‘Royal Park චූදිතයාට’ රටින් පිටවීම වළක්වන නියෝගයක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ ‘ජනපති සමාව’ ප්‍රදානය කරමින් නිදහස් කරනු ලැබූ ‘රෝයල් පාර්ක් ඝාතන නඩුවේ’ ප්‍රධාන චුදිතයාව සිටි ජුඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා රටින් පිටවීම වළක්වාලන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (29) නිකුත් කළා.

විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමට නියෝග කරන්නැයි ඉල්ලා ‘කාන්තා මාධ්‍ය එකමුතුව’ නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසු මෙම නියෝග නිකුත් කළා.

බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුණා. මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටියේ අදාළ පුද්ගලයා ජනාධිපති සමාව ලැබ නිදහස් කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවයි.

මෙම චූදිතයාව නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර බොහෝ පිරිසක් එය සැලකුවේ ජනපතිවරයාට ලැබී ඇති බලතල අපයෝජනය කිරීමක් ලෙසයි.

එයට ප‍්‍රතිචාර දක්වමින් ජනපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අතුරලියේ රතන භික්ෂුව සහ තවත් ආගමික නායකයින්ගේ ඉල්ලීම මත ජනපතිවරයා අදාළ තීන්දුව ගත් බවයි.

Recommended For You

About the Author: Editor