මහා ථුපයේ ‘වංශ කතාව’

කෝටි සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනයට පාත්‍රවන ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේට අභිනව චුඩාමාණික්‍ය පැළදවීමේ උතුම් පූජා උත්සවය පැවැත්වුනේ සෑ රඳුන්ගේ පවතින සාරාර්ථය බොදු ජන මනසට තව තවත් කාවද්දමිනි.

ශාසන සෝබන මහා සඟරුවනත්, ශ්‍රී බුද්ධ භාෂිතය අගයන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනයාත් මේ මා හැඟී මංගල්‍යයේ කොටස්කරුවෝ වූහ. මෙලක ස්ථූප වංශ කතාවේ නම් පෙළෙහි මුදුනින් ම කියැවෙන රුවන්වැලි මහා සෑය පිළිබඳ අතීත කතාවේ සාරාංශගත තොරතුරුත්, පසුකාලීනව එහි කළ ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, මතකයට නඟමින් අභිනව චූඩාමාණික්‍ය පැළඳවීම පිළිබඳ අලුත් කතාව මතු කිරීම මෙම සටහනෙහි අරමුණයි. ඒ තුලින් මහා ථූපයෙහි පවතින සුගති සම්ප්‍රයුක්ත බව තවත් වැටහෙනු ඇත.

මහා වංශය කියන මහා සෑයේ කතාව

අනුරාධපුර පූජා නගරයේ අහසට නැඟි කොත් යාය අපූරු ය. එහෙත් ඒවා තැනීමට ගත් අසීරුව කොතරම් වන්නට ඇත් ද? මහා වංශයේ සඳහන් තොරතුරු වලින්  රුවන්වැලි මහා සෑය ගොඩනැඟීමේ කතා පුවත ගැන මෙන්ම ඒ සඳහා වූ අප්‍රනිගත උත්සහයන් ගැන අවබෝධ වේ.

ක්‍රි: පූ: 161 – 137 කාලයේ අනුරාධපුර රාජධානී කරගෙන රජකම් කළ දුටුගැමුණු රජතුමා ( දුට්ඨගාමිණි අභය  ) රුවන්වැලි සෑය කරවූ බව ඉතිහාසයේ සඳහන් වේ. ගෞතම බුදු රජාණන් වහන්සේගේ සමස්ත සර්වඥ ධාතූන් වහන්සේගෙන් අටෙන් එකක ප්‍රමාණයක් ( ද්‍රෝණයක් ) මහා සෑයෙහි තැන්පත්කර තිබේ. මහා ථූපය, ස්වර්ණමාලී මහා සෑය, අසදෘශ ථූපය යන නාමයන්ගෙන් ද මෙම ස්ථුපය හඳුන්වයි.

පරදේශ ආක්‍රමණ හේතුවෙන් සසුන අරාජිත වෙමින් පැවති සමයෙක දුටුගැමුණු කුමාරයා රජ වී ඇත්තේ මෙසේ කියමිනි.

“ ….මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳීම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්ථිතිය පිණිසම වන්නේ ය.“

සසුන රැකීමේ ශුද්ධ අරමුණු සහිතව රජ වූ දුටු            ගැමුණු රජහට රජ මාලිගයෙහි රන් කරුඬුවක තැන්පත්කර තිබූ රන්පතක ලියා තිබූ අනාගත වාක්‍යක් හමුවිය. එය නම් මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජ වෙත වදාරන ලද අනාගත වාක්‍යකි.

“ පිංවත් මහරජාණෙනි ! තොපගේ මුණුපුරෙක් වන පිංවත් කුමරෙක් දුට්ඨගාමිණි අභය නමින් අනාගතයෙහි  ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප්‍රඥා වූ නරපති නෙමේ, සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කොට එකසිය විසි රියනක් උස් වූ මනෝරම්‍ය ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය.“

මෙය කියවීමෙන් තුනුරුවන් කෙරෙහි පැහැද ඇති වූ බුදු දම් උද්දාමය, දුටුගැමුණු රජතුමා හට මහා ථුපය ඉදිකරන්නටත්, තවත් බොහෝ ශාසනික සේවා කරන්නටත් මං සැලසූ ප්‍රබලතම උත්තේජනය විය.

