අපොස සාපෙළ ලියන සිසු සිසුවියන් ‘කියවිය යුතුම’ විශේෂඥ ලිපියකි

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු මහාචාර්ය, ධනාත්මක චින්තන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය දයා රෝහණ අතුකෝරාළ මහතා සමග කළ විශේෂ සම්මුඛ සාකච්ඡුාවක් ඇසුරිණි අපොස සාපෙළ විභාගයට සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් සම්පාදිත විශේෂ ලිපියකි.

මනස සැහැල්ලු කර ගෙන විභාග ශාලාවට යා යුතු ය. අවම වශයෙන් විනාඩි 15 කට පෙර විභාග මධ්‍යස්ථානයට යා යුතු වේ. ප්‍රශ්න පත්‍රය ලබා දීමට විනාඩි 10 ක් තිබියදී විභාග ශාලාවට පැමිණෙන්නට අවසර දුන් විට ඉක්මණින්ම තමන්ගේ මේසය, පුටුව මෙන් ම, අදාළ ස්ථානයට අව්ව වැටෙනවාද නැද්ද යන්න පිළිබදව නිරීක්ෂණය කර ගත යුතු ය.

යම් කිසි අඩුපාඩුවක් තිබේ නම් ප්‍රශ්න පත්‍රය ලබා දීමට පෙර ඉක්මණින් සුපරීක්ෂකවරයාට දැනුම් දී ගැටලුකාරී තත්ත්වයන් විසඳාගැනීමට පියවර ගත යුතු ය. මන්ද යත් මෙවැනි සුළු කාරණා හේතුවෙන් ලකුණු ප්‍රමාණය අවම විය හැකි නිසා ය. ප්‍රශ්න පත්‍රය ලියා පැමිණි පසු එම ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ජා කිරීම නුසුදුසු වේ.

මන් ද යත් විභාගය ලිවීමෙන් පසු සියලු කටයුතු රඳා පවතින්නේ විභාග පරීක්ෂකවරයා අත ය. අධ්‍යාපන විශේෂඥවරුන් ලෙස එම විෂයට අදාළ පොත් පත්, ලිපි ලේඛන සියල්ල ගැටගසා වෙන් කිරීම කළ යුතු බව ප්‍රකාශ කරනු ලබයි.

උගත් ප්‍රජාවගේ උගත්කමෙහි සීමාව මැන බැලීම සදහා ලොව සෑම රටකම වරින් වර විභාග පවත්වනු ලබයි. විභාගවලින් බලාපොරොත්තු වන්නේ අදාළ පුද්ගලයා දෙන ලද නිර්දේශ පත්‍ර කොතරම් දුරකට සම්පූර්ණ කිරීමට දක්ෂ ද යන බව සනාථ කිරීම ය. විභාග තුළින් හුදෙක් පුද්ගලයකුගේ මතකය පමණක් නොව, දැණුම කොතරම් ප්‍රමාණයක් තිබෙනවා ද? යම් කිසි ප්‍රශ්නයකට‍ සාර්ථකව මුහුණ දෙන්න කොතරම් හැකියාව තියනවා ද? සහ කාලය කළමනාකරණය කරන්න පුළුවන් ද ? යනා දී දක්ෂතා බොහොමයක් මනිනු ලැබේ. විභාග පවත්වන රටාව සහ විභාග සැළසුම් කිරීමේ රටාව අනුව විභාග තුළින් දක්ෂතා මනිනු ලබන ක්‍රමවේද වෙනස් වේ.

සාමාන්‍ය පෙළ පවත්වනු ලබන්නේ මෙතෙක් ඉගෙන ගත් කරුණුවල දක්ෂතා කොතරම් සාධනය (achievement) කර තිබෙනවා ද යන්න මැන බැලීමට ය. අපොස උසස් පෙළ විභාගය පවත්වනු ලබන්නේ සාධනීය දක්ෂතාවන්ට අමතරව ඉදිරි කාලයේ අධ්‍යාපනය ලබා ගැනීමට කොතරම් අභියෝග්‍යතාවක් තිබෙනවා ද යන්න මැන බැලීම සදහා ය. ඒ හේතුවෙන් අපොස උසස් පෙළ විභාගයට වඩා අපොස සාමාන්‍ය පෙළ සරළ විභාගයක් වශයෙන් හඳුන්වයි.

