කැබිනට් තීරණ සියල්ල ‘හරියටම’ දැන ගන්න

රට හදන ජාතික ප්‍රතිපත්තියට”කැබිනට් අනුමැතිය

‘සෞභාග්‍යයේ දැක්ම’ යටතේ ‘රට හදන සංක්ෂිප්ත ජාතික ප්‍රතිපත්තිය’ යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (4) රැස්වූ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වුණ බව අද (5) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඒ අනුව,

ආර්ථික වර්ධන වේගය 6.5%ට ඉහළ අගයක පවත්වාගෙන යෑම,

උද්දමන අනුපාතය 5%ට අඩු මට්ටමක පවත්වාගෙන යෑම

අයවැය පරතරය 5%ට අඩු මට්ටමක පවත්වාගෙන යෑම

සේවා වියුක්තිය 4%ට අඩු මට්ටමක පවත්වාගෙන යෑම

ඒක පුද්ගල ආදායම ඩොලර් 6500ක මට්ටමට ගෙන ඒම,

මුදලේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම යන ප්‍රධාන අරමුණු සහිතව මෙම ප්‍රතිපත්තිය සකස් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

විද්‍යාපීඨ විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට

ශ්‍රී ලංකාවේ පවතින සියලුම විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරමින් ඒවා විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත්කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බවයි බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාව අනුව අදාළ ක්‍රියාවලිය සිදුකිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත්කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බවත් මෙම ක්‍රියාවලිය මගින් ගුරුවරුන් අතර පවතින වැටුප් විෂමතාවද අවසන් වෙනු ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

බදු අඩු කළත් මත්පැන් හා දුම්වැටිවල මිල අඩුවීමක් නෑ

වැට් බදු සියයට 8 දක්වා අඩුකළත් එය මත්පැන් හා දුම්වැටිවල මිල අඩුවීම සඳහා හේතුවක් වී නොමැති බව මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. අඩු කළ වැට් බද්ද දුම්වැටි හා මත්පැන් නිෂ්පාදනයේදී අය කරන නිෂ්පාදන බද්දට එක්කර ඇති බවත් මේ අනුව කිසිම විටක මත්පැන් හා දුම්වැටිවල මිල අඩුවීමක් සිදුනොවන බවද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.

ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමේ තීරණය තාවකාලිකයි

ගල්, වැලි සහ පස් ප‍්‍රවාහනයේදී බලපත‍්‍ර ලබාගැනීමේ ක‍්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත් මෙම තීරණයෙන් ඇතිවන ප‍්‍රතිඵල අධ්‍යයනය කර එය දිගුකාලීනව ක‍්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

මෙලෙස බලපත‍්‍ර අහෝසි කිරීමෙන් වැලි, ගල් හා පස් මිල පහත වැටිය යුතු බව කී ඇමතිවරයා එම සහනය ජනතාවට ලැබෙන්නේද යන්න මෙන්ම මෙයින් අයහපත් ප‍්‍රතිඵල ඇතිවේද යන්න අධ්‍යයනය සදහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බව ද සදහන් කළා. එම කමිටුව විසින් මෙම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ලබාදෙන වාර්තා අනුව බලපත‍්‍ර අහෝසි කිරීමේ තීරණය ඉදිරියට ගෙනයන්නේද යන්න ගැන ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම මගින් බදු සහනවලට බලපෑමක් නෑ

අමාත්‍යාංශවල විෂයන් ගැසට් කිරීම මෙම සතිය තුළ හෝ ලබන සතිය මුලදී සිදුවනු ඇතැයි මෙහිදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වාරාවසාන කළත් බදු සහන ක්‍රියාත්මක වීම සඳහා එය ගැටලුවක් නොවන බව ද ගුණවර්ධන මහතා පැවසුවා.

එම සහනවලට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ දින සිට සහන ක්‍රියාත්මක බවත් ඒ අනුව පසුගිය 1 දා සිට බදු සහන ක්‍රියාත්මක බවත් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව මාස තුනක් තුළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාදිය යුතු බවත් සම කැබිනට් ප‍්‍රකාශ බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

නිල ඇඳුම් වව්චර් ක්‍රමය අඛණ්ඩව

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වව්චර් ක්‍රමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඊයේ රැුස් වූ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව සම කැබිනට් ප්‍රකාශකල අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

එසේ වුවත් උසස් පෙළ සිසුන් වෙනුවෙන් මෙම වව්චර් ලබාදීමේදී අමතර ප්‍රතිපාදනයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Recommended For You

About the Author: Editor