රටට බිලියන 90ක් අහිමි කළ LNG ගනුදෙනුව ගැන වහාම වාර්තාවක් ඉල්ලයි

රුපියල් බිලියන 90කට අධික මුදලක් රජයට අහිමි කර ඇතැයි පැවසෙන LNG ගනුදෙනුව සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ බව අනාවරණය වුණේ අද (2) පැවැති විශේෂ සාකච්ඡුාවකදීයි.

පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ LNG (ස්වභාවික ද්‍රව වායු) ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත් වුණා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී හෙළිදරව් වූ කරුණු අනුව සියයට 63 රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව බාර නොදීල, චීන සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට මේ වනවිට රුපියල් බිලියන 90 කට අධික මුදලක් අහිමිවී ඇතැයි අනාවරණය වුණා.

මෙම LNG ටෙන්ඩරය සදහා දේශීය සමාගමක් විසින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදීත්, විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වුවමානවට එම ටෙන්ඩරය අඩු මුදලක් සහිත පිරිවිතරයන් ඉදිරිපත් කර තිබූ චීන සමාගමකට ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙනවා.

අද දින පැවති සාකච්ඡාවට අදාළ දේශීය සමාගමේ නියෝජිතයන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගී වී සිටියා.

එහිදී මෙම ගනුදෙනුව සම්බන්ධව තමන්ට සවිස්තර වාර්තාවක් වහාම ලබාදෙන ලෙසත්, මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙම මස 05 වන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

අද දින පැවති මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වි සිටියා.

Recommended For You

About the Author: Editor