එජාප නායකත්ව අර්බුදය: ‘ලලිත් – ගාමිණීට බැරි වුණ දේ’ අද කවුරු කරන්නද ?

පක්‍ෂය අභ්‍යන්තරයේ ඕනෑම වෙනස්කමක් කරන්න අපි කැමතියි.

එක්සත් ජාතික පක්‍ෂය කඩාගන්න කාටවත් බැහැ

අපට තර්ජන කරලා වෙනත් මාර්ගවලට ගෙනියන්න බැහැ

අත්සන් 57 ගැන පිටුපස්සේ කතා ගොඩක් තිබෙනවා

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අද (5) සවස රැස්වන එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසනවා.

lankaepress.com කළ විමසීමකට පිළිතුරු දෙමින් එජාප ජාතික සංවිධායකවරයා කියා සිටියේ විපක්ෂ නායකත්වයට සජිත් පේ‍්‍රමදාස මහතාගේ නම ද එජාප නායකත්වය සඳහා රනිල්, සජිත් සහ කරු ජයසූරිය මහතාගේ නම ද යෝජනා වී ඇති බවයි.

එජාප නායත රනිල් වික‍්‍රමසිංහ මහතා බහුතර මතයට ගරු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව කී නවීන් දිසානායක මහතා එජාප නායකයා ඒ සම්බන්ධයෙන් ධනාත්මක මතකයක සිටින බව ද සඳහන් කළා.

lankaepress.com සමග වැඩි දුරටත් අදහස් දක්වමින් නවීන් දිසානායක මහතා මෙසේද සඳහන් කළා.

”එක්සත් ජාතික පක්‍ෂයේ අනාගතය සම්බන්ධයෙන් පක්‍ෂය ඇතුළේ නොයෙකුත් මත තියෙන්න පුළුවන්. සමහර මන්ත්‍රීවරුන් ඒ මත විවෘතව ප්‍රකාශ කර තිබෙනවා. අපේ පක්‍ෂය ප්‍රජාතන්ත්‍රවාදී විවෘත දේශපාලන පක්‍ෂයක්. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක ධුරයට නම් කිරීම සඳහා බහුතරයට හිස නැමුවා. පක්‍ෂය ජයග්‍රාහී මාවතකට යොමුකර ගන්න පක්‍ෂය අභ්‍යන්තරයේ ඕනෑම වෙනස්කමක් කරන්න අපි කැමතියි.

මොන වගේ වෙනස්කම්ද කළ යුත්තේ කියලා අපේ මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට, බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට නොයෙකුත් මත තියෙන්න පුළුවන්. මේ මත සම්බන්ධයෙන් එක තැනකට එන එක අමාරුයි. මන්ත්‍රීවරුන් පුද්ගලික මත ප්‍රකාශ කර තිබෙනවා. එක තැනකට ඇවිත් මේ ප්‍රශ්න කතා කරලා නිගමනවලට එන්න පුළුවන් වේවි කියා සිතනවා. අද රැස්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම හරහා එය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා”

ලලිත් – ගාමිණීට බැරි වුණ දේ

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් පක්ෂයට දැඩි ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට සජිත් පාර්ශ්වය කරන අනතුරු ඇගයීම් ගැන අප කළ විමසීමේදී එයට පිළිතුරු දුන් නවීන් දිසානායක මහතා කියා සිටියේ කලක් එජාපයේ බලවත්ම හා ජනප‍්‍රියම නායකයින් වූ ගාමිණි දිසානායක මහතාට සහ ලලිත් ඇතුලත්මුදලි මහතාට පවා එජාපය කඩාගෙන ගොස් ලබාගත හැකි වුණේ ඡන්ද ලක්ෂ 10ක් පමණ බවයි.

”එක්සත් ජාතික පක්‍ෂය කඩාගන්න කාටවත් බැහැ. ගාමිණී ලලිත් දෙන්නා පක්‍ෂය කඩාගෙන ගියත් උපරිමය ගත්තේ ඡන්ද ලක්‍ෂ 10යි. ඒ නිසා පොහොට්ටුව වගේ පක්‍ෂ හදලා එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද කඩන එක අමාරු දෙයක්.

මම දන්නවා මගේ තාත්තා පක්‍ෂයෙන් පිට ගිහිල්ලා ඉතාම අමාරු සටනක් කරන්න වුණා පක්‍ෂයේ ඡන්ද කඩාගන්න. ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද කඩන්න හරිම අමාරුයි. ඒක ගාමිණී දිසානායකටත් බැරි වුණා, ලලිත් ඇතුලත්මුදලිටත් බැරිවුණා, රුක්මන් සේනානායකටත් බැරිවුණා.