මෙම  මහා පිං කාරිය උදෙසා සිතමින් සිටි රජතුමා ගැන සැල වූ සක්දෙවිදු ගේ බැල්මෙන් මහා සෑය නගන්නට සවි ඇති වන සේ අනුරාධපුර අවටින් විවිධ වස්තූන් පහළ වූ යැයි සදහන් වේ. මහා සෑයට සෑහෙන ගඩොල්, රන් බිජු, තඹ හා යකඩ, මුතු හා පබලු ආදිය එසේ දෙවියන් විසින් මවා පා ඇත. ඉන් පසුව සෑයෙහි වැඩ ඇරඹීමට යන කල්හි තවත් ගැටලුවක් ගැන නැගිණි. ථුපය තනන තැන රන් තෙලඹු ගසෙහි වාස වු ‘ ස්වර්ණමාලී ‘ නම් දෙව්දුව රහතන් වහන්සේලාගේ ඉල්ලා ඇත්තේ තෙලඹු ගස ඉවත් නොකරන ලෙසයි. නමුත් කරුණු පහදා දීමෙන් පසුව මහා ථූපයෙහි ආනුභාව ගැන සිතා ස්වර්ණමාලී දෙව්දුව වෙනත් සුදුසු රුකක් සිය විමානය බවට පත්කර ගත්තා ය. මේ සිදුවීම හේතුවෙන් ස්ථුපයට “ ස්වර්ණමාලී “ යනුවෙන් නම් තැබීය.

සියලු ගැටලු නිරාකරණයෙන් අනතුරුව පාදම තැනීමේ කටයුතු ඇරඹිණි. සෙව්, මිනිස් හා රහත් තෙර ගණගේ සහායානුභාවයෙන්  මේ මහානර්ග කාර්යයේ මංගල ගඩොල ස්ථාපනය කිරිම වෙසක් පුන් පොහෝ දිනයක සිදුකර තිබේ. එදින මේ ආශ්චර්යවත් මොහොතට මහා විහාර භූමියට ඇතුළු වූ සියලු පිංවත් ජනයා සුපිරිසිදු කොට, සුදු රෙදි අන්දවා, ඇතුළු කරගෙන තිබේ. එකී ජනී ජනයා ප්‍රනීත ආහාරයෙන් සන්තර්පනයකර ඇත්තේ දුටුගැමුණු රජතුමාගේ අනුදැනුම පරිදි ය. මහා සැරසිලි, බුදු ගුණ ගායනා, පංචතුර්ය නාද ආදියෙන් සුසැදී අලංකාරවත් පුණ්‍යෝත්සවයක් ලෙස ආරම්භ වූ මහා ථූපය තැනීමේ මංගල්‍යයට ලොව විවිධ දෙසින් ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලා ද මේ පුණ්‍ය භුමියට වැඩමකර තිබේ.

වෙසක් පොහොය දිනයේ ආරම්භ කරන ලද සෑයේ මුල් කටයුතු හමාර කර ඇත්තේ ඇසළ පුන් පොහෝ දිනකදී ය. එදින පියදස්සී නම් රහතන් වහන්සේ සිල්වත් ජනයාගේ සිත් නිවීම පරම කොට චතුරාර්ය සත්‍ය දේශනා කළහ. එයින් දහස් ගණන් ජනයා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මෙන්ම අරහත් ඵලයට ද පත්වූවාහු ය. භික්ෂූන් වහන්සේලා දහස් ගණන් රහත් වුහ.

මෙයින් පසුව ධාතු ගර්භයේ වැඩ ඇරඹිණි. සත් දිනක් මුළුල්ලේ දහ අට ස්ථානයක දී මහා සඟරුවනට දන් පිළිගන්වා දුටුගැමුණු රජු මෙම කටයුත්ත ආරම්භ කළේ ය. සෑයෙහි වැඩවල නිරත වූ සියලු ජනයාට කහවණු, වස්ත්‍රාභරණ, ප්‍රනීත ආහාර ආදිය ලබාදිමට රජුගේ අණ ලැබිණි. දිය බුබුලක් ආකාරයේ චෛත්‍ය තැනීම ආරම්භ විය. ස්ථුපය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ගඩොලින් තනන ලද ප්‍රධාන මල් ආසන තුන නව වාරයක් පොලෝ සම මට්ටමට ගිල්වා තිබේ. එය එසේ සිදුකර ඇත්තේ සෘද්ධි සම්පන්න භික්ෂුන් වහන්සේලා විසිනි. දුටු ගැමුණු රජු  මේ ගැටලුව රහතන් වහන්සේට දැනුම් දී තිබේ. එවිට රහතන් වහන්සේලා  රජුට සැබැ කතු පහදා දී ඇත.

ධාතු ගර්භය තැනීමෙන් පසුව ඒ මත විවිධ ප්‍රභාෂ්වර ධාතු පිහිටුවා ඇත. රනින් කරවූ බෝධි රුක්ෂ, බුද්ධ ප්‍රතිමා, මහ බඹුගේ රුව, සක් දෙවිදුගේ රුව, මහා කාල නාග රාජයාගේ රුව, දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන අයුරු, සසුනේ ප්‍රථම රහතන් වහන්සේලාගේ රුව, විවිධ සූත්‍ර දේශනා අවස්ථා, බෝසත් උපත ආදී බුදු දහමට අයත් බොහෝ සුවිශේෂී අවස්ථා එලෙස ධාතු ගර්භය තුල සදවා තිබේ.

