අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟය : හිටපු ඇමැති මගේ කට වැහුවත් ‘නව අමාත්‍යවරිය උපරිම සහාය’ දෙනවා – රෝහල් අධ්‍යක්ෂ

මහරගම අපේක්ෂා රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසනවා.

මහරගම අපේක්ෂා රෝහලේ පවතින බව කියන අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ හිගයේ වත්මන් තත්ත්වය පිළබදව lankaepress.com කළ විමසීමකට පිළිතුරු දෙමින් වෛද්‍ය වසන්ත දිසානායක මහතා කියා සිටියේ,

‘සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නම් ඒ තරම් කැමැත්තක් දැක්කුවේ නැහැ. හිටපු ඇමැතිවරයා පසුගිය ජනාධිපති මැතිවරණය ආසන්න සමයේදී මට තර්ජනාත්මකව කිවුව්, ‘මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා’ කියලා’

නව අමාත්‍යවරිය යටතේ එකී තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇතැයි සදහන් කළ දිසානායක මහතා,

‘හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම් දෙන ලෙස නව සෞඛ්‍ය අමාත්‍යතුමිය මට පසුගිය දා උපදෙස් දුන්නා. ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා තිබෙනවා’

මෙහිදී යළිත් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ තමන් මුහුණ දුන් තත්ත්වය පැහැදිලි කළ වෛද්‍ය වසන්ත දිසානායක මහතා,

‘ මෙම රෝහලේ වසර 19ක සේවා කාලයක් සපුරා ඇති මාව පසුගිය මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණා. ඒත් රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගන්න මට හැකියාව ලැබුණා. හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම තමයි මෙම ස්ථාන මාරුවට හේතු වුණේ ’ යැයි ද විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කීවේය.

Recommended For You

About the Author: Editor