Agriculture Research Review: ලියාපදිංචිය නැතිව ශාකසාර පළිබෝධනාශක අලෙවිය තහනම්: ඇත්ත හේතු මෙන්න…

විධිමත් ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ එකම එක දේශීය ජෛව පළිබෝධනාශකයක් පමණයි

යුද්ධවලට පවා තහනම් ‘ජීව අවි’ ගොවිතැනේදී ලිහිල් කරන්න බෑ

විදෙස් බැක්ටීරියා හා දිලීර මෙරටට ගෙන්වීමට අවසර දෙන්නෙත් නෑ

වෙන රටක අහිංසක බැක්ටීරියාවෙක් මෙරටදී ව්‍යසනකාරී විය හැකියි

අවම අවශ්‍යතාවයවත් සපුරාලන්න දේශීය නිෂ්පාදකයින් අසමත්

”ශාකසාරය ඇසුරෙන් ගොවිතැන රැකගන්න උනන්දු වෙන්නන් කණ්ඩායමක් වශයෙන් හෝ එකමුතුවී, නීතියට ගැලපෙන අවම අවශ්‍යතාවයවත් ඉටුකර ජෛව පළිබෝධනාශක කීපයකටවත් ලයිසම ගන්නට උනන්දු වෙනවානම් අනේ වාසනාවන්! අප එසේ කියන්නේ මේ වනතුරා රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙතින් විධිමත් ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ එකම එක දේශීය ජෛව පළිබෝධනාශකයක් බැවින්ය.!

ජෝන් ගටිටු යනු කෙන්යාවේ අති රිවර් නමැති නගරය අසල ගමක වෙසෙන ගොවි තරුණයෙකි. ඔහුගේ ගොවිපොළේ ගබඩා පුරවා ඇති සුදුළූණු, සැර මිරිස් වර්ග, ලූණු වැනි දෑ පිළිබඳව පසුගියදා චීනයේ සින්හුවා පුවත් ඒජන්සිය මගින් විශේෂ වාර්තාවක් පළකර තිබුනේය.

ගොවියෙකුගේ ගබඩාවක මේවා තිබීමේ අරුමය කුමක්ද? එය පුවත් මවන්නක් වී තිබුනේ ගටිටු විසින් මේවා රැස්කරගෙන තිබුනේ විකුණා මුදල් කරන්නටවත්, නැවත ගොවිපොළේ සිටුවන්නටවත් නොව, පළිබෝධනාශක නිපදවන්නට වීම නිසාය.

“මම කලකට ඉහතදී මේ ද්‍රව්‍ය භාවිතය ගැන පුහුණුවකට පවා ගිහින් තියෙනවා. ඒත් එදා ඒ දැනුම නිකරුනේ අතහැර දැම්මා. කෘතිම පළිබෝධනාශක කඩෙන් අරගෙන ගහන එක පහසුයිනේ, වතුර දැම්මා, ගැහුවා. ඒත් දැන් මිල වැඩියි. මේ ද්‍රව්‍ය යොදාගෙන මගේ පළිබෝධනාශක මම දැන් ගෙදරම හදනවා. ගමේ අයත් මාව අනුගමනය කරන්න පුරුදු වෙලා. මේවා විතරක් නෙවෙයි, කෝමාරිකා, වල්සූරියකාන්ත වැනි දේත් අපි භාවිතා කරනවා.”

ගටිටු ගොවි මහතා පුවත් වාර්තාකරුට පවසා ඇත්තේ එසේය. කෙන්යානු රජය විසින් පසුගිය අගෝස්තු මාසයේ සිට කෘතිම පළිබෝධනාශක වෙත 16% ක අතිරේක වැට් බද්දක් පනවා තිබීම මේ හදිසි මිල වැඩිවීමට හේතුව වේ.

