සජිත්ට වළ කැපුවේ කවුද ?: මහාචාර්ය ඒ. ඕ. ඒ. ද සොයිසා කරන විග‍්‍රහය

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එජාප නියෝජ්‍ය නායක (දැන් හිටපු) සජිත් පේ‍්‍රමදාස මහතාගේ පරාජයට හේතු වූ කරුණු ගැන විධිමත් සාකච්ඡුාවක් එජාපය තුළ සිදුවන බවක් දැකිය නොහැකියි. එය සජිත් පාර්ශ්වය තුළ ද සිදු නොවිම කනගාටුවට කරුණක්. මෙ ප‍්‍රවීන දේශපාලන විද්‍යාඥයෙක් වන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ හිටපු මහාචාර්ය එම්. ඕ.ඒ. ද සොයිසා මහතා කරන විග‍්‍රහයයි.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වසර හතර හමාරක කාලයකදී යහපත් දේ, සිදු කළ ද ප්‍රධාන වශයෙන් ජාතිය හා ආගම ආරක්ෂා කර ගැනීමට ශක්තිමත් නොවූ බව 75% වන සිංහල ජනතාවගේ විශ්වාසය විය.

විල්පත්තු අර්බුදය සහ නැ‍ඟෙනහිර මුස්ලිම් අන්තවාදීන්ගේ හිසඑස වීම දකුණේ සිංහල ජනතාව තුළ භීතිය වර්ධනය වන්නට පාදක වුණි. සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පෙර ලැබුණු තොරතුරුවලට අනුව රජය ක්‍රියාත්මක නොවූ ආකාරය හා බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනතාව තුළ හටගත් චිත්ත පීඩාව නිසා ජනතාව එක්සත් ජාතික පෙරමුණු රජය කෙරෙහි කලකිරීමට පත්ව සිටියහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පසුගිය 16 වනදා ජනාධිපතිවරණයක් පැවැත් වූ අතර, අපේක්ෂකයන් 35 දෙනෙක් ඊට ඉදිරිපත් වූහ. ඔවුන් අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රබල ස්ථානයක සිටියහ. එකිනෙකාට ප්‍රබල අභියෝගයක් වෙමින් ජනාධිපති සටනේ නියැළුණ මොවුන් දෙදෙනා අතරින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තරග කළ සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතු වූ මූලික කරුණු කීපයක් තිබේ. ඔහු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා ගැනීම පක්ෂයේ පොදු අභිමතයට සිදුවූවා ද යන්න මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණකි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ බොහෝදෙනකු එකඟ නොවූ නමුත් සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු වටා සිටි කණ්ඩායම එම අවස්ථාව ලබා ගත්තේ බලහත්කාරයෙන් බව නොරහසකි. ඒ හේතුවෙන් පක්ෂ නායකත්වය සහ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි විය.

ගම් මට්ටමින් ඉතා විශාල ජනවරමක් තමාට තිබෙන බවටත් රටේ සමස්ත ජනතාවගේ විශ්වාසය තමා කෙරෙහි ඇති බවටත් තමා පොදු ජනතාවගේ අපේක්ෂකයා බවටත් මනඃකල්පිත අදහසක සිටි සජිත් ප්‍රේමදාස මහතා තමාට ජනපති වීමේ අවස්ථාව පක්ෂ නායකත්වය විසින් ලබා නොදෙන්නේ නම්, විකල්ප පක්ෂයක් වෙතින් හෝ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන තත්ත්වයට පත්වුණේ ය. ඒ සඳහා ඔහු වටා සිටි කණ්ඩායම අඩු වැඩි වශයෙන් දායක වූ බව පෙනෙන්නට තිබුණි. එවැනි තත්ත්වයක් මත පක්ෂය දෙකඩ වී විනාශ වී යාම වැළැක්වීමට පක්ෂයේ බහුතරයේ කැමැත්ත අකමැත්ත නොසලකා සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ජ්‍යෙෂ්ඨයන් තීරණය කළහ.

අභ්‍යන්තර විරසකය

ඉන් පසුව හෝ පක්ෂයේ පූර්ණ ආශිර්වාදය හා සහයෝගය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කළේ නැත. එපමණක් නොව සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කණ්ඩායම අතර විරසකය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භයේ සිට අවසානය දක්වාම කැපීපෙනුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ බොහෝදෙනකුට සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබුණි. පක්ෂයේ පොදු සාමාජිකත්වයේ කැමැත්ත දිනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් සජිත් ප්‍රේමාදස මහතාට පරාජයේ අමිහිරි අත්දැකීම් ලබන්නට සිදුවිය.

