විපක්ෂ නායක අවුල: කතානායක ඇඟබේරා ගෙන ‘බෝලය එජාපයටම පාස් කරයි’

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් පෙර දින ඊයේ (27) පස්වරුවේ කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇතැයි කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. ‘එම මන්ත්‍රීවරුන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය යොමු කරවන ලද ලිපියක්, ආදාළ අත්සන් 57 සහිත ලිපියේ පිටපතක්ද සමඟ මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත කථානායක කාර්යාලය මඟින් යොමු කර ඇත.

එමඟින් කථානායකවරයා දන්වා ඇත්තේ ඉහත කී මන්ත්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද අවධානය යොමුකොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසයි.

මේ වන වි‍ට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම් දුන් පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි ගරු කථානායකවරයා විසින් ඒ පිළිබඳව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව පමණක් විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වනු ඇත’ යනුවෙන් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

Recommended For You

About the Author: Editor