ධාතු ගර්භය තනා නිමවීමෙන් පසුව ධාතු නිධානෝත්සවයට කටයුතු සූදානම් කෙරිණි. නාග ලෝකයෙහි මහා කාල නා රජුගේ නාග භවනෙහි අනුපමේය පුද සත්කාර මැද වැඩ සිටින ගෞතම බුදුන් වහන්සේගේ ද්‍රෝණයක්  සර්වඥ ධාතූන් වහන්සේ සිරිලකට වැඩමවීම පැවරුණේ සෝණුත්තර රහතන් වහන්සේටයි. නා රජු ධාතූන් වහන්සේ ලබාදීමට අකමැති වුවද කරුණු පැහැදීමෙන් අනතුරුව ඊට එකග වී තිබේ. ධාතූන් වහන්සේ තැන්පත් කිරීම උදෙසා ස්වර්ණමය කරුඩුවක් හා මැණික් පළඟක් රැගෙන වැඩියේ සක්‍ර දේවේන්ද්‍රයායි. ඒ සමග දහස් ගණන් දෙවි දේවතාවෝ වැඩියහ. ධාතූන් වහන්සේ පුද දුන් මහා කාල නා රජු ද මෙම ශ්‍රී සාර අවස්ථාට පැමිණියේ ය. ධාතූන් වහන්සේ ධාතූ ගර්භය මත තැන්පත් කිරීමේ අවස්ථාව උදාවිය. දුටුගැමුණු රජු ධාතූන් වහන්සේ රන් කරඩුව මත තැන්පත් කර මෙසේ කී ය.

“ ….. තථාගත අර්හත් සම්මා සම්බුදු වූ ශාස්තෘන් වහන්සේ උදෙසා මාගේ ලංකා රාජ්‍ය පූජා කරන්නෙමි.“

තෙවරක් මෙසේ කියා, අනතුරුව ධාතු කරඬුව යලිත් හිසින් ගෙන මහා සෑය තුන් වරක් ප්‍රදක්ෂිණා කළේ ය. ලක්ෂ  ගණන් රහතුන්ගේ බුදු ගුණ ගායනා මැද නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භයට බැස කරඬුව තැන්පත් කළේ ය. එකෙනෙහිම ධාතූන් වහන්සේ අහසට නැගී ඉමහත් ආශ්චර්යයන් පා තිබේ.  එයින් සතුටුව බොහෝ දෙවි මිනිසුන් මාර්ග ඵල ලැබීය. රජු සිය සියලු ආභරණ ධාතූන් වහන්සේට පිදී ය. අනෙකුත් සියලු දෙනාම රජු අනුගමනයට කළහ. සත් දිනක් පුරා පැමිණ රටවාසීහූ ධාතූන් වහන්සේ වැදපුදා ගත්හ. ධාතු ගර්භය වැසීම සිදු කළේ රහතන් වහන්සේලා විසිණි. එතැන් සිට චේතිය නැන්වීමේ කටයුතු සිදුකර තිබේ. 

මහා සෑය ගොඩනැගීමේ මෑත ඉතිහාසය

මහා ආශ්චර්යයන් රැසක ආනුභාවයෙන් නැගුණු ස්වර්ණමාලී ථූපය, රජරට රාජධානියේ බිදවැටීමත් සමග කෙමෙන් ගරා වැටිණි. මහා ථූපය ද සහිත අනුරපුර පූජා නගරය වල්බිහි විය. ඉංග්‍රීසි පාලන සමයේ අනුරාධපුර ප්‍රදේශයේ විසු ඉංග්‍රීසි ජාතික ඒජන්තවරුන්ගේ වාර්තාවල ද දැක්වෙන පරිදි අනුරපුර පූජානගරයේ චෛත්‍ය කුඩා කදු ගැට ලෙසයි, දිස්ව ඇත්තේ. එමෙන්ම ඒවා තුරුලතා වලින් වැසී තිබිණි.

ඒ විහාරාරාම, ස්ථූප අතරින් ගරාවැටුනු රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙන්නේ 1870 දශකයේ දී ය. ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාවේ පැමිණි, නාරංවිට සුමනසාර හිමි මේ පුණ්‍ය කටයුත්තට මුල් වූහ. කිසිදු පහසුකමක් නොතිබුණු කාලයක විසිතුන් වියැති සුමනසාර හිමිපාණෝ කළ අධිෂ්ඨානයේ නාමයෙන් ඉතා මනරම්ව යලිත් ගොඩනැගූ මහා ථූපය වන්දනා කිරීමේ අවස්ථාව ලෝකවාසී බෞද්ධ ජනතාවට උදාවී තිබේ.