මෙවර ජනාධිපතිවරණයේදී පෙරමුණු දෙකක් සමඟ සටන් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට සිදු වූ අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා එක් පෙරමුණකත් හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් තවත් පෙරමුණක් වශයෙනි. ප්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමට මෙන්ම තම පක්ෂයේ නායකතුමා ද විරුද්ධවාදීන් ලෙස සැලකූ සජිත් ප්‍රේමදාස මහතා ඇතැම්විට ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සිතා කටයුතු කළ අවස්ථා ද තිබුණි. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ගරු කරන, ඔහු පිළිගත් හා ඔහු විශ්වාස කරන බුද්ධිමත් පාක්ෂිකයන් විශාල පිරිසක් සිටින බව අවබෝධකරගෙන නොසිටීම සජිත් ප්‍රේමදාස මහතාට අවාසි වූ තවත් කාරණයකි. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමේ හැසිරීම හේතුවෙන් පක්ෂයේ සමහර කොටස් ඡන්දය දීමෙන් වැළකී සිටිය අතර තවත් කොටසක් වෙනත් අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කළහ.

සජිත් ප්‍රේමදාස මහත‍ාගේ පරාජිත බවට කරුණු සෙවීමේදී තමන්ගේ ප්‍රමාණයට වඩා බර කිරා ගැනීම තවත් හේතුවකි. දෙකෝටි විසිලක්ෂයක ජනතාව පිළිගත් තනි සහ අනන්‍ය නායකයා තමන් යැයි සිතා ඔහු “තමා රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා” යන මන්තරයම ජපකරන්නට විය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රටට විශාල සේවයක් කළ අයකු වුවද ඔහුගේ පාලන තන්ත්‍රය තුළ දෙපැත්තක් තිබුණි. ඔහු ජනසවිය, ගම්උදාව හා වෙළෙඳ කළාප ස්ථාපිත කිරීම් මඟින් රටේ ජනතාවට හා ආර්ථිකයට සුවිශාල සේවයක් කළ නායකයා විය. 1988 – 1989 රාජ්‍ය විරෝධී කැරැල්ල හේතුවෙන් රටේ නීතිය හා සාමයත්, ප්‍රජාතන්ත්‍රවාදයත් විශාල අනතුරක ඇදවැටුණ අතර එය මර්දනය කිරීමේදී හැටදහසක් පමණ තරුණ පිරිසකගේ ජීවිත විනාශ වුණි. ඒ හේතුවෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ආඥාදායකයකු ලෙස පිළිගත් පිරිසක් ද සිටියහ.

එම පිරිස රණසිංහ ප්‍රේමදාස මහතා මිනීමරුවකු ලෙස ‍හැඳින් වූ අතර එම කළුපැල්ලම සජිත් ප්‍රේමදාස මහතා වෙතද එල්ල කිරීමට මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිවාදීන් ක්‍රියා කළහ. “තම පියා එද‍ා හරි හෝ වැරදි ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස අද රට ප්‍රජාතන්ත්‍රවාදී පදනමක පවතින්නේ යැයි ද, එදා කැරලිකරුවන් මර්දනය නොකළා නම් 1988 සිට තවමත් මෙරට කොමියුනිස්ට් ආණ්ඩුවක් පවතින බව ද, එසේ වූයේ නම් අද මෙවැනි මැතිවරණ පවත්වන්නට අවස්ථාවක් උදා නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා කිසිදු අවස්ථාවක ප්‍රකාශ කළේ නැත. 1988 සහ 1989 පැවැති තත්ත්වයට හේතුව මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට යාමෙන් සිදුවූ දෙයක් බව පැහැදිලි කළ යුතුව තිබුණි. එදවස සිදුවූයේ කුමක්දැයි නොදත් වත්මන් තරුණ පරපුර සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීම භයානකත්වයේ ප්‍රතිමූර්තියක් සේ සිතූහ.

“මම ආණ්ඩුව” සංකල්පය

මැතිවරණ සටනේදී “මම ආණ්ඩුව” යන සංකල්පය මත සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු රාශියක් ජනතාවට ලබාදුන්නේය. ජනාධිපති තනතුරෙහි තිබෙන රාජ්‍යතාන්ත්‍රික වටිනාකම තේරුම් ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුගේ ඇතැම් ප්‍රකාශ නිසා ජනාධිපති තනතුර හෑල්ලුවට ලක්වූ අවස්ථා ද තිබුණි. ජනාධිපති වශයෙන් පත්වූ විට ජනපති මැදුර සහ අරලියගහ මැදු‍ර සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්කරන බව සජිත් ප්‍රේමදාස මහතා පුන පුනා ප්‍රකාශ කළේය. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ පාර්ලිමේන්තු මන්දිරය දේශපාලන සංකේත බවත් ඒවා තුළ ඓතිහාසික උරුමයක් පවතින බවත් ඇතැම්විට ඔහු නොදැන සිටින්නට ඇත. සජිත් ප්‍රේමදාස මහතා එය අවබෝධ කර නොගෙන සිටීම මෙරට විද්වත් පුරවැසියන්ගේ නොසතුටට ‍කරුණක් විය.

