තද වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් මස 04 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.

දිවයින අවට (ශ්‍රී ලංකාවට දකුණින්) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර,උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය (විශේෂයෙන් දෙසැම්බර් මස 04 සහ 05 දිනවල) වැඩිවේ යැයි බලාපොරොත්තුවේ. තවද දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවලප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ත්‍රිකුණාමලය,මඩකලපුව,අම්පාර, මුලතිව්,නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද උතුරුමැද, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල (අනුරාධපුරය, පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක) සහ මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌවසහ දකුණු පලාත්වල විටින් විට හමන පැ.කි.මි 50-60 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට ගිනිකොණ, දකුණු සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇති විය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-60 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. 

Recommended For You

About the Author: Editor