එවක අටමස්ථානාධිපති පූජ්‍ය කලුඑඹේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමිපාණන්ගේ ආශිර්වාදයෙන් රුවන්වැලිසෑයේ භාරකාරත්වය සුමනසාර හිමි වෙත පැවරෙන්නේ 1872 දී ය. 1873 දී ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි. එය ඉතා අසීරු කටයුත්තකි. මේ පුවත සැලවීමත් සමග දේශීය හා විදේශීය වශයෙන් බොහෝ පිරිස් ආධාර උපකාර සිදුකරන්නට පටන් ගනී. මහා ථූපයෙහි ප්‍රතිසංස්කරණ සදහා පලමු පරිත්‍යාගය කර තිබෙන්නේ, එවක ලංකාවේ ඒජන්තවරයා වු ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ය. එතුමා 1876 වසරේ දී සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් 1000 ක් පරිත්‍යාග කර ඇත. ඉන්දියාවෙන් හා බුරුමයෙන් ද ආධාර මුදල් ලැබී තිබේ. බුරුම පාලක “ මින්දං මිං “ විසින් ද සිය පෞද්ගලික මුදලින් රුපියල් දහසක් පරිත්‍යාග කර ඇත.

බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා

1872 සිට 1902 දක්වා කලයේ දී පෞද්ගලික පරිත්‍යාග, පරිශ්‍රම මත සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ අතර 1902 දී රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය ආරම්භ කෙරිණි. එහි සභාපතිවරයා වූයේ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතායි. කෙසේ වෙතත් 1910 පමණ වන විට චෛත්‍ය වර්ධන සමිතියේ ක්‍රියාකාරිත්වය ඇනහිට තිබේ. එහෙත් කටුනායක ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා මහතාගේ පුණ්‍යවන්ත මැදිහත් වීම මත චෛත්‍ය වර්ධන සමිතිය නැවත සක්‍රීය විය.

රන්සිරිනෙල් පෙරේරා

මේ අතරතුර දී සිදු වූ අවාසනාවන්තම සිද්ධිය වූයේ චේතියේ මේ සා විශාල ප්‍රතිසංස්කරණයක් කරන්නට අත්පොත් තබා අනේක අයුරින් වෙහෙසුනු නාරංවිට සුමනසාර හිමියෝ අපවත් වීමයි. එහෙයින් මෙම කටයුතු 1921 සිට උදුරුව හල්මිල්ලෑවේ රේවත හිමිපාණන්ට පැවරිණි. 1935 වන විට රන්සිරිනෙල් පෙරේරා මහතා ද අභාවප්‍රාප්ත විය. එතැන් සිට චෛත්‍ය වර්ධනයේ ගිහි පාර්ශවයේ බර කරට ගත්තේ රන්සිරිනෙල් මහතාගේ බෑණනුවන් ය. ඔහු නමින් මහර ඒබරං එදිරිසිංහයි.

මේ කාලය වන විට චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ බොහෝමයක් අවසන්ව තිබිණි. පිත්තල කොත් වහන්සේ නිර්මාණය කිරීම පිළිමතලාව දී  සිදුවිය. එය ටොන් 6 ක් බරැතිය. අඩි 26 ක් උසැති ය. කොළඹට ගෙන ආ කොත්වහන්සේගේ රන් ආලේප කිරීමට මාස තුනක පමණ කාලයක් ගතව ඇතැයි සදහන් වේ. පසුව එය ජනතා වන්දනය උදෙසා ඇවරිවත්ත සුමිත්‍රාරාමයේ තැන්පත් කර ඇත.

යූ. විනයාලංකාර හිමි

මහත් පරිශ්‍රමයක් යලි නැන් වූ මහා සෑය උදෙසා චූඩා මාණික්‍ය සපයා ගැනීම,මීළග ගැටලුව විය. එවක ලංකාවේ විසූ බුරුම හිමි නමක් වූ යූ. විනයාලංකාර හිමිගේ මැදිහත් වීමෙන් ඊට විසදුම ලැබේ. 1938 වසරේ දී යූ. විනයාලංකාර හිමි බුරුමයට වැඩම කර රුපියල් 6000 ක් වටිනා පළිඟුවක් රැගෙන නැවත ලංකාවට වැඩම කරයි. උන්වහන්සේට එම පලිඟුව නොමිලේ ලැබී ඇත.

