රපටය බලෙන් සිනමා ශාලාවේ රඳවා තබා ගන්නත් පුළුවන්කමක් නෑ. මොකද අපි චිත්‍රපටියකට වියදම් කරනවා වගේ ම තමයි සිනමා ශාලා හිමියනුත් විශාල වියදමක් දරනවා, තමන්ගේ සිනමා ශාලාව පවත්වාගෙන යන්න. ඔවුන් කරන්නෙත් කිසියම් ආකාරයක ව්‍යාපාරයක්. ඉතින් මේ දෙක ගැලපෙන්න ඕනෙ. මෙතන අතරමැදියා වෙන්නේ ප්‍රේක්ෂකයන්.

ඔවුන් සිනමා ශාලාවලට එනවා නම් සිනමාශාලා හිමියාත් සතුටුයි. නිෂ්පාදකවරයාත් සතුටුයි. චිත්‍රපට කර්මාන්තයටත් හොඳයි. නමුත් ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට එන්නෙ නැත්නම් ඊට හේතුව ඒ සිනමා කෘතිය තුළ තිබෙන ගුණාත්මක බවේ අඩුපාඩුවක් හෝ ඉදිරිපත් කිරීමේ ගැටලු සහගත බවක් විය හැකි යි. එහෙම අවස්ථාවක ඒ පාඩුව විඳ දරාගන්නවා මිස බලහත්කාරයෙන් චිත්‍රපටිය සිනමා ශාලාවේ රඳවා ගන්න පුළුවන්කමක් නෑ.

චිත්‍රපටය සිනමා ශාලාවෙන් ගැලවුණු වහාම නිෂ්පාදකවරු විශ්වාසය තියන්නේ DVD ගැන නේද ?

එහෙම ප්‍රවණතාවක් තියෙනවා. DVD ආවෙ එක්තරා තාක්ෂණික පෙරළියක් විදිහට.

අද වෙද්දි DVD හරහා වෙන ම ව්‍යාපාරයක් හැදිලා තියෙනවා. අද වෙද්දි සිනමා කලාව සිනමා ශාලාව තුළ පමණක් රැඳිලා නෑ. විසිරිලා ගිහින්. ඒ නිසා චිත්‍රපටයට හානියක් වෙනවා කියලා DVD ගහන එක නවත්වන්න බෑ. සිනමාකරුවන් විදිහට අපි දැනගන්න ඕනෙ සිනමා ශාලාවලින් ළංවෙන්න බැරි වුණු ප්‍රේක්ෂකයා වෙත DVD මාර්ගයෙන් හෝ චිත්‍රපටය ළං කරලා DVD ව්‍යාපාරය තුළින් කිසියම් ලාභයක් ලබන්න. නමුත් DVD තුළින් සිනමාවට හානියක් වන අවස්ථාත් තියෙනවා. බාල විදිහට මේ ව්‍යාපාරය හසුරවනවා නම් ඒ වෙනුවෙන් කිසියම් නීතිමය පියවර ගන්න එකේ වරදක් නෑ. නමුත් DVD ගහලා චිත්‍රපට විකුණනවයි කියන කාරණය එක්තරා විදිහකට තාක්ෂණයත් එක්ක වෙනස් වෙච්ච ව්‍යාපාරික කටයුත්තක් බවට පත්වෙලා තියෙනවා.

මෙරට චිත්‍රපට කර්මාන්තය තුළ හොඳ මට්ටමේ තිර පිටපත්වල හිඟයක් තිබෙනවාද?

චිත්‍රපටයක මූලික ශක්තිය වෙන්නේ තිරනාටකය. හොඳ තිර නාටකයක් නැත්නම් හොඳ චිත්‍රපටියක් නිර්මාණය කරන්නත් අපහසුයි.

ඒ නිසා හොඳ තිරනාටකයක් මූලික ව ම උපකාර වෙනවා චිත්‍රපටිය හොඳින් ගොඩනඟන්නත් එය සිනමා ශාලාවට රැගෙන එන්නත්. නමුත් අද ඇත්තට ම ලංකාවේ විශාල තිර පිටපත් හිඟයක් තිබෙන බව මම දකිනවා. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් ඉන්දියාවේ චිත්‍රපට කොපි  කරන්න උත්සාහ කරන්නෙ. සිනමා කර්මාන්තය දියුණු කරන්න අපට හොඳ තිර රචකයන් අවශ්‍ය යි.

සිනමාව කර්මාන්තයක් ලෙස නඟා සිටුවීමට යෝජනා කළ හැක්කේ කුමක් ද?

හොඳ හැදෑරීමක් ඇති තරුණ සිනමාකරුවන් සිනමාට කැන්දාගෙන ඒමට වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෙ.

ඒ වගේ ම ඔවුන්ගේ උසස් මට්ටමේ සිනමා නිර්මාණවලට මූලික තැනක් දෙන්න ඕනෙ. අද තියෙන එක ගැටලුවක් තමයි සියල්ල ම පාහේ නිර්මාණය වෙන්නෙ කලාත්මක පැත්තට බර චිත්‍රපට. ඊට අමතර ව හොඳ මට්ටමේ විනෝදාත්මක චිත්‍රපට නිර්මාණය කරන්න පුළුවන් අධ්‍යක්ෂකවරුන්වත් දිරිමත් කරන්න ඕනෙ. අපි ගොඩක් වෙලාවට දකිනවා සිනමා කර්මාන්තයේදි වැඩි වශයෙන් උගන්වන්නේ   කලාත්මක නිර්මාණ ගැන විතරයි. ඊට අමතර ව විනෝදාත්මක සිනමාවත් උගන්වන වැඩ පිළිවෙලක් සකස් කරන්න පුළුවන්නම් වටිනවා. අනිත් කාරණාව තමයි සිනමා ශාලාවල තත්ත්වය. සිනමා ශාලා හොඳ මට්ටමක තිබුණෙ නැත්නම් ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට එන්නෙ නෑ. ඒ නිසා මේ කර්මාන්තය නඟාසිටුවීමට නම් නවීන තාක්ෂණයෙන් යුතු සිනමා ශාලා ඇති කිරීමත් වැදගත්.

විදේශීය සිනමා උළෙලවලට අපේ චිත්‍රපට ඉදිරිපත් කිරීම ගැන ඔබේ අදහස?

විදෙස් සිනමා උළෙලවලට අපි වැඩිපුර ම ඉදිරිපත් කරන්නේ කලාත්මක චිත්‍රපට.

මේ චිත්‍රපට විදෙස් සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍රවීම මම දකින්නෙ ඉතා සුබවාදී කාරණාවක් විදිහට. ඒ තුළින් අපට හැකියාව ලැබෙනවා අපේ සිනමාව ගැන ලෝකයට කියන්න. ඉතිං අපේ සිනමාව ලෝකයට ගෙනියන්න කැපවෙන තරුණ සිනමාකරුවන්ට අපේ ආශිර්වාදය සහ ප්‍රණාමය පුද දිය යුතු යි.

ඔබ හඳුනාගත් ආකාරයට සිනමාව කියන්නේ කෙබඳු වූවක් ද? 

ලෝකයේ ඇති කලා මාධ්‍ය අතරින් මිනිසුන්ට විනෝදාස්වාදය වගේ ම ජීවිතාවබෝධය ලබාදෙන්න පුළුවන් ප්‍රබලතම කලා මාධ්‍යයක් විදිහටයි මම සිනමාව දකින්නේ. 

සංවාද සටහන – කාංචනා සිරිවර්ධන

Recommended For You

About the Author: Editor