“ලූණු ගෙඩි අටක් පෙති කපල අරගෙන ඒ ටික මිරිස් කැබලි කිලෝ එකකට දැමූ විනාකිරි ටිකකුත් එක්ක මිශ්‍ර කරනවා. වතුර ලීටරයක් දාල විනාඩි 20 ක් විතර රත් කරන්න ඕනෑ. මෙයට වතුර ලීටර් 20 ක් දාල තනුක කරගෙන වගාවට ඉහිනවා. ප්‍රතිපල ඉතා සාර්ථකයි. පසුගිය සැප්තැම්බරයේ සිට මම මිල වැඩි කෘමිනාශක ගෙනාවේ නෑ, මේක තමයි පාවිච්චි කෙරුවේ.”

මේ ගටිටු ගේ නිර්දේශයයි.

එය මෙහි ලියුවේ අපගේ නිර්දේශයක් ලෙස ඔබගේ වගාවට ඉසින්නට උපදෙසක් වශයෙන් නොවේ. ලොව පුරා සිදුවෙන දහසක් දේ අතරින් තවත් එකක් ලෙස ඔබව දැනුවත් කරන්නටය. දුප්පත් අප්‍රිකානු ගොවියා වසවිස බෝතලයේ මිල වැඩිකම හේතුවක් කරගෙන පරිසර හිතකාමී ගොවිතැනක් වෙතට තල්ලුවී ගොස් ඇති බව පෙනෙන්නට ඇත.

ඔහු නොදැන සිටියාට දමාගැසූ ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක් බිම වැටී සිටී. එකක් වන්නේ තම බෝගයේ නිෂ්පාදන වියදම මේ නිසා අඩුවීමයි. අනෙක නම් වසවිස නැති ආහාරයයි.

වසවිස විරෝධී ‘ළිං මැඩියන්ගෙන්’ බැට කෑම

කෘතිම පළිබෝධනාශකයන් දැඩි යදමින් බැඳදමා පරිහරණ සීමා පනවත්දීත්, ඉස්ගෙඩියෙක් තරමටවත් ලිඳේ ගැඹුර නොදන්නා පිරිසක් වෙතින්, වසවිස පතුරවනවා යයි බඩපුරා බැනුම් අසන්නේ  පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාය.

ඒ අස්සේ දැනගන්නට ලැබුනේ කෙන්යාවේ ගටිටුලා මෙන් අපේ ගමේ මුදියන්සේලා හදන හා විකුණන ගොඩ බෙහෙත් වලටත් රෙජිස්ට්‍රාර්වරයා විසින් වෙට්ටු දමන බවකි.

වම්බොටු වැනි එළවලු වර්ගයන්හි පනුවන් හලන්නට ශාකසාර ඇසුරෙන් බෙහෙතක් සාදාගත් කළුතර පැත්තේ ‘ගටිටු’ කෙනෙක්, රෙජිස්ට්‍රාර්ටගේ වෙට්ටුවෙන් අන්ද මන්ද වී, ඔහුට එරෙහිව හිත ඇතුලතින් වස්කවි ගායනා කරන්නේ තම නිෂ්පාදනයට අලෙවි ලයිසම දෙන්නේ නැතැයි කියමින්ය.

මේ අවනඩුවට උත්තර සොයනුවස් එතුමන්ගේ ඔපීසියේ තවත් කාමරයකට පසුගියදා මා එබී බැලුවෙමි. මා එසේ විපරම් කර බැලුවේ, ස්වභාවික පළිබෝධනාශක වලටත් පදක්කම් දෙන නිලධාරි පැලැන්තියක් ඒ කාමරයේ සිටින බවට ලැබුණු ආරංචියක් නිසාවෙනි. කඩදාසි ගොන්නක පිටු අතර හිරවුණු කාන්තාවන් දෙදෙනෙක් කාමරය තුල සිටී.

සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ උපේන්ද්‍රා අබේසිංහ ප්‍රධානියාය. කෘෂිකර්ම උපදේශිකා කුමාරි කල්පශිකා සහායිකාව විය. රෙජිස්ට්‍රාර්වරයා විසින් මේ දෙපලට පවරා ඇති රාජකාරිය වන්නේ රට තුල භාවිතාවෙන ජෛව පළිබෝධනාශක නියාමනයයි.