බුද්ධි වර්ග

සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය බුද්ධි වර්ග ( Multiple intelligences) 08 ක් නියෝජනය වන පරිදි සකස් කර තිබේ. ගණිතය, විද්‍යාව වැනි විෂය තුළින් ගණිතමය හා තර්කන බුද්ධිය ( Logical mathematical)ද , භාෂාව තුළින් භාෂාමය බුද්ධීය (Linguistic Intelligence) ද , සංගීතය තූළින් සංගීත බුද්ධිය ද (Musical intelligence) ද, පුරවැසි අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව තුළින් අන්තර් පුද්ගල බුද්ධිය ( Interpersonal intelligence) ආදී වශයෙන් බුද්ධි වර්ග දියුණු කර ගැනීමට හැකි වන අයුරින් විෂය නිර්දේශය සකස් කර ඇත.

සාමාන්‍ය පෙළ ගණිතය සහ විද්‍යාව වැනි විෂයන්වලට පමණක් වැඩි ලකුණු ගැනීම ප්‍රමාණවත් බව බොහෝ දෙනෙක් සිතා සිටිය ද සමස්ත බුද්ධි මට්ටම දියුණු කර ගැනීමට උනන්දු විය යුතු වේ. අධ්‍යාපනඥයින් ප්‍රකාශ කරනු ලබන්නේ සාමාන්‍ය පෙළ විෂයන් සියල්ලටම අවම වශයෙන් 50 % ලකුණු ප්‍රමාණයක් ගැනීම මගින් සමස්ත බුද්ධි මට්ටම ළඟාකර ගත හැකි බව ය. සෑම විෂයකටම උපරිම ලකුණු මට්ටමකට යා හැකි දරුවන් හමුවන්නේ කලාතුරකිනි. කෘත්‍රීම ලෙස පුහුණුකර වැඩි ලකුණු ලබා ගැනීම ඒ තරම් එලදායී ක්‍රියාවක් නොවේ.

සමාන්‍ය පෙළ විභාගයේ දී වඩාත් වැදගත් වන්නේ උපතින් රැගෙන ආ හපන්කම් දියුණු කර ගැනීමට කොතරම් දුරකට හැකියාවක් පවතිනවා ද යන්න පිළිබඳව අවබෝධයක් තිබීම ය. උදාහරණයක් වශයෙන් ගණිතය හා තර්කන බුද්ධිය උපතින් රැගෙන පැමිණි දරුවකුට සාමාන්‍ය පෙළ ගණිතය විෂය දියුණු කර හොඳින් සමත්ව උසස් පෙළට ගණිත විෂය තෝරාගෙන ඉංජිනේරු ක්ෂේත්‍රයට හෝ විද්‍යා ක්ෂේත්‍රයට පිවිසීමට පුළුවන. නමුත් ගණිතය හා තර්කන බුද්ධිය උපතින් රැගෙන නොපැමිණි දරුවකු මහන්සි වී ගණිතය විෂය සමත් ව උසස් පෙළ විභාගයේ දී ගණිත අංශයෙන් පෙනී සිටීමට යාම ඒ තරම් ප්‍රතිඑලදායක නැත.

සාමාන්‍ය පෙළ විෂය සාමාර්ථයන් ගැන උසස් පෙළ විභාගයේ විෂයන් තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම සළකා බැලිය යුතු වේ. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඑල අනුව සෘජුවම උසස් පෙළ පන්තියට ඇතුළු වීම, කාර්මික විද්‍යාලවලට ඇතුළු වීම, හෝ තමන් කැමති වෙනත් විෂය ක්ෂේත්‍රයකට යාමට පුළුවන. එහෙත් මූලික අවම සුදුසුකම වන්නේ උසස් පෙළ සමත් වී තිබීම ය. එවැනි දරුවකුට ඕනෑම ක්ෂේත්‍රයකට ලෙහෙසියෙන් හුරු විය හැකි ය.