නමුත් එම පලිඟුව ඔප දමා චූඩාමාණික්‍යක් සේ සකස් කිරීමට දත්තෝ ලංකාවේ නොසිටි හෙයින් එම කාර්යය උදෙසා විනයාලංකාර හිමි යලි බුරුමයට වැඩම කළහ. එම පලිඟුවෙන් චූඩා මාණික්‍ය කැපූ නමුත් අවශ්‍ය ප්‍රමාණයට නොතිබිණි. එසේ හෙයින් විනයාලංකාර හිමි යලිත් පලිගුවක් සොයන්නට වෙහෙසිනි. මීට  පෙර බුරුමයෙන් හමු වී නොමැති ආකාරයේ විශාල පලිගුවක් හමු වී ඇති බව විනයාලංකාර හිමිට සැලවිය. එය රුපියල් 8000 ක් වටිනා එකකි. එයද නොමිලයේ ලැබීම විශේෂත්වයකි. එම පලිඟුවෙන් කැපූ චූඩා මාණික්‍ය උසින් අඟල් 18 කි. බර රාත්තල් 12 ½ ක් විය. චූඩාමාණික්‍ය තැබීමට සැකසූ  ස්වර්ණමය පාදමේ උස ල්අඟල් 13කි. එයට රන් රාත්තල් 12 ක් ද රිදී රාත්තල් 152 ක් ද යොදාගෙන ඇත. යොදාගෙන ඇති මැණික්  ගල් ප්‍රමාණය 4796 කි.

චූඩා මාණික්‍ය හා රන් පාදම බුරුමයෙහි ම තැනූ හෙයින් එරට ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන ස්වේදගොන් චෛත්‍ය අසල අභිනව චූඩා මාණික්‍ය තබා මහජන වන්දනාවට ඉඩ සැලසීය. පසුව එය එවක ශ්‍රී ලංකා ආණ්ඩුකාර ඇන්ඩෘ කොල්ඩිකෝට් මහතා වෙත එවා ඇත්තේ 1940 දී යී. පසුව එය බෞද්ධ ජන වන්දනය උදෙසා දෙමටගොඩ මකුටාරාමගේ තැන්පත් කෙරිණි. ඉන් පසුව මහ පෙරහරින් අනුරාධපුරයට වැඩම වූ චූඩා මාණික්‍ය මහත් හරසරින් පිළිගෙන ඇත්තේ, අටමස්ථාන කමිටුව වෙනුවෙන් පී.බී. බුලංකුලම දිසාවේ විසිනි. ඒ 1940 ජුනි 10 වන දිනයි.

නාරංවිට සුමනසාර හිමියන්ගේ සිතිවිල්ල මත ඇරඹී ධෛර්ය සම්පන්න ශාසන මාමක මේ ක්‍රියාව දුටුගැමුණු රජ සමයේ මහා සෑය මුලින්ම තැනීමට ගත් උත්සාහයට දෙවනි නැත. අපමණ පීඩා මධ්‍යයේ නොපසුබට උත්සාහයෙන් සිදු කළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසානයේ කොත් පැළදවීමේ මහා පිංකම 1940 ජූනි 15 වනදාට යෙදිණි. 1940 ජූනි 17 වනදා උදෑසන 8.50 ට යෙදුණු සුබ මොහොතින් චූඩා මාණික්‍ය පැළදවීය.

පසුව සැදැහැති බෞද්ධ ජනයාගේ  වන්දනය උදෙසා කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය නිරාවරණය කළේ 1940 ජූනි 19 වන දිනට යෙදුණු  පොසොන් පොහෝ දා සවස 4.00 ට යි. මේ පුණ්‍ය කටයුතු සිදුකිරීම උදෙසා රුවන්වැලි සෑ භාරකාර  උඳුරව හල්මිල්ලෑවේ රේවත, යූ විනයාලංකාර, බද්දේගම පියරතන යන නා හිමිවරු මූලිකත්වය ගත්හ. පොසොන් පොහෝ දා පැවැති කොත නිරාවරණය කිරීමේ උත්සවයට එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා ද සහභාගී වී ඇත.

මෙම මෑත ඉතිහාසයට අනුව රුවන්වැලි සෑය යලි ගොඩනන්වා කොත් පළදවා දැනට වසර 80 ක පමණ කාලයක් ගතව තිබේ.