ජෛව පළිබෝධනාශක නියාමනය

‘කැලේ නහන්න කැලේම ගහක් ඕනැලු’ යනුවෙන් අප අතර ඇති යෙදුම මතකයට නැගේ. පරිසරයේ ජීවත්වෙන සියලුම ජීවීන්ට විනකරන සතුරන් පරිසරයේම ජීවත්වන බව මිනිසා විසින් ඈත අතීතයේ සිටම දැන හඳුනාගෙන සිටි බවට මේ යෙදුම හොඳ සාක්ෂියකි. බෝග වගාවන්ට විනකරන පළිබෝධකයින්ටද මේ ධර්මතාවයේ වෙනසක් නැත.

කුඹුරේ වෙසෙන සතුන්ව අහුලා කන්නට එන කුරුල්ලන්ගේ නවාතැන් පහසුව උදෙසා ගොවියා විසින් ලියැද්ද මැද පොල්පිති සිටවූවේත්, පිරිමි මඩු ගසේ පූදින විශාල ‘මඩු මල’ කෑලිවලට කපා කෝටුවල අමුණා නියර වල සිටවූවේත් ස්වභාවික පළිබෝධ පාලනය ගැන ගොවියා හොඳහැටි දැනුවත්ව සිටි නිසාමය. ‘මඩු මල’ නිපදවන දුමාරයක් වැනි පරාග වලින් හමනා ගඳ, මැස්සන් පලවා හරිනා බව ගම්මුන්ගේ විශ්වාසය විය. මෙවැනි සාම්ප්‍රදායික ඥාන සම්භාරයක් ඇති අපට කුමකටද රෙජිස්ට්‍රාර්වරයාගේ නියාමනයක්? මගේ කුතුහලයට හේතුව එයයි.

රෙජිස්ට්‍රාර්වරයාගේ පැත්තට කතා කරනවානම් මෙම බෙහෙත් වලට රකුසු වෙස් පළඳවන්නටද බැරිකමක් නැත. ජෛව පළිබෝධනාශක වලට ශාකසාර සහ ජීවීන් යන දෙකොට්ඨාශයම අයත්වේ. ජීවීන් වශයෙන් සැලකෙන බැක්ටීරියා, දිලීර වැනි දෑ නම් ඇත්තටම බොහොම භයානක වේ. වෙනත් රටකදී සාමාන්‍ය පරිදි හැසුරුනද, මෙරට පරිසර තත්වයන්හිදී ඒවා ව්‍යසනකාරී වියහැකි බැවිනි. මේවා ජීව අවි වේ.

එවැන්නක් ඇසුරෙන් පළිබෝධකයින් නැසුමට මේ තරමින්වත් අවසරය තිබුනත්, මිනිසාට එරෙහිව නම් ජීව අවි භාවිතාකරන්නට තහනම පැනවුවේ 1925 දී තරම් ඈතකදී ජිනීවා නුවරදී ඇතිකරගත් සම්මුතියකට අනුවය. සුද්දන් විසින් එම සම්මුතිය තවත් බලාත්මක කරමින් 1972 අප්‍රේල් 10 වෙනිදා ජීව අවි භාවිතය පමණක් නොව නිපදවීමට පවා එරෙහිව සංශෝධන ඉදිරිපත් කරමින් රටවල් 22 ක එකඟත්වයෙන් එම සංශෝධන ක්‍රියාවට නැංවීමද සිදුකරන ලදී. ඒ 1975 මාර්තු 26 වෙනිදාය. අද වනවිට රාජ්‍යයන් 183 ක් මේ සඳහා එකඟවී තිබේ. එසේනම් ජීව අවි යනු එසේමෙසේ ඒවා වන්නට බැරිය. නොදැන ගියොත් අතරමග කීවා සේ, දැනගෙන ගමන යන්නට මග පෙන්වීම සඳහා රෙජිස්ට්‍රාර්වරයා මැදිහත්වන්නට ඇතැයි යනුවෙන් හිත හදාගනිමින් කාන්තා දෙපල හා කතාවට පිවිසියෙමි.          

