2019 ඡන්ද සිතියම බැලුවම UNPය ඒ ඊළමට කැමති වෙලා කියල දකුණෙ ජනතාව කියනවා – ප්‍රසන්න රණතුංග

පසුගිය ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය, අභිනව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය හමුවේ ඇති අභියෝග, එම අභියෝග ජයගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග, ඉදිරි මහ මැතිවරණය ආදිය පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙසේ අදහස් දක්වයි. 

 දේශපාලන පළිගැනීම් කළා කියල යහපාලනයේ නිලධාරින්ම කීවා 
 එජාපය ඊළමට කැමති වෙලා කියල ජනතාව කියනවා 
රටේ විනයක් හැදෙමින් තියෙනවා
ටි.එන්.ඒ. වැඩකළේ ජාත්‍යන්තරයේ වුවමනාවට 
අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ 
රටේ නීතිය ක්‍රියාත්මක කරන්න තරුණ ප්‍රජාව අපෙන් ඉල්ලුවා

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීම නිසා රටේ ඇතිවිය හැකි වෙනස්කම් ගැන ඔබ මොකද හිතන්නෙ?

ආරක්ෂක ලේකම් වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් හැටියටත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අභියෝග රැසක් ජයගත්තා. ඒ නිසාම එතුමා ජනාධිපති වෙච්ච ගමන් රටේ යම් විනයක් හැදෙමින් තියෙනවා. අපි කියන්නත් ඉස්සෙල්ල ජනතාව ස්වෙච්චාවෙන් රටේ කුණු සුද්දකරන්න පටන්ගත්තා. පරිසර පොලිසිය වැඩ පටන්ගත්තෙ අපි කියල නෙවෙයි. මේක තමයි වෙනස.

පෞද්ගලික ආයතන හැම පළාත් පාලන ආයතනයකින්ම කුණු අදින්න ටෙන්ඩර් අරගෙන තියෙනවා. ඔවුන් ඒ වැඩේ හරියට කරන්නෙ නැහැ. යහපාලන ආණ්ඩුව ඒව ගැන හරි අධීක්ෂණයක් කළේ නැහැ. ඒ හින්ද රටේ කුණු ප්‍රශ්නය වැඩි වුණා. දැන් පරිසර පොලිසිය ඒ අධීක්ෂණය කරනවා. ඒ වගේම රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියල තරුණ ප්‍රජාව අපෙන් ඉල්ලුවා. ජනතාව දැනුවත් කරල රටේ නීතිය මාසයක් ඇතුළත හදන වැඩේ පොලිසියට බාර දුන්නා.

රටේ ස්වේච්ඡාවෙන් විනයක් හැදෙමින් යනවා. පහුගිය කාලෙ දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච රාජ්‍ය නිලධාරීන්ට සාධාරණයක් ඉටුකරන්න, ජනතාවට සරල බදු ක්‍රමයක් හදන්න පළවෙනි කැබිනට් එකේදීම තීන්දු කළා. ජනාධිපතිවරයාගේ පරිවාර වාහන ගණන අඩුකළා. සේවකයන් 2500 , 250ට අඩු කළා. කැබිනට් එක 15 ක් කළා රාජ්‍ය නියෝජ්‍ය ඇමැති ගණන 40ක් කළා. කතාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් වැඩ පෙන්නුවා.

කුඩා ඇමැති මණ්ඩලයක් හදනව කිව්වත්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරුන් එක්ක ඇමැති මණ්ඩලය 53ක් වෙලා නේද?

ඩී.ඇස්.සේනානායක මහත්තයගෙන් පස්සෙ අඩුම කැබිනට් එකක් පත්කළේ මේ ආණ්ඩුව ඇමැතිවරු එකසිය ගණන් හිටපු ඉතිහාසයත් එක්ක ගත්තම 53 වැඩිගාණක් නෙවෙයි. මේ ඇතිවෙමින් තියෙන තත්ත්වයට ජනතා ප්‍රසාදයක් තියෙනවා.