වසර 80 කට පසුව මහා සෑයට අභිනව චූඩා මාණික්‍යක්

ස්වර්ණාමාලී මහා සෑ රඳුන්ට අභිනව චුඩා මාණික්‍ය පැළඳවිම හා එය මහජන වන්දනයට නිරාවරණය කිරීම යන මහා මංගල්‍යයන් 2019 නොවැම්බර් මස 25 හා 26 වන දෙදින දී සිදු කෙරිණි. මින් වසර 80 කට පෙර මෙබඳුම ආකාරයේ මංගල්‍යයක් පවත්වා රුවන්වැලි  සෑ රඳුට චුඩා මාණික්‍ය පළඳවා තිබේ. 1940 සිට මේ දක්වා කාල සීමාව තුල විවිධ කාලගුණික, දේශගුණික බලපෑම්වලට නිරාවරණය වූ එම චූඩා මාණික්‍ය ඉරි තැලී, පලුදු වී, දුර්වර්ණ වී තිබිණි. එබැවින් සියම් නිකායේ මල්වතු පාර්ශවයේ , උතුරු මධ්‍යම පලාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ආචාර්ය, සද්ධර්ම ජෝතික ධජ පල්ලේගම සිරි සුමන ධම්ම රක්ඛිත සිරිනිවාස නා හිමිපාණන් වහන්සේගේ හා නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේගේ පූර්ණ මග පෙන්වීම මත විශේෂිත නිරීක්ෂණ කණ්ඩායමක් විසින් චුඩා මාණික්‍ය පවතින තත්ත්වය නිරීක්ෂණය කළේ ය. මහා සංඝරත්නයේ පුර්ණ අනුමැතිය මත කොත් වහන්සේ පිළිසකර කිරීමත්, නව චූඩා මාණික්‍යයක් පැළදවීමත් යන පුණ්‍ය කාර්ය විශ්ව පාරමී පදනම මගින් ආරෙම්භ කළේ ඒ අනුවයි.

මේ පිළිඳෙව තතු හෙලි නොකරන්නේ යැයි ද ? යම් අසම්මත ක්‍රියාවක් මෙහි සිදුවන්නේද? ආදී වශයෙන් සෘණාත්මක ආරංචි පැතිර යාමද ශීඝ්‍ර විය. එහෙත් ඒ සියලු බාධක මැද කොත් වහන්සේගේ පිළිසකර කිරීම් සිදුකෙරිණි. චූඩා මාණික්‍යක් හා ඒ උදෙසා   රන් පාදමක් ද  නිමවී ය.

මෙම චූඩා මාණික්‍ය හා රන් පාදම මින් වසර 80 කට පෙර පළදවා මේ දක්වා තිබූ පාදමට හා මාණික්‍යට වඩා බොහෝ වෙනස්කම් සහිත ය. 1938 වර්ෂයේ දී චූඩා මාණික්‍ය තැනීමට පළිගුවක් සෙවීම යූ. විනයාලංකාර හිමිට අභියෝගයක් වුවා සේම, මෙවර ද  පළිගුවක් සෙවීම අතිශය දුෂ්කර විය. දියමන්තිවලට පමණක් දෙවනි වන “ රොක් ක්‍රිස්ටල් “ නම් පළිඟු පාෂාණය සෙවීමත්, එය කැටයම් කිරීමත්, ඒ සදහා විරුදාවලි  ලත් ඔස්ට්‍රියානු සමාගමක් වන “ SWAROVKI“ සමාගමට පැවිරිණි. අවශ්‍ය පළිඟුව විශ්වපාරමී පදනම මගින් සොයා ගත්තේ ය.

චූඩා මාණික්‍යට සම්බන්ධ පාදම ස්වභාවික නිල් මැණික් හා රතු මැණික් ගල් 5320 කින් සරසා තිබේ. යොදාගෙන ඇති රත්රන්වල බර කිලෝ 28 කි. අඩි තුනකින් යුත් මෙම පාදම නිමවීම සිදු කලේ ලෝක ප්‍රසිද්ධ සිංගප්පුරු සමාගමක් විසිනි. නව තාක්ෂණය භාවිත කරමින් සකස් කළ චූඩා මාණික්‍ය හා රන් පාදම එක්ව ගත් විට එහි සමස්ත බර කිලෝ ග්රෑම් හැටකි.

එමෙන්ම කොත් වහන්සේගේ අලුත්වැඩියා කටයුතු ද ඉතා සූක්ෂම අන්දමින් සිදු විය. එය පැවරුනේ සුප්‍රසිද්ධ ඉතාලි සමාගමකටයි. මෙවර කොත් වහන්සේ අලුත්වැඩියා කිරීම සිදු වන්නේ රන් පැහැති තීන්ත වෙනුවට පිරිසිදු රත්‍රං යොදාගනිමිනි. මෙම කාර්ය සිදුකළ ඉතාලි සමාගම ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිදුන් වැඩ සිටින සුගන්ධ කුටියේ “ රන් වියන “ අලුත්වැඩියා කිරිමේ කටයුතු ද සිදුකර ඇත. කොත් වහන්සේගේ මෙම අලුත්වැඩියාවෙන් පසුව අඩ සියවසක් පමණ වන තෙක් යලිත් වතාවක් කොත් වහන්සේගේ අලුත්වැඩියාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නැත.

ඉතා පරිශ්‍රමයෙන් තැනූ චූඩා මාණික්‍ය හා රන් පාදම දින කිහිපයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී මහජන වන්දනයට ප්‍රදර්ශනය කළේ ය. කුරුණෑගල ඇත්කඳ විහාරයේ ද දිනක කාලයක් චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවයි, අනුරාධපුරයට වැඩමවනු ලැබුවේ.

