ලංකාවේ ගොවීන්ගේ සැබෑ ඉරණම: මාතලේ ‘රතුඅල’ සහ බිබිලේ ‘දොඩං’ ගොවීන්ගේ කතාව

පසුගිය ජනාධිපතිවරණයේ දී ‘කෘෂිකර්මය, ආහාර සුරක්ෂිතභාවය සහ ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කිරීම’ ආදිය ගැන ප‍්‍රධාන අපේක්ෂකයින් අතර මහා සංවාදයක් තිබුණා. ඒ කතා දිහා බලාන හිටිය කාට වුණත් හිතුණේ ‘මේ නම් පහළ වෙන්න යන්න මහ පැරකුම්බාවෝ කියලා.

ඒත් ලංකාවේ දේශපාලනඥයෝ කටින් බතල කොළ හිටවන කොට නිලධාරීන් වැල්ලේ මාළිඟා හදන බව ගොවියෝ නොදන්නවා නොවෙයි. ඒ නිසා ඔවුන් සුපුරුදු විදිහට අහසට, පොළවට වඳිනවා පුදනවා මිස දේශපාලනඥයින් වඳින්න, පුදන්න යන්නේ නැහැ. ඒවා කරන්නේ ගොවීන් වෙනුවෙන් සේවය කරනවා කියා ‘පඩිකන’ නිලධාරින් කියලා අපි කවුරුත් දන්නවා.

ඒ කතා කොහොම වුණත් අපිට මේ දින කිහිපය තුළ ලංකාවේ ගොවීන්ගේ ‘ඇත්ත තත්ත්වය’ හොඳින් පැහැදිලි වන කතා දෙකක් හමු වුණා. එකක් මාතලේ දිස්ත‍්‍රික්කයෙන්. අනෙක බිබිලෙන්. ඉතිං, මුලින්ම කියන්නේ ‘හොඳ කතාව’ නිසා අපි ඉස්සෙල්ලාම මාතලේට යමු.

මේ වන විට ලංකාවේ එළවළු වගාවේ කේන්ද්‍රස්ථානයක් බවට මාතලේ දිස්ත‍්‍රික්කය පත් වෙමින් තිබෙනවා. එක පැවැත්තකින් මාතලේ ගොවිරාළලා එළවළු වගා කරන කොට අනෙක් පැත්තෙන් මාතලේටම අයත් දඹුල්ලේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හරහා ඒ එළවළු රටපුරා බෙදා හරිනවා. අනෙක් අතින් දඹුල්ලේ පාර දෙපස ඇති සිය ගණනක් එළවළු කඩත් මාතලේ ගොවීන් අස්වැන්නට නිසි වටිනාකමක් ලබා දෙන්න හොඳ තල්ලූවක් දෙනවා.

නාරංගස්වැව රතුඅල ගොවීන්ට අවුරුදු 15කට පස්සේ හොඳම මිලක්

ඉතිං අපි දැන් යමු මාතලේ දිස්ත‍්‍රික්කයේ අති දුෂ්කර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වන ‘පළාගලට’.

පළාගල කියන්නේ ජල හිඟයෙන් වගේම වල් අලි තර්ජනයෙන් බැටකන ප‍්‍රදේශයක්. ඒත් පළාගත ගොවීන් ඒ සියලූ අභියෝග මැද ගොවිතැන් බත් කරනවා. රටට අවශ්‍ය එළවළු ටික දෙනවා. මේ කන්නයේ පළාගල පැත්තේ ගොවීන් සුපුරුදු විදිහට ‘රතුඅල’ වගා කළා. එකදිගටම අවුරුදු ගාණක්, ගොවීන් කියන විදිහට නම් අවුරුදු 15ක් විතර කාලයක් ඔවුන්ට රතුඅලවලින් වාසියක් වුණේ නැහැ.