“වසවිස නැති ආහාර කතාව කරලියට පැමිණීමත් සමගම ජෛව පළිබෝධනාශක කෙරෙහි රටේ ජනතාව වැඩියෙන් උනන්දු වෙනවා. විශේෂයෙන්ම කාබණික ගොවිතැනේදී මේවාට ලොකු ඉල්ලුමක් තිබෙනවා. මේවත් හිතුමනාපයට නිපදවන්න හා අලෙවි කරන්න බෑ. පළිබෝධනාශක පනත යටතේ ලියාපදිංචි විය යුතුයි.”

පළිබෝධනාශක නීතිය ක‍්‍රියාත්මක වන හැටි

උපේන්ද්‍රා මහත්මිය කරගසා ඇත්තේ මෙම රාජකාරියටය. ඇය සඳහන් කරන ආකාරයට පළිබෝධනාශකයක් ලෙස භාවිතා කරන මොනයම් දෙයක්වත්, ඒවා ගෙදරදොරේ සෑදුවත්, පිටරටකින් ගෙනාවත්, ශාකසාර වුවත් කොටින්ම කියනවානම් අද්භූත බලවේගයක් විසින් මංජුසාවක බහා තම නිවසට ගෙනවිත් දුන්නා කියූවත්, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය රහිතව තවත් පාර්ශවයකට ලබාදිය නොහැකිය. එය රෙජිස්ට්‍රාර් විසින් පැනවූ නීතියක් නොව පනත තුලම අන්තර්ගත වගන්තියක් ප්‍රකාරව ගත් තීරණයකි. එවැනි සීමා පනවා ඇත්තේද අපේම ආරක්ෂාවට බව සමාජය තේරුම් ගත යුතුය.

කෙන්යාවේ ගටිටු කල පරිද්දෙන්, හිතෙන හිතෙන ද්‍රව්‍යයන් හැකි පමණින් එකතුකර අඹරා, තම්බා වගාවට ඉස සාර්ථක පළිබෝධ පාලනයක් සිදුකල පමණින්, එහි ඉතුරුම් හෝ අවශේෂ හරහා  ඇතිවිය හැකි  සෞඛ්‍යය ප්‍රශ්ණ ගැනද සමාජයට එතරම් අවබෝධයක් නැත. අනෙක තනි ශාක නිස්සාරකයක් මෙන් නොව නිස්සාරක කීපයක් එකට මිශ්‍රකර යමක් සාදන විට ඒවා අතර යම් ප්‍රතික්‍රියා සිදුවී අහිතකර දෑ මිශ්‍රණය තුලම නිර්මානය වීමටද හැකිය. ඒ නිසා ජෛව පළිබෝධනාශක වුවද නියාමනයකට යටත් කලයුතු බවට පනත මගින් නීති පනවා තිබීම සාධාරණ පියවරකි.

ශාක තුලද මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය ඕනෑතරම් තිබේ. ඉතා සුළු සාන්ද්‍රණයකින් ශාක දේහය තුල පවතිද්දී අහිතර නොවන දෙයක්, මිනිසාගේ ක්‍රියාකාරිත්වය මත සාන්ද්‍ර කොට භාවිතා කිරීමෙන් පසු, ඉන් කොටසක් ශරීර ගතවේනම් ඇතැම්විට හානිකර වන්නටද පුළුවන. ඒ නිසා ජෛව පළිබෝධනාශකයක් හමුවේ සතෙක් මැරී වැටුණු පලියට, බෝගයට වැළඳී තිබුණු පුස් රෝගයක් මැකීගිය නිසාම, සියලු ජෛව පළිබෝධනාෂකයන් වෙත ඇස් වසාගෙන සුදු පිරුවට ඇන්දවීමට කටයුතු කිරීම ප්‍රඥාගෝචර නොවේ. ලොව පුරා පවතින රාජ්‍යයන් හා සංවිධාන, තම පළිබෝධනාශක පනත්වල වගන්ති එහා මෙහා කර නැවත සකස්කරමින්, ජෛව පළිබෝධනාශක ලියාපදිංචියටත් ඉඩ ප්‍රස්තා සලසාදී ඇත්තේ මේ නිසාවෙනි.

