Hot World: ඉරානයේ සූකර උණ පැතිරෙද්දී සමෝවාහි සරම්ප

ඉරානයේ ‘සූකර උණෙන්’ 56ක් මරුට

‘සූකර උණ’ යැයි සැක කරන උණ රෝගයකින් ඉරානයේ 56 දෙනෙකු මිය ගොස් ඇතැයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරනවා. එහි දැක්වෙන්නේ උණ රෝගය නිසා 273 දෙනෙකු පසුගිය සතියේදී පමණක් රෝහල්ගතව ඇති බවයි.

විවිධ ආබාධවලට ලක්ව සිටි සහ වයස්ගත පුද්ගලයන් වැඩි වශයෙන් උණ රෝගයට ගොදුරුවී ඇති බවත් එය ව්‍යාප්ත වීම පාලනයට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවත් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සූකර උණ රෝගය හේතුවෙන් 2009 වසරේදී ලොවපුරා 500,000ක් පමණ මියගිය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය 2010 වසරේදී එම රෝගය මුළුමණින්ම තුරන්වූ බව ප‍්‍රකාශයට පත්කළ බවත් මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සරම්ප රෝගයකින් සමෝවාහි 53ක් මරුට

මේ අතර සමෝවා රාජ්‍යයේ පැතිර යන සරම්ප රෝගයෙන් මිය ගිය පිරිස 53 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

මිය ගිය අයගෙන් වැඩි පිරිසක් කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් සමෝවා රජය හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙන අතර රෝගය පැතිර යාම වැළැක්වීමට ජනතාවට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ද කඩිනමින් ක්‍රියාත්මක කර තිබෙනවා.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 4ට අඩු දරුවන් බවයි වෛද්‍ය අංශ කියන්නේ. දැනට සරම්ප රෝගීන් තුන්දහස් හත්සීයක් පමණ වාර්තා වී තිබෙන අතර ඊයේ සහ අද දිනයේදී පමණක් රෝගීන් 200 දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්. ලෝකයේ රටවල් රැසක සරම්ප රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

තමිල්නාඩුවේ ගංවතුරට 15ක් බිලි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චෙන්නායි නගරයේ පාසල් වසාදමා ඇති බව සඳහන්. තමිල්නාඩු ප්‍රාන්තයේ නගර කිහිපයක් ජලයෙන් යටව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව තිබෙනවා.

කාලගුණ අංශ පෙර දැනුම්දීම් සිදුකළ බැවින් සහන කදවුරු 176ක් ස්ථාපනය කර ඇති බවයි තමිල්නාඩු බලධාරීන් සඳහන් කළේ. තවත් දින කිහිපයක් යන තුරු අධික වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ අංශ සඳහන් කරනවා.

ටියුනීසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

මේ අතර ටියුනීසියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව එරට මාධ්‍ය වාර්තාවල සදහන්.

ටියුනීසියාවේ උතුරු ප්‍රදේශයේ ඇම්ඩෝවුන් නගරයේ මාර්ගයකදී මෙම අනතුර සිදු වී ඇති අතර දැඩි වංගු සහිත මාර්ගයක ගමන් කරමින් සිටියදී බස් රථය පාලනය කර ගත නොහැකිව බස් රථය ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 43 දෙනෙකු රැදී සිටි බව සඳහන්.

Recommended For You

About the Author: Editor