කාලසටහනකට අනුගත වීම

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂයෙන් සූදානම් වීමට වඩා 6 ශ්‍රේණියේ සිට ටිකෙන් ටික සුදානම් වීම සුදුසුය. විශේෂයෙන්ම ප්‍රාථමික පන්තිවල සිටම භාෂා විෂය සහ ගණිත විෂයෙහි දක්ෂතා පෙන්නුම් කිරීම වඩාත් වැදගත් වේ. මෙම විෂයන් දෙක දිගින් දිගටම දියුණු කර ගෙන යන දරුවකුට අනෙකුත් විෂයන් ලෙහෙසියෙන් දියුණු කර ගැනීමට පුළුවන. ප්‍රාථමික පන්තිවල සිටම කියවා තේරුම් අරගෙන ටිකෙන් ටික අදාළ විෂයන් ප්‍රගුණ කළ යුතු වේ. මැරතන් තරගයක මුල් කාල සීමාවේදී සෙමින් දිවීම සිදු කර අවසාන කාලසීමාවේදී එම දිවීමේ වේගය වැඩි කරන්නාක් මෙන් 7 වසරේ සිට ටිකෙන් ටික විෂය සමගාමී කාර්යයන් සිදු කර සමාන්‍ය පෙළ විභාගයට පෙර අවුරුද්දේ ටිකක් වැඩිපුර මහන්සි වී අවසන් මාස 03 දී කලින් මහන්සි වුණාටත් වැඩියෙන් මහන්සි විය යුතු ය.

මොළයට දරා ගැනීමට හැකි වන්නේ එක වෙලාවකට සුළු කාරණා කිහිපයක් පමණි. සටහන් ලිවීම, කෙටි සටහන් සකස් කර තිබීම, චිත්‍ර සිතුවම් ඇඳ තිබීම, වරින් වර ප්‍රශ්න සාකච්ජා කර තිබීම, තමන්ගේ අඩුපාඩු සොයා ගෙන තිබීම, වරින් වර විභාග සඳහා පෙනී සිට තමන්ගේ දක්ෂතා පෙන්නුම් කිරීම, ගුරුවරයකු ලවා පිළිතුරු පත්‍ර නිරීක්ෂණය කර ගැනීම, පැය 03 ප්‍රශ්න පත්‍රයකට පෙනී සිට අදාළ කාල සීමාවේදී පිළිතුරු ලිවීමට හැකි ද යන්න බැලීම අාදිය සිදු කර පෙර සූදානමක් තිබිය යුතු වේ.

අපගේ මොළය ස්වභාවයෙන්ම නිර්මාණය වී තිබෙන්නේ ඉක්මනින් අමතක කිරීම ට ය. ඒ නිසා මතකය ස්ථාවරව තබා ගැනීම සඳහා අවසන් මාස 03දී තුළ වුව ද මහන්සි වී වැඩ කිරීම ප්‍රමාණවත් වේ. අවසාන මාස 03 දී මහන්සි වී කටයුතු කිරීම සුදුසු යැයි ප්‍රකාශ කරන්නේ කෙටි කාලීන මතකය රඳා පැවතීම සඳහා ය. විභාගයට සුමාන 03 ක් පමණ තිබේ නම් කෙටි කාලීන මතකය හොඳින් රඳවා පවත්වා ගත යුතු වේ.

කොතරම් පාඩම් කළ ද ඒ පාඩම් කළ දෑ කොතරම් මතක ද යන්න සොයා බැලීමට බොහෝ දෙනෙක් නොදනිති. ලියා බැලීම, කිසිවකුට කීම, කවියක් හෝ ගාථාවක් නම් ශබ්ද නගා කීම, කිසිවකුට උගැන්වීම යන විධි ක්‍රම මඟින් තමන්ගේ මතකය පිළිබඳ තක්සේරුවක් ලබා ගත හැකිය. උදාහරණයක් වශයෙන් කරුණු 10 ක් තිබේ නම් ඒවා ලියා බලා යළි යළිත් මතක තබා ගත යුතු ය. ඒ අයුරින් මතකය අවධි කරන විධි ක්‍රමයන් මඟින් පාඩම් කළ දෑ නිරන්තරයෙන් මතක් කර තමන්ට කොතරම් මතකයක් තිබේ ද යන්න සාක්ෂාත් කර ගත හැකි ය.