ජෛව පළිබෝධනාශක ලෙස භාවිතා කල හැකි ද්‍රව්‍ය දෙවර්ගයක් තිබුනත් ජීවීන් ආනයනයට ඉඩ නොලැබෙන නිසා ආනයනකරුවන් ශාකසාර සීමාව තුල රැඳී සිටිය යුතුවේ. තම ආනයනික ද්‍රව්‍ය සඳහා ලියාපදිංචිය ලබාගැනීමට ඔවුන් අනුගමනය කල යුත්තේ කෘතිම පළිබෝධනාශකයක් වෙනුවෙන්වූ ක්‍රමවේදයමය. ඒ ගැන පෙර ලිපියකදී විස්තරාත්මකව සඳහන් කල බැවින් මෙවර අවධානය යොමුකරන්නේ දේශීයව නිපදවන්නා ශාකසාරයන් උදෙසා අලෙවි අනුමැතිය ලබාගන්නා පිළිවෙල ගැනයි.

“දේශීයව සාදන ජෛව පළිබෝධනාශක ලියාපදිංචිය ලබාදීම සඳහා අපි මූලික අවශ්‍යතාවයක් වශයෙන් ලේඛණ තුනක් ඉල්ලනවා. එකක් තමයි මේ නිෂ්පාදනයේ අන්තර්ගතවන්නේ අහවල් සංඝටක බවට පිළිගත් විද්‍යාගාරයක් මගින් නිකුත්කළ සහතිකය. මෙවැන්නක් විශ්ලේෂණය කළහැකි අනුමත විද්‍යාගාර ලංකාවේ තියෙන්නේ කීපයයි. ශාකසාර මිශ්‍රණයක් අන්තර්ගත කරලා යමක් හදපු කෙනෙක්, එහි අන්තර්ගතය වෙන වෙනම පරීක්ෂා කරගන්න බැරුව මෙතනදී හිරවෙනවා. මොකද මිශ්‍රනයක අන්තර්ගත දේ වෙන වෙනම හඳුනාගැනීමට කරන පරීක්ෂණ සංකීර්ණයි. ඒවා කරන එක පහසු නෑ. ඒත් එක ද්‍රව්‍යයක් අඩංගු කරලා යමක් හැදුවොත් මේ බාධකය ජයගැනුම පහසුයි”

ගොඩ වෙද්දුන්ට වරදින තැන මෙන්න

සාම්ප්‍රදායික වට්ටෝරුවක් ඇසුරෙන් ජෛව පළිබෝධනාශකයක් සාදාගෙන බිස්නස් එකට ලයිසම ගන්න සිතා රෙජිස්ට්‍රාර් කාර්යාලයට පැමිණි අයෙක් බලාපොරොත්තු සුන්කරගෙන, උපේන්ද්‍රාටත් දෙතුන් වරක් ඔරවා ආපසු යන්න හැරෙන්නේ මේ හේතුවෙනි. ඒ රැවුම් එරවුම් දැන් ඇයගේ රාජකාරි සගයින්ය.

බෝතලයේ ඇතිදෑ මේවායයි ලේබලයේ ලියා තිබුනාට බලපත්‍රය  දීම සඳහා එම විස්තරය ප්‍රමාණවත් නොවේ. ඒ සමග සැපයිය යුතු තවත් අවශ්‍යතාවයක් වන්නේ අදාළ නිෂ්පාදනය වාණිජ මට්ටමෙන් සිදුකරනා විට අදාළ අමුද්‍රව්‍යයන් ලබාගන්නා ක්‍රමවේදය පිලිබඳ ලිපියකි.

වදකහ යොදා යමක් හදනවා යයි සිතමු. එසේනම් විශාල පරිමාණයෙන් වදකහ ලබාගන්නේ ලංකාවේ කුමන පලාතක ඇති කාගේ වගාවෙන්ද යන්න අයදුම්කරු ප්‍රකාශ කල යුතුය. ඒ සමග ඔහු දිවුරුම් ප්‍රකාශයක්ද දිය යුතුවේ. එහි සඳහන් විය යුත්තේ මේ සඳහන් කල ද්‍රව්‍ය පමණක්ම යොදමින් අදාළ නිෂ්පාදනය වෙළඳපොලට යොමුකරන බවයි.