දූෂණ චෝදනා තියෙන අයටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු අයටත් මැති ඇමැතිකම් දෙන්නෙ නැහැ කිව්වත්, ඒ පොරොන්දුව ඉටුකරන්න ආණ්ඩුව අපොහොසත් වුණා නේද?

චෝදනා කරපු පමණින් වැරදිකරුවෙක් නෙවෙයි. සී.අයි.ඩී.එක, අල්ලස් කොමිසමේ සභාපතිනිය එෆ්.සී.අයි.ඩී. ප්‍රධානිය වගේ යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය නිලධාරීන් කිව්වෙ දේශපාලන පළිගැනීම් කළා කියල පාඨලී, රාජිත, අනුරලගෙ නම් පිටින් ඒ අය ප්‍රසිද්ධ මාධ්‍යයේදී කිව්වා. බොරු චෝදනා හදල මිනිස්සුන්ට හිරිහැර කළා. අපිට අපේ පක්ෂය තුළ විනයක් හදා ගන්න පුළුවන්. සන්ධානයක් තුළ ඉන්නකොට දේශපාලන අර්බුදයකට නොයන තීන්දු ගන්න වෙනවා. පැරදිලා ජාතික ලැයිස්තුවෙන් එන අයට දෙන එකට මම විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම්කළ අයට දෙන්න වුණා.

උතුරු නැගෙනහිරෙන් දීපු දේශපාලන පණිවුඩය ගැන ඔබ මොකද කියන්නෙ?

ප්‍රභාකරන්ගෙ ඊළම ඉටුකර ගන්න, දේශපාලන කණ්ඩායමක් හැටියට දෙමළ ජාතික සන්ධානය වැඩ කරනවා. 2015 දීත් මේ අය ඒ විධියටම වැඩ කළා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ල ඒක කරන්න හැදුවා. 2019 ඡන්ද සිතියම බැලුවම එක්සත් ජාතික පක්ෂය ඒ ඊළමට කැමතිවෙලා කියල දකුණෙ ජනතාව කියනවා.

ජනාධිපතිවර‍යගෙ හොඳ වැඩවලට සහාය දෙන්න දෙමළ ජාතික සන්ධානය කැමැත්ත ප්‍රකාශ කළා නේද?

ඒක ඒ අය ක්‍රියාවෙන් ඔප්පුකරන්න ඕන. පහුගිය අවුරුදු හතරෙම විපක්ෂ නායකකම තියාගෙන අය වැයට පක්ෂ වුණා මන්ත්‍රීවරු ලක්ෂ ගණන්වලින් සල්ලි ගත්තා. ඒවට හරියන්න ඡන්දෙ දුන්නා. උතුරෙත් නැගෙනහිරත් දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුකළේ නැහැ. දෙමළ ජාතික සන්ධානය සිවාජිලිංගම්ට උදව්කළේ නැහැ. ජාත්‍යන්තර වුවමනාව ඉටුකරන්න ඒ අය වැඩ කළා.

විපක්ෂයෙ සිටියදී ඔබ ඇතුළු වත්මන් ආණ්ඩුවෙ සියලු දෙනා ජීවන වියදම ගැන ලොකු හඬක් නැඟුවා. මේවන විට භාණ්ඩ මිල ඉහළයමින් තියෙනවා ඒ ගැන මොකද කියන්නෙ?

පහුගිය කාලෙ රිෂාඩ් බදියුදින් ඇමැතිවරයාගෙ අමාත්‍යාංශයෙ මහා පරිමාණ දූෂණ වෙලා තියෙනවා. ස.තො.ස අක්‍රමිකතා හින්ද තමයි හාල් මිල ඉහළ ගියේ. හංගල තිබුණු හාල් අපි එළියට දැම්මා. ඒ එක්කම හාල් මිල අඩු වෙයි. කැබිනට් එකේදි භාණ්ඩ මිල වැඩිවීම ගැන තීන්දු රැසක් ගත්තා. ජීවන වියදම් කමිටුවක් පත්කළා. ඒ අනුව ඉදිරියේදී භාණ්ඩ මිල අඩුවෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත්, ඔහුගේ දේශපාලන වේදිකාවේත් ජනතාවට සහන දීමක් ගැන කතාකළා. මේ සහන දෙන්නෙ කොහොමද?

