අර්ජුන් මහේන්ද්‍රන් ‘ශ‍්‍රී ලංකාවට භාරදීම පිළිබද ලිපි ගොනු’ සිංගප්පූරු රජයේ අවධානයට

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරන බව දැනුම් දී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (4) ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නා.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම සිදු කරනු ලැබුවේ බැඳුම්කර වංචා නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව යළි කැඳවනු ලැබුවා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දැනට අධිකරණය මඟ හරිමන් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට රජය යොමු කළ ලිපි ලේඛන සිංගප්පූරු දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවයි.

වැඩි දුරටත් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ලේඛන රැසක් පවතින හෙයින් වැඩිදුරටත් අධ්‍යනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියා.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරු නීතියට අනුකූල දැයි සොයා බලා එරට අධිකරණයෙන් සුදුසු නියෝගයන් ලබා දෙනු ඇතැයි ද හෙතෙම අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර මෙම නඩුවේ 10 වැනි විත්තිකරු වන අජාන් ගාර්දිය පුංචිහේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විනිසුරු මඬුල්ල සිතාසි නිකුත් කළ අතර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා මෙම මස 06 වැනිදා සිට ලබන ජනවාරි 06 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට අවසර ලබා දුන් අතර
ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රය රුපියල් ලක්ෂ 25 බැගින් පෞද්ගලික ඇප 2ක් මත මුදා හැරීමට ද නියම කළා.

Recommended For You

About the Author: Editor