අවසාන වශයෙන් අදාළ නිෂ්පාදනයේ ජෛව සපලතාවයේ ආයුකාලය කොපමණ කලක් පවතීද යන්න පිළිබඳවත් විද්‍යාගාර පරීක්ෂණ වාර්තාවක් ලබාදිය යුතුවේ. කොම්පැනියෙන් රැගෙන ආ පෙට්ටියේ පැකින් කඩා වෙළඳසැලේ රාක්කය මත බෝතල් අසුරන විටත්, සමහර බෝතල් වල දියරයේ සැර බාල වී ඇත්නම් සිදුවන්නේ දේශීයත්වයට මුවාවී පාරිභෝගිකයා රැවටීමකි.

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් වෙනුවට ‘නීතිමය අවශ්‍යතාව’

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකට අමතරව තවත් ටිකක් ඉල්ලා සිටිනා හොර වෙදෙකුගේ තත්වයට, රෙජිස්ට්‍රාර්වරයා පත්වන්නේ ආරම්භයේදීම ඔහු ඉල්ලන මේ අවශ්‍යතාවයන් නිසා බව දැන් පැහැදිලිය. අනෙක් අවශ්‍යතා ත්‍රිත්වය කෙසේ වෙතත් මිශ්‍රණයේ අන්තර්ගතය විද්‍යාත්මකව තහවුරු කරන මෙන් ඉල්ලන අවශ්‍යතාවය හමුවේ බහුතරය අසරණ වීම නම් අනිවාර්යයෙන්ම සිදුවන්නකි.

ඉහත දැක්වූ කළුතර නිෂ්පාදකයාද අසමත් වූයේ මෙම වාර්තාව ඉදිරිපත් කිරීමටයි. එහෙත් නීතිය එයයි. එය සැමට සාධාරණය. අපේ සාම්ප්‍රදායික ගොවියා පරිසරයේ ලියා ඇති දේ මනාව කියවා බලමින් තම වගාව රැකගැනීමට වටපිටාවෙන්ම ද්‍රව්‍ය උකහා ගත් බව සැබෑවකි. ඉදිරියටත් ගොවියාට තනි තනිව එය කල හැකිනම් දාහෙන් සම්පතකි. ලියාපදිංචි අංක, විද්‍යාගාර වාර්තා තිබේදැයි බලන්නට කෘෂිකර්ම බලධාරීන් එළවලු කොටුවේ අහුමුලු පිරික්සන්නට එන්නේද නැත. රසායනික වස දියර යොදා ඇතිදැයි කනස්සල්ලක් පාරිභෝගිකයාට ඇතිවන්නේද නැත. එසේ වුවත් මෙවැනි දෑ වානිජකරණය වීමේදී විමසිලිමත්වීම උදෙසා නීතිය අතටගෙන ඇති රෙජිස්ට්‍රාර්වරයා සමගවත්, කාර්යාලයේ එලිපත්තේම හිඳ, කඩදාසි ඉල්ලන උපේන්ද්‍රා මහත්මිය සමගවත් කවුරුන් හෝ උරණ වීම අසාධාරණය.

“අවශ්‍යතා සපුරාලන්න බැරුව තමයි බොහොම දෙනෙක් ආපසු යන්නේ. සමහරු කියලත් යනවා රසායනික පළිබෝධනාශක වලටනම් අත දිගහැරලා බලපත්‍ර දෙනවා, අපිට තමා මේ සේරෝම නීති කියලා. ඇත්තටම කියනවානම් කෘතිම පළිබෝධනාශක වලට නීති වැඩියි. මේ අයව අපි හැකිතරමට ලිහිල් කරලයි තියෙන්නේ. හැබැයි අව්‍යාජ නිෂ්පාදනයක් වෙළඳපොළට දාන්න නම් මේ ටිකවත් ඕනෑම වෙනවා”