විභාගයට පාඩම් කිරීම සහ සාමාන්‍යයෙන් ඉගෙන ගැනීමට පාඩම් කිරීම යනු පාඩම් විධි ක්‍රම දෙකකි. අවම වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයට මාසයකට පෙර අනිවාර්යයෙන්ම කාලසටහනකට අනුව පාඩම් කළ යුතු ය. උදෑසන අවදි වුණු අවස්ථාවේ සිට රාත්‍රී නින්දට යන අවස්ථාව දක්වා කාල සීමාව තුළ එක් විෂයක් පාඩම් කිරීම සඳහා විනාඩි 40 ක් පමණ වෙන් කර ගත යුතු ය. සෑම විෂයක් සඳහා ම සමාන කාල සීමාවක් වෙන් කර ගැනීම වැදගත් ය. එසේ නොකොට අඩු වැඩි වශයෙන් තමන්ගේ රුචිකත්වය අනුව පාඩම් කිරීමෙන් තමන් උත්සාහ කරන ප්‍රතිඑලය ලබා ගැනීමට අපහසු වේ. අනුන් පාඩම් කරන ආකාරයෙන් නොව තමන්ගේ චර්යා රටාවන්ට සහ රුචිකත්වය අනුව පාඩම් කිරීමේ ක්‍රමවේදයක් තමන් විසින්ම සකස් කර ගත යුතු ය .

පාඩම් කිරීම

උදාහරණයක් ලෙස උදේ අවදි වූ අවස්ථාවේ සිට උදේ ආහාර ගැනීමේ වේලාව පැමිණෙන තෙක්, උදෑසන ආහාර ගැනීමෙන් පසු උදෑසන 10.30 ට තේ පානය කරන තුරු, කෙටි විවේකයක් ගෙන 12.30 – 1.00 වනතෙක්, පැය භාගයක් විවේකයෙන් සිට නැවත සවස 4.00 වන තෙක් පාඩම් කර පසුව පැය භාගයක් විවේකීව සිට නැවත පාඩම් කළ හැකි ය. කිසිවිටෙකවත් විවේක නොගෙන එක දිගට පාඩම් කිරීම නොසුදුසු ක්‍රියාවකි. එමගින් සාධනීය ප්‍රතිඑලයක් අත්කර ගත නොහැකි ය. සාමාන්‍ය පෙළ දරුවකු දිනකට අවම වශයෙන් පැය 06 ක් අඛණ්ඩව නිදා ගත යුතු වේ. අවම වශයෙන් පැය 06 ක් වත් නිදා නොගත හොත් මතකය අඩු වී දක්ෂතා අඩුවීම සහ අතුරු ලෙඩ රෝග ඇති විය හැකි ය .

උත්තර ලියා බැලීම මතකයෙහි තබා ගත හැකි හොදම ක්‍රමවේදයක් වේ. උත්තර ලිවීමේ දක්ෂතාවය තිබෙන දරුවන්ට සාර්ථක ප්‍රතිඑල ලබා ගත හැකි ය. කොතරම් දක්ෂ වුවත් උත්තර ලිවීමට හැකියාව නොමැති නම් සාර්ථක ප්‍රතිඑලයකට යාමට නොහැකි වේ. ඒ හේතුවෙන් අදාළ කාල සීමාව තුළදී පිළිතුරු පත්‍ර ලියා පුරුදු වීම අතිශයින් වැදගත් වේ. උත්තර පත්‍රවලට ලකුණු දෙන ක්‍රමශිල්පය දරුවන් අනිවාර්යයෙන් ම දැන ගත යුතු ය. පරීක්ෂණ වාර්තා නිරීක්ෂණය කිරීම මඟින් එම ක්‍රම ශිල්පය අවබෝධ කර ගත හැකි ය. තව ද පසුගිය සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර බැලූ ගුරුවරයකුගේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම මඟින් ද සාර්ථක ප්‍රතිඑල අත්කර ගත හැකි ය. දරුවකුගේ දක්ෂතාව, විභාග උත්තර පත්‍ර ලිවීමේ හැකියාව සහ ලකුණු ගැනීම යන කාරණා අතර වෙනස්කම් තිබේ. එම වෙනස තේරුම් නොගැනීමෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ළඟා කර ගත නොහැකි වේ.