පෙරහරින් අනුරාධපුරයට වැඩම වූ චූඩා මාණික්‍ය උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට වැඩමවා, ශ්‍රී මහා බෝ හිමිගේ ආශිර්වාද ලබා ගත්තේ ය. එදින එනම් 2019 නොවැම්බර් 22 වනදා සිට 25 වනදා දහවල වන තෙක් රුවන්වැලි සෑ පරිශ්‍රයේ තැනූ විශේෂ කුටියක චූඩා මාණික්‍ය මහජන වන්දනය සදහා ප්‍රදර්ශනය කළේ ය. 25 වනදා සන්ද්‍යාව එළඹිණි. සිරිලක සිදු කරන අති උතුම් ආගමික උත්සවයක් ලෙස මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන් චූඩා මාණික්‍ය  පැළදවීමේ මහා මංගල්‍යය පැවැත්වුනේ රැස් වූ දහස් සංඛ්‍යාත බොදු ජනතාවගේ සාධු නාද මධ්‍යයේ ය. 26 වනදා උදා භාගයේ දී සුවහසක් බෞද්ධ ජනයාගේ වන්දනය උදෙසා අභිනව චූඩා මාණික්‍ය නිරාවරණය කලේ ය. භික්ෂූන් වහන්සේ එක්දහස් පන්සිය නමක් විෂයෙහි, පැවැත් වුණු දානමය පුණ්‍ය කර්මයකින් හා නොවැම්බර් 26 වනදා සවස රුවන්වැලි සෑ පුදබිමෙහි  සිදුකළ ආශිර්වාද පූජාවකින් අනතුරුව මාස කිහිපයක් මුළුල්ලේ සාදු කළ මෙම මහා පුණ්‍ය කටයුත්ත නිමාවට පත් කෙරිණි.

පරාසයක විහිදුණු පලංචි දුටු ඇතැම්හූ මහා සෑයට අපහාසයක් සිදුවන්නට යන්නේ යැයි කීහ. ශ්‍රාද්ධා භක්තිපූර්වකව  බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ තැන්පත් කර තනා ඇති රුවන්වැලි මහා සෑයේ මුදුන් මිණ ලෙස සැකසුණු චූඩා මාණික්‍යට රැස් කමින් ජනතාව වන්දනා කරන විට මැණිකකට වදින මිනිස්සු ඉන්න රටක් යැයි, ඇතැමෙක් උපහාසයෙන් කීහ. මෙබදු මතාන්තර දුර්මත පැවතිනි. අනුහස් ඇති පිං බිමක අසම්මත කාර්යයක් කරන්නට ඉඩ නැත. සියල්ල සාර්ථකව නිමා විය.

“රන් බැදි රන් කොත මුදුනේ – නව සිළුමිණ මිණි කිරනේ සම්බුදු ගුණ ගඟුල ගලා ලා – සුවපත් වේවා …

සිරිලක නිවී පහන් වේවා ..     

අදී වශයෙන්  සුනිල් එදිරිසිංහයන් ගේ  හඬින් ගැයෙන , පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි පබැඳූ  නව චූඩා මාණික්‍ය පැළඳවීමේ මංගල්‍යයේ තේමා ගීතය ද ඉදිරියේ දී නිතර ඇසීමෙන් මේ මහා පූජා උත්සවය නිතර සිහියට නැගේ වි.

සටහන – ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර

මේ සියවසේ සිදු වූ මහා පිංකමක්!

මෙය මේ සියවසේ කෙරුණු මහා ආනුභාව සම්පන්න පිංකමක්. ඒ සඳහා කැපවුණු, පරිත්‍යාගශීලී වුණු සියලු දෙනාටම සුභ පතන්නට අවශ්‍යයි. විශේෂයෙන් ම විශ්ව පාරමී පදනම මෙහි බර කරට ගෙන කළ මෙහෙය අතිශය ප්‍රශංසනීය වූවක්. අටමස්ථානාධීපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ ඇතළු මහා සංඝ රත්නයේ පූර්ණ ආශීර්වාද මේ සඳහා ලබාදීමෙන් පසුව ඉතා විනිවිද භාවයෙන් තමා මේ කටයුත්ත සිදු කෙරුණේ.

මේ තරම් කෙටි කාළයක් තුළ මේ සා විශාල පිංකමක් කරන්නට ලැබීමත්, අප කාටත් ඉතා වාසනාවන්ත අවස්ථාවක්. අභිනව චූඩා මාණික්‍ය වැඳ පුදා ගන්නට රුවන්වැලි මහා සෑය අසලට රැස් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ පුරවා ගත්තේ, ලේසි පහසු පිං සම්භාරයක් නෙවෙයි.