බදු සහන දීල ව්‍යාපාරික ප්‍රජාව නඟාසිටුවන්න පළමු කැබිනට් රැස්වීමේදීම තීන්දු කළා. රාජ්‍ය සේවකයන්ගෙන් බදු මුදල් අයකරන එක නවත්වන්නත් යෝජනා ගෙනාවා. රටේ මූල්‍ය තත්ත්වය බරපතළ කඩා වැටීමකට ලක්වෙලා. මගේ අමාත්‍යාංශය විතරක් ව්‍යාපෘති කරපුවගෙ රුපියල් මිලියන 10ක මුදලක් ගෙවන්න තියෙනවා. භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නෙ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙත් මහා පරිමාණ වංචා දූෂණ වෙලා.

යහපාලන ආණ්ඩුව බලය ගනිද්දි කියපු ප්‍රධාන සටන් පාඨය තමයි රාජපක්ෂ ආණ්ඩුවෙ වංචා දූෂණ කළ අයට දඬුවම් කරනව කියන එක. අද ඔබ යහපාලන ආණ්ඩුවෙ දූෂණ වංචා ගැන කතා කරනවා. වංචා දූෂණ කළ අය අල්ලල ඉවරකරන්නෙ කවදද?

අපේ පළමු රාජකාරිය ජනතාවට සහන සලසන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. හොරකම් හොයන්න වෙනම කමිටුවක් දාන්න කියල ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් අපි ඉල්ලුවා. යහපාලන ආණ්ඩුව කළා වගේ බොරු පැමිණිලි දාල මිනිසුන්ව හිරගෙවල්වල යවන්නෙ නැහැ. අපි කාගෙන්වත් පළිගන්නෙ නැහැ. වංචාවක් දූෂණයක් කරල තියෙනව නම් ඕන කෙනෙක්, ඒ සම්බන්ධව වගකියන්න අවශ්‍යයි.

හොරු අල්ලනවයි කියන සටන් පාඨය මේ ආණ්ඩුවෙ පාලන කාලයෙන් පස්සෙ ආයෙත් අහන්න ලැබෙන එකක් නැහැ කියලද ඔබ කියන්නෙ?

හොරු අල්ලනව කියන සටන් පාඨයක් අපි කිව්වෙ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය කිව්වෙ ආණ්ඩුවක් අරගෙන රට හදන හැටි. එහෙම කියල හොරුන්ට නිදැල්ලෙ ඉන්න දෙන්නෙත් නැහැ. ජනතාවට සහනදීම, ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරීමට ආර්ථිකය ගොඩගැනීමට රටේ දරුවන්ට නිසි අධ්‍යාපනය දීමට අපි ප්‍රමුඛතාවය දෙනවා. පාසල් දරුවන්ට ලබන වසරේ වව්චර් එක දෙන්නවත් යහපාලන ආණ්ඩුව වැඩපිළිවෙළක් හදල තිබුණෙ නැහැ.

කඩාවැටෙමින් තිබෙන සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කරන්න ඔබේ යෝජනා මොනවද?

පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනාවෙන් හිටපු ආණ්ඩුවට ගැලවීමක් නැහැ. ඔවුන් ඒකට වගකියන්න ඕන. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය තොරතුරු දැන දැනම ඒ ගැන වසංකළා. 2009 යුද්ධය අවසන් වෙන කොට සංචාරකයො ලංකාවට ආවෙ ලක්ෂ 4කටත් අඩුවෙන් 2015 වෙන කොට ලක්ෂ 12කට වඩා සංචාරකයො ආවා. අපි විදෙස් රටවල සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කළා. කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය ගොඩගන්න අපි වැඩ පිළිවෙළක් හැදුවෙ ඡන්දෙටත් ඉස්සෙල්ලා. අපි විපක්ෂයෙ ඉන්දැද්දිත් හෝටල් හිමියන්ට සහන දෙන්න කිව්වා. එදා ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩ කළේ නැහැ. ආයෝජකයො රටට එන එක නැවතුණා. 

ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් යහපාලන ආණ්ඩුව වැඩි බරක් යෙදෙව්වත් සාර්ථක ප්‍රතිඵල ලැබුණෙ නැහැ. එවැනි තත්ත්වයක ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම ගැන ඔබේ විශ්වාසය මොකක්ද?

පොළොවෙ පයගහල ඉන්න ආයෝජකයො ඒ අයට ගේන්න බැරි වුණා. වොක්ස්වැගන් වගේ හීන මවපු ඔවුන් ආයෝජකයො ගැන බොරු කිව්වා. ආ‍යෝජකයන් ආවම සතියක් දෙකක් යනකොට ඒ අයගෙ අවශ්‍යතා ඉටුකරන වැඩපිළිවෙළක් හදනවා. ආයෝජකයන් රස්තියාදුකරන වැඩපිළිවෙළ නතර කරනවා. උගත්, බුද්ධිමත් කණ්ඩායමක් පහුගිය කාලය පුරා මේ ගැන අධ්‍යයනය කළා. ඔවුන් හදපු වැඩපිළිවෙළ BOIඑකට දුන්නා.

අපනයනය අඩුවීම ලංකාවෙ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් අපනයනය වැඩි කරගන්න මොනවගේ වැඩපිළිවෙළක්ද තියෙන්නෙ?

අපි ඒ ගැන මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරනවා. මේ රටේ නිෂ්පාදකයන්ව අනිවාර්යයෙන්ම දිරිගන්වන්න ඕන. ආ‍යෝජකයන්ට බදු සහන දෙනවා. වැඩිපුර නිෂ්පාදනය කරන අයට වැඩිපුර බදු සහන දෙනවා.

සුළුතර ආණ්ඩුවකින් ඔබ කියන සියල්ල කරන්න පුළුවන් වෙයිද?

අපි දැන් සැලසුම් කරන්නෙ දිගුකාලීන වැඩපිළිවෙළක්. මාස 04කින් මේ සියල්ල කරන්න බැහැ. මේ ආණ්ඩුවෙන් ජනතාව එවැන්නක් බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැ. අමාත්‍යාංශය දීපු දවසෙ ඉඳන් අපි වැඩ කළා. මගෙන් පස්සෙ කවුරු ආවත් මේ වැඩපිළිවෙළ ඉදිරියට යයි.

කඩිනමින් මැතිවරණයකට යායුතු බව අගමැතිවරයත් කියල තිබුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

අපිට සුළුතරයක් තියාගෙන ආණ්ඩුවක් ගෙනයන්න බැහැ. පෙබරවාරි 28න් පස්සෙ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. ඒ නිසා කඩිනම් මැතිවරණයකට යා යුතුයි.

ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්නෙ කොහොමද?

ජනාධිපතිවරණයට ගියෙත් අපි සියලුදෙනා එකතුවෙච්ච සන්ධානයකින්. පාර්ලිමේන්තු මැතිවරණයකටත් සන්ධානගත වෙලා පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වෙන්න ඕන. ජනාධිපතිවරණ ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක් ගන්න අපි හැමෝම මහන්සිවෙන්න අවශ්‍යයි. අපිට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් අවශ්‍යයි. උතුරෙන් එන්නෙ එල්.ටී.ටී.ඊ හිතවාදී මන්ත්‍රීවරු. ඒ අය එන්නෙ දෙමළ ජාතික සන්ධානයෙන්. ‘එක නීතියක් එක රටක්’ සංකල්පයට අනුව රට ඉදිරියට ගෙනියන්න අපිට බලය දෙන්න කියලයි මම ඉල්ලන්නෙ.

Recommended For You

About the Author: Editor