විභාගයට පෙර සහ පසු

පළමුවෙන්ම විභාග බිය නැති කර ගත යුතු ය. බිය සෑම දරුවකුටම තිබෙන පොදු සාධකයක් වුවත් එම බිය මගින් විභාගය දක්ෂතා වැඩි කර ගත හැකි වේ . “විභාග බිය“ භිතීකා තත්ත්වයකට පත් කර ගත හොත් දක්ෂතා අඩු වී යාමට පුළුවන. විභාගයට යාමට පෙර දිනයේ අයදුම් පත්‍රය, හැඳුනුම්පත, පෑන්, පැන්සල්, මකනය ආදී අවශ්‍ය දෑ සියල්ලකම විභාගයට රැගෙන යන බෑගයට දමා ගත යුතු ය. එය දෙවරක් පරීක්ෂා කර ගත යුතු ය.

ඇඳුම් පැලඳුම් ද විභාගයට පෙර දින රාත්‍රීයේ සූදානම් කර තැබිය යුතු ය. විභාගය පවත්වන දිනයේ උදෑසන කිසිම කාර්යයක් නොකර සූදානම් වී විභාග මධ්‍යස්ථානය වෙත යා යුතු ය. විභාගයට කලින් දින රාත්‍රියේ පැය 06 ක් හෝ ඊට වැඩි කාලයක් නිදා ගැනීම අනිවාර්යයෙන් කළ යුතු වේ. අන්තිම මොහොතේ නිදි මරා විභාගයට පෙනී සිටීමෙන් දරුවාට තමන් සතු දක්ෂතා ඒ අකාරයෙන්ම එළි දැක්වීමට නොහැකි වී යයි. උදාහරණයක් වශයෙන් ශිෂ්‍යත්ව විභාගය දිනයට පෙර රාත්‍රියේ එක්තරා මවක් තමන්ගේ දරුවාව රාත්‍රී 2 ට අවදි කර ගණන් සාදා ගෙන තිබුණි. එම දරුවා විභාගයට ගිය විට උදෑසන 9 සිටම විභාග ශාලාවේ නිදා වැටෙන්නට විය. අවසානයේදී එම දරුවාට ශිෂ්‍යත්ව විභාගය ක්‍රමවත්ව කර ගත නොහැකි විය.

මනස සැහැල්ලු කර ගෙන විභාග ශාලාවට යා යුතු ය. අවම වශයෙන් විනාඩි 15 කට පෙර විභාග මධ්‍යස්ථානයට යා යුතු වේ. ප්‍රශ්න පත්‍රය ලබා දීමට විනාඩි 10 ක් තිබියදී විභාග ශාලාවට පැමිණෙන්නට අවසර දුන් විට ඉක්මණින්ම තමන්ගේ මේසය, පුටුව මෙන් ම, අදාළ ස්ථානයට අව්ව වැටෙනවාද නැද්ද යන්න පිළිබදව නිරීක්ෂණය කර ගත යුතු ය. යම් කිසි අඩුපාඩුවක් තිබේ නම් ප්‍රශ්න පත්‍රය ලබා දීමට පෙර ඉක්මණින් සුපරීක්ෂකවරයාට දැනුම් දී ගැටලුකාරී තත්ත්වයන් විසඳාගැනීමට පියවර ගත යුතු ය. මන්ද යත් මෙවැනි සුළු කාරණා හේතුවෙන් ලකුණු ප්‍රමාණය අවම විය හැකි නිසා ය.

ප්‍රශ්න පත්‍රය ලියා පැමිණි පසු එම ප්‍රශ්න පත්‍රය පිළිබඳව සාකච්ජා කිරීම නුසුදුසු වේ.මන් ද යත් විභාගය ලිවීමෙන් පසු සියලු කටයුතු රඳා පවතින්නේ විභාග පරීක්ෂකවරයා අත ය. අධ්‍යාපන විශේෂඥවරුන් ලෙස එම විෂයට අදාළ පොත් පත්, ලිපි ලේඛන සියල්ල ගැටගසා වෙන් කිරීම කළ යුතු බව ප්‍රකාශ කරනු ලබයි. අවසන් කළ විභාග පිළිබද සිතමින් සිටිනවාට වඩා ඉදිරි විභාග සදහා සිත ධෛර්ය කර ගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් ය. 