ව්‍යාපාරිකයා පැන ගත යුතු කඩුළු පිට කඩුළු

මැදිහත්ව සිතා බලන්නෙකුට උපේන්ද්‍රාගේ කතාව සාධාරණ යයි සිතේවි. උක්ත අවශ්‍යතාවයන් සියල්ල නිෂ්පාදකයා විසින් සපුරාලනු ලැබුවහොත්, ඇය විසින් අදාළ ලේඛණ ගොනුව ‘දේශීය පළිබෝධනාශක ඇගයීමේ තාක්ෂණික උප කමිටුව’ වෙතට ඉදිරිපත් කරනු ලබයි. ඒ අය විසින් බෙහෙතේ අන්තර්ගත ද්‍රව්‍යයන්හි ගුණාගුණ දැනට ලෝකයේ ඇති දැනුම ඇසුරෙන් විමසා බලා සුදුසුනම්, දේශීය සපලතා අධ්‍යයනයක් සඳහා නිර්දේශ කරයි.

එම පර්යේෂණය රජයේ පිළිගත් පර්යේෂණායතනයක් වෙතට යොමුකරන්නේද අපගේ කතානායිකාව විසින්මය. එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂනායතනයක් මෙන්ම තේ පර්යේෂණායතනය වැනි බාහිර ආයතනයක් වුවද විය හැකිය. අයදුම්කරුගෙන් මුදල් අය නොකර එම පරීක්ෂණ රජයේ වියදමින්ම සිදුකරන්නේ දේශීය ව්‍යාපාරිකයා දිරිමත් කරනු පිණිස වන අතර සපලතා ප්‍රතිපල සාර්ථක නම් නිෂ්පාදකයාට බලපත්‍රය ලැබේ. දැන් ඔහුට වසරක කාලයක් තුල තම නිෂ්පාදනය වෙළඳපොළෙහි අලෙවිකළ හැකිය. මේ බාධක දිවීමෙදී ව්‍යාපාරිකයා පසුකල යුතු ඊළඟ කඩුල්ල ගැන උපේන්ද්‍රා මහත්මිය මෙසේ කියයි.

“මේ බලපත්‍රය වලංගු වෙන්නේ අවුරුද්දයි. ඒ කාලය ඇතුලත නිෂ්පාදකයා තම නිෂ්පාදනය ගැන විෂ වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කෙරුවොත් තමයි වලංගු කාලය තව වසර දෙකකට දිගු කරන්නේ. එතකොට සාමාන්‍ය ආකාරයට වසර තුනක බලපත්‍රය ලැබෙනවා. විෂ වාර්තාව ගන්න පුළුවන් ලඟම රට තමයි ඉන්දියාව. ඒ වැඩේට තරමක වියදමක් යනවා. ඒ නිසා තමයි වසරක කාලයක් එයාට ව්‍යාපාරය කරගෙන ගිහිල්ල, ආර්ථිකය සුදුසු පරිදි ශක්තිමත් කරගන්න අපි අවුරුද්දකටවත් බලපත්‍රයක් දෙන්නේ.”

ව්‍යාජ නිෂ්පාදන වෙළෙදපොළට එන්නෙම නැද්ද ?

මා හට ඇතිවූ ගැටලුව වන්නේ විදෙස් රටකට යවා විස අධ්‍යයනය කලපසු වසරක් පමණ ගතවී හානිකර විසක් අදාළ නිෂ්පාදනයේ ඇතිබව වාර්තා වුවත්, ඒ වනවිටත් වසරක කාලයක් තිස්සේ බලපත්‍රලාභී නිෂ්පාදනයක් ලෙස මෙම ද්‍රව්‍ය රට පුරා අලෙවිකර තිබෙනවා නේද යන්නයි. එවන් අවදානමකට අවස්ථාවක් නැති බව උපේන්ද්‍රාගේ අදහසයි. ඉහතකී අනු කමිටුව වෙතට අදාළ මූලික වාර්තා ඉදිරිපත්කල පසු, එහි සාමාජිකයින් විසින් නිපැයුමේ අන්තර්ගත සංයෝගයන් පිළිබඳව මූලික අධ්‍යයනයක් කරන බවත්, රසායනිකව විෂ සහිත බවට සැකයක් ඇත්තේනම්, සපලතා අධ්‍යයනයක් සඳහාවත් එය ඉදිරියට නොයනු ඇති බවත් ඇය පෙන්වා දෙයි. විෂ වාර්තාවක් වැඩිදුරටත් ගෙන්වාගනු ලබන්නේ ආරක්‍ෂිත බව තවත් සියුම් ලෙස තහවුරු කර ගැනීම සඳහාය.