අසදෘශ මහා ථූපය වන්දනා කිරීමත්, කෙනෙකුට ලැබෙන භාග්‍යයක්. අපි ඒ අගය වටහා ගත යුතුයි. මේ ප්‍රතිසංස්කරණය සිදු කළේ වසර අසූවකට පසුව. මේ කර්තව්‍ය  කළේ මහා සෑයට පුද සත්කාර සිදු කිරීමක් හැටියටයි. එය  කුමක්දැයි හැමදෙනාටම දැකබලා ගන්නට පුළුවන්කම ලැබුණි. අපි මේ ගන්නා ලද උත්සාහය නිසා තවත් වසර පනහක් හැටක් ගතවන තුරු කොත් කැරැල්ල අළුත්වැඩියා කරන්න අව්‍යශ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නව චූඩා මාණික්‍ය පැළඳවීම වගේම නව විදුලි ආලෝක පද්ධතියක් ද සවිකිරීම සිදුවුණා. හාණි වැළැක්වීමට අකුණු සන්නායකයක් ද සවි කරලයි තිබෙන්නේ.

දෙව් මිනිස් සියලු දෙනාගේ වන්දනයට පාත්‍ර වූ, ඉදිරියටත් එකී වන්දනාවට පාත්‍ර වන තෙදින් සාර මේ මහා පින් බිමෙහි සිදු කළ අපමණ පිං ඇති මේ පූජා උත්සවයට කැප වූ සියලු දෙනාටමත්, ලෝක වාසී සියලු දෙනාටත්, යහපතම වේවා!

නුවර කළාවියේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යරාමාධීකාරී. පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි,

විනිවිදව සිදු කෙරුණු පිංකමක්

නීතිඥ ආර්. එම්. වන්නිනායක, දිසාපති/ දිස්ත්‍රික් ලේකම්, අනුරාධපුරය.

අභිනව චූඩා මාණික්‍යයක් මහ සෑ රදුන් මත පැළඳවීමේ මේ මහා පුණ්‍ය කර්මය, අපේ ජීවිත කාළය තුළ දක්නනට ලැබුණු සුවිශාලම පුණ්‍ය කාර්යක්. අසදෘශ මහා සෑයේ තද තෙද ඉතාම විශාලයි. එතන කාටවත් වැරදි දෙයක් කරන්නවත් කියන්නවත් බෑ. එවන් තැනෙක සිදු කෙරුණු මේ පිං කටයුත්ත ගැන විවිධ වැරදි ආරංචි පැතිරිලා ගියා. එහෙත් මහා සංඝ රත්නය දැනගෙන සිටියා, සැබෑ කාර්යක් නිහඬව සිදු කරන විට මේ දුර්මත බිඳෙනවා කියලා. අද වෙනකොට මේ දුර්මත පතුරවපු අය කණගාටු වෙනවා ඇති, තමන් කරපු මේ වැරදි අනවබෝදී ක්‍රයාව ගැන. ඇතැම් විට මේ බිය ඔවුන්ට ඇතිවෙන්නට ඇත්තේ මහ සෑය පිළිබඳව තිබෙන අසීමිත භක්තිය නිසා වෙන්නත් පුළුවන්.

දැන් සියළු කටයුතු සාර්ථකව සිදුවී අවසානයි. රුවන්වැලි සෑය මුලින්ම තැනූ දුටුගැමුණු රජ සමයේ මෙය ඉදිකිරීමේ පසුබිම පිළිබඳ ඓතිහාසික තොරතුරු කෙනෙකුට කියවන්න පුළුවන් නම් එය ඉතා ම වැදගත් වෙනවා. ඒ විස්තර කියැවීමේ දී මේ පුණ්‍ය භූමි තුළ තිබෙන වැදගත්කම ඔවුනට තවත් වැටහේවි. කොහාම වුණත් මේ පිංකමට අපිට සෘජුවම සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. චූඩා මාණික්‍ය නැරඹීමට පැමිණි සියළුම දෙනාට කිසිදු බාධාවකින් තොරව වන්දනා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළා.

අපේ නිළධාරීන් ඉතාම සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙලා පොදු පහසුකම් හා යටිතළ පහසුකම් සැපයීමේ කටයුතු විධිමත් කිරීමට සමත් වුණා. පැමිණි බැතිමතුන්ට ආහාරපාණ ලබාදීමට දන්සැල් පවා අපි මැදිහත් වෙලා ක්‍රියාත්මක කිරීමත් සතුටට කාරණයක්.

නීතිඥ ආර්. එම්. වන්නිනායක, දිසාපති/ දිස්ත්‍රික් ලේකම්, අනුරාධපුරය.

Recommended For You

About the Author: Editor