ශ‍්‍රී ලාංකීය බතික් රටාවෙන් හැඩවන ‘2019 තායි සිල්ක් සැමරුම’

තායි සේද මාවත හරහා ලෝකයට’ විලාසිතා ප්‍රදර්ශනයහැඩගැන්වෙයි

බුද්ධි බතික් නිර්මාණ අධ්‍යක්ෂිකා දර්ශි කීර්තිසේන මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද නෙත් ඇදගන්නා අලංකාර බතික් මෝස්තර සහිත ඒකල ශ්‍රී ලාංකීය විලාසිතා දැක්මක් 2019 නොවැම්බර් 18 සිට 22 දක්වා පැවති නව වන ජාත්‍යන්තර තායි සිල්ක් විලාසිතා සතිය තුළදී පැවැත්විණි.

රටවල් 44කට අයත් මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ විලාසිතා එළිදැක්වුණු මෙම විලාසිතා සතිය තුළ නොවැම්බර් 20 දින පැවති ශ්‍රී ලංකා විලාසිතා දැක්මෙහිදී සාම්ප්‍රදායික ඇඳුම් නිර්මාණ මෙන්ම සාම්ප්‍රදායික මෝස්තර තුළට කැටිකළ සමකාලීන අද්විතීය නිර්මාණ සහ තායි සිල්ක් භාවිතයෙන් නිර්මාණය කළ ශ්‍රී ලාංකීය සහ තායි මෝස්තර සම්මිශ්‍රණය කළ පර්යේෂණාත්මක නිර්මාණයන්ද ප්‍රදර්ශනය කරනලදී. දේශීය හා විදේශීය මාධ්‍ය, ජාත්‍යන්තර නිර්මාණ ආයතන, ප්‍රකට වෙළඳ සන්නාම නියෝජිතයන්, මෝස්තර නිර්මාණ ශිල්පීන්, ව්‍යාපාරිකයන් සංචාරක නියෝජිතයන් මෙම විලාසිතා නැරඹීමට පැමිණි අතර ශ්‍රී ලාංකීය නිර්මාණයන්ට ප්‍රසිද්ධිය ලබාදෙමින් තායි මාධ්‍ය ආයතන කිහිපයක්ම දර්ශි කීර්තිසේන මහත්මිය සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක බැංකොක් දූත මණ්ඩල ප්‍රධානීන් හා අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සිය රටවල මෝස්තර නිර්මාණශිල්පීන් විසින් නිර්මාණය කරන ලද විලාසිතාවන්ගෙන් සැරසී ඉදිරිපත් කරන ලද දැවැන්ත විලාසිතා දැක්මකින් විලාසිතා සතිය අවසන් විය. තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඔචා මහතාගේ නිල සහභාගීත්වයෙන් රාජකීය තායි නාවික හමුදා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයට ජාත්‍යන්තර මෝස්තර නිර්මාණ ශිල්පී ජිමී චූ මහතා ආරාධිත නිර්මාණ ශිල්පියෙකු  ලෙස සහභාගී වූ අතර අමුත්තන් 3000 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.

ලංකාව පිළිබඳ සැකසුණු සංචාරක ප්‍රවර්ධන වීඩියෝ පට, මුද්‍රිත බැනර්, විලාසිතාමය ඇඳුම් ආයිත්තම් මෙම විලාසිතා සතිය සහ අවසන් මහා විලාසිතා දැක්ම තුළ ප්‍රදර්ශනය කිරීමෙන් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස උත්කර්ෂයට නැංවීමටද මනා අවස්ථාවක් උදාවිය. ශ්‍රී ලංකා ඒකල විලාසිතා දැක්මට සහභාගීවූ සියලු දෙනාට තානාපති කාර්යාලය මගින් පිරිනැමූ ශ්‍රී ලාංකීය කෑම වර්ග සහ තේ පැන් රසවිඳීමට හැකිවිය. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවාව වන ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම විලාසිතා දැක්මෙහි ප්‍රධාන අනුග්‍රාහක සමාගම් අතර විය.

‘සිල්ක් ඔස්සේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීම ‘ යන සංකල්පය පෙරදැරිව තායිසිල්ක් කර්මාන්තය නැංවීමටත් සහභාගීවන රටවල් සහ තායිලන්තය අතර අන්‍යෝන්‍ය සංස්කෘතික හුමවාරුවීම් ප්‍රවර්ධනයත් අරමුණු කරගනිමින් 1976 වර්ෂයේදී සිරිකිත් මහ රැජිණ (වර්තමාන මව් රැජිණ)  විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යපෘතිය, මේ වන විට රටවල් 71ක සහභාගීත්වයෙන් යුතුව විශිෂ්ට නිර්මාණ සහ තායි සිල්ක් වලින් සැකසූ විදේශීය ජාතික ඇඳුම් ඉදිරිපත් කෙරෙන තායිලන්තයේ දැවැන්තම විලාසිතා දැක්ම බවට පත්වී ඇත.

Recommended For You

About the Author: Editor