සුබවාදීව සිතීම

සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින දරුවන්ගේ මවුපියන් තම දරුවන්ට උපරිම සහයෝගය දිය යුතු වේ. මෙහිදී සහයෝගය දීම යනු අනවශ්‍ය ලෙස බල කිරීම නොව දරුවාට අවශ්‍ය පහසුකම් සැලැස්වීම ය. මානසික පීඩාව අවම කර ගැනීමට දරුවාට රුකුලක් විය යුතු ය. පාඩම් කරන වේලාවන්වලදී මාමයිට්, සස්ටජන් වැනි පානවර්ග සකස් කර දීම, හෝ ඔවුන් කැමති පරිදි අාහාර සකස් කර දීම, දරුවාව කලට වේලාවට විභාග මධ්‍යස්ථානයට රැගෙන යාම, දරුවාගේ සිතට ‍ධෛර්යක් ඇති කිරීම ආදිය කළ යුතු ය. මේ දිනවල දරුවන්ට පවතින මානසික පීඩනය නිසා නිතර තරහ යාමට පුළුවන. එම තත්ත්වය මවුපියන් අවබෝධ කර ගෙන සිටිය යුතු ය.

සාමාන්‍ය පෙළ යනු මුළු ජීවිතයම නොවන බව මවුපියන් මැනවින් අවබෝධ කර ගත යුතු ය. දරුවාට ද එය අවබෝධ කර දිය යුතු ය. කිසිදු විටක මවුපියන්ගේ ආශාවන් වෙනුවෙන් දරුවන්ව පීඩාවට පත් නොකළ යුතු ය. සාමාන්‍ය පෙළ විභාගයට සම්මාන 03 සමඟ වැඩ 06 සමත් වී තිබීමෙන් උසස් පෙළට පිවිසීමට හැකි නිසා දරුවන්ට අනවශ්‍ය බිය ඇති නොකළ යුතු ය. ” අඩි 5 උස” පනින දරුවකු දෙස බලා තමන්ගේ දරුවට අඩි 5 උස පනින්න කියා කීම නොමනා වැඩකි. එසේ ප්‍රකාශ කිරීමෙන් අපහසුතාවයකට ලක් වෙන්නේ තමන්ගේ දරුවාම ය. ඒ අයුරින් සිතා බලා තමන්ගේ දරුවාගේ දක්ෂතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීමට යොමු කිරීමෙන් අපොස උසස් පෙළ ද පහසුවෙන් ජය ගැනීමට මඟ පාදා ගත හැකි ය.

සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාග ප්‍රතිඑල අතර කිසිදු සහසම්බන්ධතාවයක් නැත. සාමාන්‍ය පෙළ විභාගය හොදින් සමත් වී උසස් පෙළ අසාර්ථක වුණු දරුවන් ද, සාමාන්‍ය පෙළ සාමාන්‍ය අයුරින් සමත් වී උසස් පෙළ හොදින් සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත් සිසුන් ද සිටිති. තව ද ශිෂ්‍යත්වය අසමත් වුණු දරුවන්ද විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා සිටී. ඒ නිසාවෙන් මවුපියන් සාමාන්‍ය පෙළ විභාගයේදී ඕනෑවට වඩා තම දරුවන්ව මහන්සි කිරීම නොකළ යුතු ය. සාමාන්‍ය පෙළ දී වැදගත් වන්නේ සියලු දක්ෂතා දියුණු කර ගෙන උසස් පෙළට පැමිණීම ය.

“මෙච්චර කල් පාසල් පැමිණි දරුවන් වන අප මේ සාමාන්‍ය පෙළ විභාගය අනිවාර්යයෙන් ම සමත් වෙන්න ඕන, අපි මේක කොහොම හරි කරනවා ( yes I Can)” යන ආකල්පය හොඳින් සිතේ ධාරණය කර ගත යුතු ය. පාස් වෙයිද දන්නේ නෑ, ලියන්න පුළුවන් වෙයිද ලකුණු අඩු වෙයි ද ? යන අදහස් මුළුමනින්ම සිතෙන් ඉවත් කර ගත යුතු වේ. සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව සුබවාදී ආකල්පයෙන් කටයුතු කළහොත් පහසුවෙන් සමත් විය හැකි ය.

දිනමිණ පුවත්පතේ පළ වූ සම්පූර්ණ ලිපියකි. කාලීන හා ජාතික අවශ්‍යතාව මත සම්පූර්ණ ලිපියම උපුටා ගෙන ඇත – ප‍්‍රධාන සංස්කාරක

Recommended For You

About the Author: Editor