දේශපාලන ප්‍රශ්නයක් තිබෙන කොට ඒක පැය 24න්, දවස් 07න් විසඳන්න අමාරුයි. සමහර වෙලාවට මේක විසඳන්න  කණ්ඩායම් රැස්වීම් තුන හතරක් තියන්න වේවි. නිල නොවන වශයෙන් ඊට පිටුපස්සේ සාකච්ඡා ගොඩක් කරන්න වේවි. ඔක්කොම අපේ මිත්‍රයන් ඉන්නේ. අපේ පාර්ලිමේන්තු සගයන් ඉන්නේ.

අපි අතරේ ලොකු වෙනස්කම් නැහැ. පක්‍ෂය ඉදිරියට යන්නේ කොහොමද කියලා මතවාද තියෙන්න පුළුවන්. අපට එක තැනකට එන්න පුළුවන් වේවි. අපේ බිම් මට්ටමේ සාමාජිකයන් වෙනත් පක්‍ෂයක් හදන මානසිකත්වයක ඉන්නවා කියලා අපි හිතන්නේ නෑ. එක්සත් ජාතික පක්‍ෂයට දැඩි විනයක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාට විපක්‍ෂනායක ධුරය ඉල්ලා සිදුකළ අත්සන් 57 ගැන පිටුපස්සේ කතා ගොඩක් තිබෙනවා. මේ ප්‍රශ්න අපට පක්‍ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්”

අපි තර්ජනවලට කිසිසේත් බය නෑ

අද (5) පැවැත්වෙන එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමත් ‘හුදු කල්මැරිල්ලක්’ බවට පත්වේද ? යනුවෙන් අප කළ විමසීමට පිළිතුරු දුන් නවීන් දිසානායක මහතා,

”විපක්‍ෂනායක ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ධනාත්මක මතයක ඉන්නේ. එතුමා තනතුරු බදාගෙන ඉන්න කැමති නැහැ. එතුමා විවිධත්වයට කැමතියි. විපක්‍ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නම සඳහන් වෙලා තිබෙනවා. කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැන අද (05) අපට ඉතා ධනාත්මක සාකච්ඡාවක් සිදුකරන්න පුළුවන්. පක්‍ෂ නායක ධුරය ගැන පක්‍ෂය ඇතුළේ විවිධ මත තිබෙනවා. ඒකට කරු ජයසූරිය මහතාගේ නමත් සඳහන් වෙලා තිබෙනවා. නායකතුමාගේ නම අනිවාර්යයෙන්ම තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නම තිබෙනවා.

අපට ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව ඒ තීරණ ගන්න පුළුවන්. පරිණත දේශපාලන පක්‍ෂයක් හැටියට හොඳ තීරණවලට එන්න එක්සත් ජාතික පක්‍ෂයට ධාරිතාවක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපට ඒ තීරණ ගන්න පුළුවන්. අපි කිසිම දෙයකට බය නෑ. අපි පීඩනවලට බය නෑ. අපේ පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයේ බෙල්ලෙන් අල්ලලා, අපට තර්ජන කරලා වෙනත් මාර්ගවලට ගෙනියන්න බැහැ. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයේ. බහුතර මතය අනුව ක්‍රියා කරනවා. සමහර කට්ටිය තනතුරු දුන්නැත්නම් කඩාගෙන යන බවට තර්ජනය කරනවා. අපි ඒවට බය නෑ”

රනිල් රටින් යන්නේ නැති බව සහතිකයි

එජාප නායකත්වයෙන් සමුගත් අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතා රටින් බැහැරව යනු ඇතැයි යන කතාව ද අපි නවීන් දිසානායක මහතාගෙන් විමසුවා.

රනිල් වික්‍රමසිංහ මහතා අපිට කිසිම ඉඟියක් දීලා නැහැ ඔහු ජාත්‍යන්තර තනතුරකට යනවා කියලා. ජාත්‍යන්තර තනතුරකට යන්න පුළුවන් සුවිශේෂී දේශපාලන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා. ඕනෑම ජාත්‍යන්තර තනතුරකට එතුමාට සුදුසුකම් තිබෙනවා. එතුමාට පක්‍ෂනායක තනතුරේ ඉන්න කියලා ඉල්ලීමක් තිබුණොත් ඉඳීවි. එවැනි ඉල්ලීමක් නැත්නම් එතුමා යාවි” 

Recommended For You

About the Author: Editor