1930 ගණන්වල ෆේස්බුක් පැවතියේ නම් Facebook ‘හිට්ලර්ටත් මුදලට දැන්වීම් ලබා දේවි’

1930 ගණන්වල ෆේස්බුක් පැවතියේ නම් යුදෙව් විරෝධී විශ්වාස ජනගත කිරීමට එමගින් හිට්ලර්ට ඉඩ ලබා දෙනු ඇතැයි බ්‍රිතාන්‍ය ජාතික හාස්‍ය ජනනය කරන්නෙකු (Comedian) වන සාචා බරොන් කොහෙන් පවසයි.

Sacha Baron Cohen in Los Angeles, California, on September 22, 2019
සාචා බරොන් කොහෙන්

‘අලි ජී’ චරිතයෙන් ප්‍රසිද්ධියට පත් සාචා බරොන් ෆේස්බුක් සමාජ ජාලය සම්බන්ධයෙන් අදහස් පළ කළේ නිව්යෝක් හි පැවති දේශනයකදීය.

“කෝටි ගණනක් ජනයා නිරර්ථකත්වය දෙසට” තල්ලු කිරීම සම්බන්ධයෙන් ඔහු ගූගල්, ට්විටර් සහ යුටියුබ් යන සමාජ ජාල විවේචනයට ලක් කළේය.

දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාර මුල් කර ගනිමින් සාවද්‍ය පුවත් පතුරුවා හැරීම පාලනය කිරීම කිරීම සඳහා දැවැන්ත සමාජ ජාල සහ අන්තර්ජාල සමාගම් වෙත එල්ල වන පීඩනය ඉහළ යමින් පවතී.

ලොව පුරා සිය සමාජ මධ්‍යයේ පළ කෙරෙන සියලුම දේශපාලන ප්‍රචාරණ දැන්වීම් නොවැම්බර් 22 වෙනිදා සිට තනනම් කෙරෙනු ඇති බව ට්විටර් සමාගම ඔක්තෝම්බර් අග භාගයේදී පැවසීය.

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් පවතින අතීත දත්ත (Browsing data) හෝ වෙනත් සාධක මත පදනම්ව ඡන්ද දායකයන් ඉලක්ක කිරීමට (Microtargeting) සිය සමාගම දේශපාලන ප්‍රචාරණ කණ්ඩායම්වලට ඉඩ ලබා නොදෙනු ඇති බව මේ සතිය මුලදී ගූගල් සමාගම කියා සිටියේය.

එවැනි පියවරක් ගැනීම සඳහා ෆේස්බුක් වෙත එල්ල වන පීඩනය ඉහළ යමින් පවතින බව විශ්ලේෂකයෝ පවසති.

සමාජ ජාල භාවිතය

නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම කියා සිටියේ සාචා බරොන් විසින් සිය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයක් ලබා දී ඇති බවය. සිය මාධ්‍ය තුළ වෛරී ප්‍රකාශ තහනම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

“ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් අප විසින් ඉවත් (Ban) කරනු ලබනවා. අප, ඊට ආවඩන හෝ අනුබල දෙන ඕනෑම අයෙක් ඉවත් කරනවා. දේශපාලනඥයන් ඇතුළු කිසිවකුටත් ෆේස්බුක් තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය හෝ සමූලඝාතන වෙනුවෙන් පෙනී සිටීමට හෝ ප්‍රචාරණයක් දීමට බැහැ” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

සාචා බරොන් කීවේ කුමක්ද?

අසත්‍ය කරුණු අඩංගු දේශපාලන ප්‍රචාරක දැන්වීම් තහනම් නොකිරීම සඳහා වන සිය සමාගමේ ස්ථාවරය වෙනුවෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පසුගිය ඔක්තෝම්බර් පෙනී සිටියේය. අපහාසයන්ට එරෙහිව පැවති සමුළුවක් ඇමතූ සාචා බරොන්, මාර්ක් සකර්බර්ග් සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කළේය.

“බොරුවක් වුණත්, සල්ලි දෙනවා නම් ෆේස්බුක් සමාගම ඕනෑම දැන්වීමක් පළ කරාවි. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් පවතින අතීත දත්ත යොදා ගෙන පරිශීලකයන් වෙත ඒ බොරු ගෙන යමින් උපරිම බලපෑමක් කරන්නත් ඔවුන් උදව් කරාවි.”

“මේ තත්ත්වය යටතේ, 1930 ගණන්වල ෆේස්බුක් තිබුණා නම් හිට්ලර්ට ඔහුගේ ‘යුදෙව් ගැටලුවට විසඳුම්’ පිළිබඳ තප්පර 30 දැන්වීම් පළ කරන්න අවස්ථාව ලබා දෙන්න ඉඩ තිබුණා.”

සමාජ ජාල භාවිතය
ශ්‍රී ලංකාවේ සමාජ ජාල භාවිතය සහ වයස් සීමා

“සමාජ ජාල ගැන යළි සිතා බැලීමක් කිරීමට සහ එය වෛරය, කුමන්ත්‍රණ සහ බොරු ප්‍රචාරය කරන්නේ කෙසේදැයි” යන්න සොයා බැලීමට කාලය එළැඹ ඇති බව සාචා බරොන් පැවසීය. ෆේස්බුක් “ප්‍රකාශනයේ නිදහසට” වේදිකාවක් වශයෙන් සකර්බර්ග් විසින් නිරූපණය කරනු ලැබීම ද සාචා බරොන් ප්‍රශ්න කර සිටියේය.

“වෙනස් අදහස් රුස්සන්නේ නැති පුද්ගලයන් සහ බාල අපරාධකාරයන්ට තමන්ගේ අදහස් තව දුරටත් පතුරුවන්න සහ ගොදුරු බවට පත් කර ගන්න නිදහස් වේදිකාවක් ලබා නොදිය යුතුයි යන්න ගැන අපි සියලු දෙනාටම එකඟ විය හැකියි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

සමාජ ජාල ඔස්සේ පළ කෙරෙන ඉලක්ක ගත දේශපාලන ප්‍රචාරක දැන්වීම් නිසි ලෙස නියාමනය කරන තෙක් ඒවා අත්හිටුවන ලෙස ජාත්‍යන්තර නීතිවේදීන් කණ්ඩායමක් ඉල්ලා සිටියේ මේ මස මුලදීය.

සමාජ ජාල විසින් යොදා ගනු ලබන ව්‍යාපාරික ආකෘති මගින් “උපක්‍රමික හැසිරවීම් ලාභදායි කර ඇතැයි” සාවද්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර කමිටුවට දැන ගැනීමට ලැබී ඇත.

ලබන මස පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා නිර්මාණය කෙරෙන දේශපාලන ප්‍රචාරක දැන්වීම් සම්බන්ධයෙන් බීබීසීය කළ ගවේෂණයකදී පෙනී ගියේ එම දැන්වීම් මගින් ප්‍රධාන මැතිවරණ කොට්ඨාස සහ යම් කිසි වයස් කණ්ඩායම් ඉලක්ක කර ඇති බවය.

Text by BBC Sandesaya

Recommended For You

About the Author: Editor