ඒ කියන්නේ රතුඅල වැව්ව ගොවීන්ට සිද්ධ වුණේ ‘අතින් කාලා හරක් බලන වැඩක්. ඒත් පසුගිය දිනවල පළාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ‘නාරංගස්වැව’ පැත්තේ ගිය අපිට කාලෙකින් නොදැක්ක හිනා මල් ගොවිරාළලාගෙන් දකින්න ලැබුණා.

‘ ඕන් අයිබෝවං අවුරුදු පහළොවකින් විතර පස්සේ අපේ රතුඅල ටිකකට හොඳ ගාණක් ලැබුණා. ඇත්තමයි අපිට මේක එපා වෙලා තිබුණේ. වෙන කරන්න දෙයක් නැතිකමට තමයි එළවළු වගා කළේ. වතුර, බීජ, අලි කරදර මැද්දේ වාවා ගත්ත දේට හරිහමං මිලක් ලැබුණෙම නැහැ. දෙයියන්නේ පිහිටෙන් මේ පාර රතුඅල කිලෝ එකකට රුපියල් 150ක් විතර ලැබුණා’

නාරංගස්වැව දී අපට හමු වූ පියල් දිසානායක ගොවි මහතා කිව්වා.

ඉතිං පියල් ගොවි මහතාගේ හිනාමල් දකින ගමන් ප‍්‍රශ්නයක් දෙක්ක අහන්න හිතුණත් පස්සේ අපි ඒ අදහස වෙනස් කරගත්තා.

‘අනේ මහත්තයෝ ඉතිං මේ ගාණ අපිට ලැබුණේ මේ කන්නේ විතරයි. ලබන කන්නේ ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. මේක ලැබුණෙත් අවුරුදු ගාණකට පස්සේනේ. ඉතිං අපි කියන්නේ අපිට අපේ අස්වැන්නට හරිහමං මිලක් ලබා දෙන වැඩපිළිවෙළක් හදන්න කියලා ඔය නිලධාරී මහත්තරුන්ට කියන්න. ඇමැතිතුමා කිව්වත් ඒ වැඬේ නොකර කර අරින්නේ ඔය නිලධාරි මහත්තරු තමයි’ පියල් ගොවි මහතා කිව්වා.

බිබිලේ ගොවීන්ට දොඩම් නොමෙයි උපන් බිමත් එපා වෙලා

Related image

‘අවුරුදු 15ක පස්සේ නාරංගස්වැව රතුඅල ගොවියෝ ඉහළ මිලක් ගන්න කොට නාරංගස්වැවට කිලෝ මීටර සිය ගාණක් ඈත ගොවියෝ සොයා ගෙන අපි යනවා. ඒ අපි කවුරුත් දන්න ‘බිබිලේ’

‘බිබිලේ කිව්වාම අපිට නම් කිහිපයක් මතක් වෙනවා. ගම්පෙරළියේ ජිනදාස ළමාහේවා ජීවිතය සොයා ගෙන ගියේ බිබිලෙට. ඒත් ජිනදාසට බිබිලෙදී වාසනාව හිමි වුණේ නැහැ. ‘සේනක බිබිලේ’ කියන්නේ ලංකාවේ අමරණීය චරිතයක්. ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් හදන්න සේනක බිබිලේ මහත්තයා මහත් වෙහෙසක් ගත්තා. ඒත් එතුමා අපිට අකාලයේ අහිමි වුණා.

‘බිබිලේ දොඩං’ තමයි රසවත්ම කතාව. 1960-70 දශකවල බිබිලේ දොඩං ලෝක ප‍්‍රසිද්ධයි කියලයි අපේ වැඩිහියෝ කියන්නේ. ඒත් කොහොම කොහොම හරි බිබිලේ දොඩං වඳ වුණා. 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීම සමග පොත්ත කහම කහපාට පිටරට දොඩං ආවම අපිට අපේ දොඩං වහ කඳුරු වුණා.

අද වුණත් ඒ තත්ත්තේ කිසිම වෙනසක් නැහැ.