17 වෙනි ශත වර්ෂය තරම් ඈත අතීතයේදී මිදි වගාවේ කෘමීන් මර්දනය කිරීම සඳහා දුම්කොළ සාරයේ ඇති නිකොටින් යොදාගත් බවට සාක්ෂි පවතී. අද වනවිට නිකොටින් වැනි දෑ භාවිතයට අනුමැතියක් නොලැබුනත්, එවන් ඈත ඉතිහාසයකට හිමිකම් කියන ජෛව පළිබෝධනාශක පරිහරණය අවතක්සේරු කලයුත්තක්ද නොවේ. මේවා හතර අතේ වෙසෙනා සියලු සතුන් නොමරා ඉලක්කගත සතුන් පමණක් වනසන සංවේදී කෘමිනාශක වනවා පමණක් නොව පරිසරයේදී පහසුවෙන් වියෝජනය වීමද සිදුවේ.

ඩොලර් බිලියන 6.6 ක වෙළෙදපොළක්

භාවිතය සකසුරුවම්ව හසුරුවාගන්නේ නම් කෘෂි නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයද ඉහලට ඔසවා තැබීමට සමත් සංයෝග පන්තියකි. 15% ක පමණ වාර්ෂික වර්ධනයක්ද සමගින් ඇමරිකානු ඩොලර් බිලියන 6.6 කට එහා ගිය, ලොවපුරා පැතිරුණ ව්‍යාපාරයක් බවට 2020 දීත්වෙනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි.

ගොවිතැනේ ආරක්‍ෂාවට කෘතිම පලිබෝධනාශක නොයොදා, ජෛව පළිබෝධනාශක වලින් පමණක් ගමන යන්නට අදහස් පළවුවත්, එය කළහැකි නම්, මේවා බහුලව භාවිතාවන ඉන්දියාව වැනි රටවල් මේ වන විටත් ගේම ගසා හමාරය. ඔවුන්ද තවමත් උග්‍ර විස සහිත නාශක දියරයන් පවා කිසිදු හිරිකිතයක් නැතිව භාවිතා කරමින් සිටී.

වසවිස ගැන සාටෝපකාරී පුහු තර්ක නැතිව අවංක වුණා නම්

මෙරට වෙසෙනා වසවිසට අකමැති ගමේ කෑම ලෝලීන් ඉන්දියාවෙන් ගෙනෙන අල ලූණු පමණක් නොව කුරහන් හා උඳු අඹරා සාදන හැලප, තෝසේ ආදිය වුවත් මහත් ආඩම්බරයෙන් ගිල දමති. අදාළ අවශ්‍යතා සපුරාලිය නොහැකි ශාක සාර පළිබෝධනාශක නිෂ්පාදකයෙක්, අවමයෙන් නීති පොත පෙරලන රෙජිස්ට්‍රාර්ටවරයාට පවා ඒ අතරතුරදී, තැන නොතැන නොබලා අවලාද නගති.

ශාකසාරය ඇසුරෙන් ගොවිතැන රැකගන්න උනන්දු වෙන්නන් කණ්ඩායමක් වශයෙන් හෝ එකමුතුවී, නීතියට ගැලපෙන අවම අවශ්‍යතාවයවත් ඉටුකර ජෛව පළිබෝධනාශක කීපයකටවත් ලයිසම ගන්නට උනන්දු වෙනවානම් අනේ වාසනාවන්! අප එසේ කියන්නේ මේ වනතුරා රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙතින් විධිමත් ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ එකම එක දේශීය ජෛව පළිබෝධනාශකයක් බැවින්ය.!

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor