දශකයකට පසු පාකිස්ථානු ටෙස්ට් සංචාරයට ශ‍්‍රී ලංකාව සූදානම්

පසුගිය ඔක්තෝබර් මස පාකිස්ථානය සමග පැවැති එක්දින සහ විස්සයි 20 තරගාවලිය තරම් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප‍්‍රවීනයින්ගේ / ජ්‍යේෂ්ඨයින්ගේ ආත්මාර්ථකාමීකම ප‍්‍රදර්ශන කළ අවස්ථාවක් නැති තරම්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් බැට කා ‘හොම්බ බිම ඇණ ගෙන සිටි’ ශ‍්‍රී ලංකාවට ඒ අවස්ථාවේ පාකිස්ථානය පමණක් නොවෙයි මුළු ලෝකයම එකාවන්ව උදව් කළා. විශේෂයෙන් පාකිස්ථානය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව ලංකාවට යෝධ සෙවනැල්ලක් වුණා.

ලංකාවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ උණුසුම යාමටත් කලින් පාකිස්ථාන රජයෙන් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ ඒ වන විටත් සාජාහි පැවැත්වීමට සැලසුම්කර තිබූ ශ‍්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගාවලිය සහ විස්සයි 20 තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීමට කැමැත්ත විමසමින්.

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ම 2009 දී ලාහෝරයේදී මුහුණ දුන් බිහිසුණු ‘ලාහෝර් ප‍්‍රහාරයෙන්’ පසුව දශකයකට ආසන්න කාලයක් තිස්සේ ‘ජාත්‍යන්තර තරගාවලියක පහස’ නොලද පාකිස්ථාන ක‍්‍රිකට් පිටියක ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ක‍්‍රීඩා කරනු දැකීම තමයි පාකිස්ථානයේ බලාපොරොත්තුව වුණේ.

කොහොම වුණත් පාකිස්ථානයේ සිදුවුණ ඒ ඉල්ලීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ධනාත්මක ප‍්‍රතිචාර දැක්වුවත් ජාතික කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයින් 10 දෙනෙක් දැඩි විරෝධයක් දැක්වූවා. නායක දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග ඒ අතර ඉදිරියෙන්ම හිටියා.

අවසානයේ ‘රාජ්‍ය නායකයෙකුට ලබා දෙන තරම් ආරක්ෂාවක්’ ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන බවට පාකිස්ථානය කළ සහතික කිරීම සමග ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයින්ගෙන් තොර ‘යොවුන් කණ්ඩායමක්’ පාකිස්ථානයට ගියා.

එතැන් සිට සිදු වුණ දේ අපි කවුරුත් දන්නවා. එක්දින තරගාවලිය 2:0ක් ලෙස පරාජය වුණත් ශ‍්‍රී ලංකා නවක ක‍්‍රීඩකයෝ විස්සයි 20 තරගාවලිය 2:0ක් ලෙස ජයග‍්‍රහණය කළා. ඒක විශ්මිත ජයග‍්‍රහණයක් වූ බවට කිසිම සැකයක් නැහැ.

පාකිස්ථාන සංචාරයෙන් පසු ආ පයින්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඔස්ටේ‍්‍රලියාවට යන්න සිද්ධ වුණා. පාකිස්ථානයට නොගිය ජ්‍යේෂ්ඨයෝ ‘එකපයින් ඔස්ටේ‍්‍රලියාවට ගියා පමණක් නොවෙයි ලසිත් මාලිංග තමන්ගේ ‘කුහකකම’ ද මනාව ප‍්‍රදර්නය කළා.

‘ඔස්ටේ‍්‍රලියාවේදී ජයග‍්‍රහණයක් ගන්න මොළෙත් ඕනෑ’ මාලිංග කාට නොදන්නා කෙනෙකුට ‘ලොකු ටොක්කක් ඇන්නා’ ඒත් ඔස්ටේ‍්‍රලියාවේදී මාලිංගගේ කණ්ඩායම නින්දා සගහත තරගාවලි පරාජයක් ලැබුවා. ඒක මාලිංගගේ ‘කුහකකමට’ දුන්න උත්තරයක් වාගේ.

ඔස්ටේ‍්‍රලියානු සංචාරයෙන් පස්සේ ලංකාවේ ක‍්‍රිඩකයෝ විශාල පිරිසක් අබුබාබිවල පැවැති පන්දුවර 10 තරගාවලියට එක් වුණා. එහිදී ලසිත් ඇතුළු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් තරග කළ ‘මරාටා’ කණ්ඩායම ජයග‍්‍රහණය කළා.

මේ අතර මාස ගණනක් පුරා පැවැති ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු සහාය පුහුණුකරුවන්ගේ ගැටලූව ද විසඳුණා. ඒ අනුව පිතිකරු පුහුණුකරු ලෙස ග්‍රාන්ට් ෆ්ලවර්න්ල පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සාර්කර් හා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ෂේන් මැක්ඩර්මෝට් වසර දෙකක කාලයක් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග ගිවිසුම්ගත වුණා. ඔවුන් ලබන දෙසැම්බර් මාසයේ, ශ‍්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විටම වාගේ පුහුණු කිරීම් ආරම්භ කරනු ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඒ අනුව මතභේදයට තුඩුදුන් ‘චන්දික හතුරුසිංහ යුගය’ නිමාවට පත් වුණා.

ශ‍්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගාවලිය

ලබන වසරේ පැවැත්වෙන ‘ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය’ යටතේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා – පාකිස්ථාන ටෙස්ට් තරගාවලියට ’ සූදානම් වීම මේ සමග සිදු වුණා. ප‍්‍රධාන පුහුණුකරුවන් පත්කර ගැනීම සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලැබුණත් ක‍්‍රීඩකයින්ගේ ‘ගුණාත්මකභාවය’ සම්බන්ධයෙන් පවතින ගැටලූ නිසා තත්ත්වය සියයට සියයටක් යහපත් වන බවක් කිසිවෙක් අපේක්ෂා කරන්නේ නැහැ.

‘පුහුණුකරුවන්ට කළ හැකි උපරිමය කළත් තම ටිකක් තියෙනවා. එය කළ යුත්තේ ක‍්‍රීඩකයින්’ ජ්‍යේෂ්ඨ පුහුණුකරුවෙක් අප සමග පැවසුවා.

ඒ කොහොම වුණත් පසුගිය පාකිස්ථාන සංචාරය පදනම් කරගෙන නිර්මාණය වූ ‘ආරක්ෂාව සම්බන්ධ අවදානමක්’ ගැන මෙවර නම් ජ්‍යේෂ්ඨයින්ගෙන් මැසිවිලි නැති බවයි වාර්තා වෙන්නේ.

‘පසුගිය පාකිස්ථාන සංචාරයට යාම තරයේ ප‍්‍රතික්ෂේප කළ දෙන්නෙක් තමන්ට අවස්ථාව ඉල්ලා කන්නලව් කරනවා’ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරියෙක් කිව්වා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්තාවලට අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන 08 වැනිදා පාකිස්ථානය බලා පිටත් වීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා – පාකිස්ථානු පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ දෙසැම්බර් 11 වැනිදා. ඒ රාවල්පින්ඩි හිදීයි. දෙවැනි ටෙස්ට් තරගය 19 වැනිදා කරච්චි නුවරදී පැවැත් වෙනවා.

ශ‍්‍රී ලංකා සංචිතය

පාකිස්ථාන සංචාරය සඳහා 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළා. කණ්ඩායමේ නායකත්වය ටෙස්ට් නායක ‘දිමුත් කරුණාරත්නටම පවරා ඇති අතර ශක්තිමත් පිතිකරු ලැයිස්තුවක් මෙවර කණ්ඩායමට හිමි බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඒ අනුව පිතිකරුවන් ලෙස, දිමුත් කරුණාරත්න, ඕෂධ ප‍්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමල්, ළහිරු තිරිමාන්න සහ ධනංජය ද සිල්වා නම්කර තිබෙනවා.

කඩුළු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල හෝ දිනේෂ් චන්දිමාල් ක‍්‍රීඩා කරනු ඇතැයි බවයි විශ්වාස කරන්නේ.

ශ‍්‍රී ලංකා සංචිතයේ වේග පන්දු යවන්නන් වශයෙන් සුරංග ලක්මාල්, කසුන් රාජිත, ළහිරු කුමාර සහ විශ්ව ප‍්‍රනාන්දු කටයුතු කරනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කියන්නේ. දඟ පන්දු යවන්නන් ලෙස ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹුල් දෙණිය ඇතුළත්ව සිටිනවා.

මෙම තරගාවලිය වැදගත් ඇයි ?

මෙම තරගාවලිය පාකිස්ථානයට මෙන්ම ශ‍්‍රී ලංකාවට ද එකසේ වැදගත් වන අතර පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් අත්‍යවශ්‍යම වෙනවා. (තරග දෙකක් නිසා)

මේ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ස් ප‍්‍රසාද ලකුණු 60ක් ලබා ගෙන ඇති අතර ලකුණු සටහනේ 04 වැනි ස්ථානයේ පසු වෙනවා.

පාකිස්ථානය මේ දිනවල ඔස්ටේ‍්‍රලියාව සමග ටෙස්ට් තරගාවලියකට සහභාගී වන අතර ඔවුන් පළමු තරගයෙන්ම පරාජයට පත්ව සිටිනවා. එහි අවසාන ටෙස්ට් තරගය ලබන 29 වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වෙනවා.

මේ තත්ත්වය තුළ පාකිස්ථානය එකම ප‍්‍රසාද ලකුණක් හෝ ලබාගෙන නැහැ. ඒ අනුව පාකිස්ථානයට තම රටේදීම ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය අතිෂයින් වැදගත් වෙනවා.

ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ පළමු ස්ථානයේ ලකුණු 360ක් දිනා ගෙන ඇති ඉන්දියාව ද, දෙවැනි ස්ථානය ලකුණු 116ක් දිනාගෙන ඇති ඔස්ටේ‍්‍රලියාව ද තෙවැනි තැන ලකුණු 60ක් දිනාගෙන ඇති අතර ඔවුන් තෙවැනි ස්ථානයේ පසු වෙනවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor