‘සෞභාග්‍යයේ දැක්ම’ මුල්තැන කාන්තාවන්ට හා ළමුන්ට – ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි

පවිත්‍රා දේවි වන්නිආරච්ච් මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ රාජකාරි අරඹයි.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අමාත්‍ය ගරු පවිත්‍රා  දේවි වන්නිආරච්ච් මැතිණිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීම අද දින (25) පස්වරුවේ යෙදුන සුභ මොහොතින් “සෙත්සිරිපාය” කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දී සිදු  කෙරිනි.

වැඩබාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක් වූ අමාත්‍යවරිය – 

“මේ රටේ කාන්තාවන්ට යම් කිසි තැනක් ලබාදීමට මෙම අමාත්‍යාංශය කාන්තාවකට ලබාදීම පිළිබදව ගරු ජනාධිපතිතුමාට සහ ගරු අගමැතිතුමාට මා ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම මා පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් මම මාගේ ස්තූතිය පුද කරනවා. වර්තමාන රජය රටේ දරුවන්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ රැකවරණය සම්බන්ධයෙන් මූලිකත්වය දී කටයුතු කරන රජයක්.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණ වැඩපිළිවෙලේ මුල්තැන කාන්තාවට සහ දරුවන්ගේ ආරක්ෂාවට ලබාදී තිබෙනවා. එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වැඩපිළිවෙල ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කරන්න අද සිට මෙම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස මට සහ නිලධාරි මණ්ඩලයට වගකීමක් බාර දීලා තිබෙනවා. දැන් අපි රටට ප්‍රතිඵල ලබාදෙන්න ඔින.

මේ රටේ ජනතාවට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගෝඪාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වෙලා තිබෙනවා. දැන් අපේ වගකීම වන්නේ එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත් කාරණා රටේ ජනතාවට ඉටු කර දිම සහ ලබාදීම. මා විශ්වාස කරනවා වැඩි කාලයක් නොගොස් මෙම අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු සියලු දෙනා එකට එකතු වෙලා සාමුහිකව ජනතාව බලාපොරොත්තු වූ මෙහි ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වෙයි කියලා”

එතුමිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩ බාරගැනිම පසුගිය (22) දින සිදු කරන ලදි.

මෙම අවස්ථාවට මයුරපාද විහාරාධිපති, ශ්‍රී ලංකා විද්‍යාලයේ හිටපු ඡ්‍යෙෂ්ඨ පරිවෙනාධිපති වලේබොඩ ගුණසිරි නායක හිමිපාණන් ඇතුලු මහා සංඝරත්නය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් දර්ශණා සේනානායක මිය, අතිරේක ලේකම් කේ.එම්.ජී බණ්ඩාර මහතා, අධ්‍යක්ෂ චම්පා උපසේන මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති එච්.එම් අබේරත්න මහතා, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චන්දිමා සිගේරා මහත්මිය, මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය රවී නානායක්කාර මහතා ඇතුලු කාර්ය මණ්ඩලය විශාල පිරිසක් එක්ව සිටියහ.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපත ලබන්නේ රත්නපුර දිස්ත්‍රිකයේ හිටපු දේශපාලකයකු වන ධර්මදාස වන්නිආරච්චිගේ වැඩිමහල් දියණිය වශයෙනි. ධර්මදාස වන්නිආරච්චි 1965 වර්ෂයේ සිට 1977 වර්ෂය දක්වා පැල්මඩුල්ල ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කර්මාන්ත හා විද්‍යා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී. පසු කාලීනව එතුමාට වයඹ පළාත් ආණ්ඩුකාරධූරය හිමි විය.

සිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර අනතුරුව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරීය. ඇය නීති අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා 1985 වර්ෂයේදී ශ‍්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හදාරා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන්නේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආරාධනයෙන්ක්‍රි.ව. 1990 දී දේශපාලන දිවියට පිවිසුණ ඇය ක්‍රි.ව. 1993 දී සබරගමුව පළාත් සභාවට ද, අනතුරුව 1994 දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේනතුවට ද තේරී පත්විය.

දීර්ඝ දේශපාලන ගමනකට පිවිසෙන ඇය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ තනතුරු දැරීය. එතුමිය 2000 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රධානම කොටසක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ   උප ලේකම්වරිය ලෙසත්, එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංගමයේ උපසභාපතිවරිය ලෙසත් පත්විය. 2008 වර්ෂයේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ මන්ත්‍රී සංගමයේ සභාපතිධුරය සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කළේය.

2013 වර්ෂයේ ජනවාරි මසදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය ලෙස වැඩ බාරගන්නා එතුමිය ඒ වන තෙක් තාක්ෂණික හා පර්යේෂණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස 2010 වර්ෂයේ නොවැම්බර් මස සිට කටයුතු කරන ලදී. 2010 වර්ෂයේදී සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් 2008 වර්ෂයේදී තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් 2004 වර්ෂයේදී සමෘද්ධි හා දිළිඳුකම පිටු දැකීමේ අමාත්‍යවරිය ලෙසත් 2000 වර්ෂයේදී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරිය ලෙසත් කටයුතු කළේය. එමෙන්ම එතුමිය 1994 වර්ෂයේදී සෞඛ්‍ය, මහාමාර්ග, සමාජසේවා සහ සුභසාධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසත් කටයුතු කරන ලදී.

Recommended For You

About the Author: Editor