කොහොම හරි පස්සෙන් පස්සේ කාලේ අයිත් බිබිලේ දොඩං වගාව සරු වුණා. අක්කර සිය දහස් ගාණක සරුවට අතු බර වුණ දොඩං වගාවක් හැදුණා. ඉතිං දොඩං වගාකළ ගොවීන්, විශේෂයෙන් ගොවිලියන් හිතුවා දැන් ඉතිං අපිටත් ‘දොඩං’ තමයි කියලා.

ඒත් පසුගිය දිනවල බිබිලේ පැත්තේ ගිය අපිට ඇහුණේ ‘අඬා දොඩන’ කතාවක්.

‘අනේ මහත්තයෝ අක්කර දෙකක දොඩං වගා කළා. ඒත් හර හමං මිලක් නැහැ. තුට්ටුවට දෙකට තමයි ඉල්ලන්නේ. ඔන්න දැන් ගස් අතෑරලා තියෙනවා. කඩන එකටත් පාඩුයි’ දොඩං වගාවෙන් ගොඩ යන්න සිහින දැක්ක නිර්මලා බණ්ඩා මැණිකේ කිව්වා.

‘අපිට වෙන අමතර ආදායම් නැහැ. මේ වත්තපිටියෙන් ලැබෙන දෙයක් තමයි. අපි මේ පාර දොඩං වගාව ගැන හරි විශ්වාසෙන් හිටියේ. ඒත් ඉතිං ඒවා හීන විතරයි. දැන් අපිට හිතෙනවා මේ කාස්ටක පොළවත් එක්ක නැහෙන්නේ නැතිව වෙන කොහාට හරි ගිහින් කුලියක් මලියක් කරගෙන හරි ජීවත් වෙන්න’ නිර්මලා අඳෝනා ස්වරයෙන් කිව්වා.

නිර්මලා පමණක් නොවෙයි මැදිවියේ ගොවීන් වුණ ගාමිණි දිසානායක, පාලිත වන්නිආරච්චිලා කිව්වෙත් මේ කතාවම තමයි. ‘අපිට හරි හමං මිලක් නැහැ’ ඔවුන්ගේ එකම චෝදනාව ඒක.

මේ ප‍්‍රශ්නෙට මුහුණ දෙන්නේ බිබිලේ දොඩං වගාකරුවෝ විතරක් නොවෙයි. පසුගිය දිනවල පුත්තලම දිස්ත‍්‍රික්කයේ නවගත්තේගම දොඩං වගාකරුවොත් මේ ප‍්‍රශ්නෙට මුහුණ දුන්නා. ඒත් අද වෙනතුරු විසඳුමක් පේන තෙක් මානෙක නැහැ.

ඒත් පුදුමේ කියන්නේ රටේ පලතුරු වගාව ප‍්‍රචලිත කරන්නයි පර්යේෂණ කරන්නයි, ප‍්‍රතිපත්ති හදන්න උපදෙස් දෙන්නයි ආණ්ඩුවේ පඩිකන නිලධාරී රොත්තක්ම ඉන්න කොටත් මේ වගේ දෙයක් වෙන එකකයි.

‘වෙන මොකවත් එපා මහත්තයෝ ඔය අපිට කරන්න කියලා ආණ්ඩුවේ පඩිකන මහත්තරු, නෝනලා මේ දොඩං ගෙඩි පහ හයක් සල්ලිවලට ගත්ත නම් මේ ප‍්‍රශ්න මොකවත් නැහැ. ඒත් ඉතිං අපිට කරන්න කියලා පඩිකන උන්දැලා කන්නේ රට දොඩංනේ’ බිබිලේ දොඩං වගාකරුවෙක් වන ‘සරත් හේරත් දිසානායක’ මහතා කිව්වා.

ඉතිං, මැතිවරණ වේදිකාවල ගිරිය පුප්පන් නිකං පෝර දෙන්න, නිකං බීජ දෙන්න කතා කළ මහත්තරුන්ට මේ කතා ඇහෙන්නේ නැතිව ඇති. ඒත් මහ ඡුන්දේ ළඟ ළඟම එන බව නම් ඔවුන් දන්නවා.

සටහන – තුෂාර වල්ගම

Recommended For You

About the Author: Editor