බුද්ධිමතුන් රට පාලනය කළ යුතුය යන සංකල්පය මීට වසර දෙක තුනක සිට ජනතාව තුළ මතයක්ව පවතී. එහෙත් සජිත් ප්‍රේමදාස මහතාගේ ඇතැම් ප්‍රකාශ හේතු වූයේ ජනතාවගේ විශ්වාසය බිඳ හෙළිමටය. දේශපාලනය හා රාජ්‍ය පාලනය දෙකක් බව මෙරට බුද්ධිමත් ජනතාව තේරුම්ගෙන සිටිය ද සජිත් ප්‍රේමදාස මහතා එය තේරුම් නොගත් බව පෙනෙන්නට තිබුණි. එම තත්ත්වය ද ඔහුගේ පරාජයට හේතුවිය.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වසර හතරහමාරක කාලයකදී යහපත් දේ, සිදුකළ ද ප්‍රධාන වශයෙන් ජාතිය හා ආගම ආරක්ෂා කර ගැනීමට ශක්තිමත් නොවූ බව 75% වන සිංහල ජනතාවගේ විශ්වාසය විය. විල්පත්තු අර්බුදය සහ නැ‍ඟෙනහිර මුස්ලිම් අන්තවාදීන්ගේ හිස එසවීම දකුණේ සිංහල ජනතාව තුළ භීතිය වර්ධනය වන්නට පාදක වුණි. සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පෙර ලැබුණු තොරතුරුවලට අනුව රජය ක්‍රියාත්මක නොවූ ආකාරය හා බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනතාව තුළ හටගත් චිත්ත පීඩාව නිසා ජනතාව එක්සත් ජාතික පෙරමුණු රජය කෙරෙහි කලකිරීමට පත්ව සිටියහ. එහි ප්‍රතිවිපාක සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට බෙහෙවින් බලපෑවේය.

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ස්ථාපිත වුව ද, තම පැවැත්ම සහ ආරක්ෂාව ගැන සිංහල ජනතාව තැතිගෙන සිටියහ. එයට විකල්පයක් වශයෙන් ශක්තිමත් නායකයකු පත්කර ගත යුතු බව සිංහල ජනතාව දැඩි තීරණයක පසුවිය. එවැනි අවස්ථාවක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයේ තැබීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ බහුතරයේ අකමැත්ත මෙම මැතිවරණයේදී ප්‍රකාශ විය.

උරුමය අමතක කිරීම

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළ ආකාරය ද ඔහ‍ුගේ පරාජයට සුවිශේෂී හේතුවක් විය. ප්‍රසිද්ධ වේදිකා මත ඔහු තම පක්ෂ නායකයා දැඩිව විවේචනය කළ අතර නායකයා ඇතුළු කණ්ඩායම දූෂිත පුද්ගලයන් යැයි චෝදනාවට ලක් කළේය. ප්‍රකාශ කළ යුතු දේ හා නොකළ යුතු දේ පිළිබඳ අවබෝධයක නොසිටීමෙන් සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රතිරූපය විනාශ කර ගත්තේය.

පෙර පැවති මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ජය තහවුරු කිරීමට විශ්වවිද්‍යාල මහාචාර්ය, කථිකාචාර්ය, ආචාර්ය, විද්වත් සංසදය අත්සන් සහිතව ඉදිරිපත් කළ සංදේශය ද මෙවර අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඇතුළු රටේ විද්වත් පිරිස් සමඟ ඒකාබද්ධව කටයුතු නොකිරීම හේතුවෙන් විද්වතුන් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රවාහයෙන් ඈත්වීම එයට හේතුවිය.

මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය ද සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට සාධකයක් විය. ඔහු, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරමින් හා පක්ෂය පාවාදුන් හිටපු මහලේකම්වරයා යළිත් කැඳවා ගනිමින් ඔහුගේ උපදෙස් මත පක්ෂ කාර්යාලය වූ සිරිකොත මන්දිරය අමතක කොට කොළඹ වොක්ෂෝල් හි කාර්යාලයක් ස්ථාපිත කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව වෙනම මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යමින් තම කණ්ඩායමේ කීපදෙනකුට අවශ්‍ය පරිදි ක්‍රියා කරන්නට පටන්ගත්තේය. වොක්ෂෝල් වීදියේ කාර්යාලය ක්‍රියාත්මක කරන දේ සිරිකොත කාර්යාලය දැන සිටියේ නැති අතර, සිරිකොත කාර්යාලය ක්‍රියාත්මක වන ආකාරය වොක්ෂෝල් කාර්යාලය දැන සිටියේ ද නැත. පක්ෂ නායකතුමා හා පක්ෂ මහලේකම්තුමා තම මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධකර නොගෙන සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ එක්සත් ජාතික පාක්ෂිකයකු නොවන පරිදි ය.

එක්සත් ජාතික පක්ෂය, එහි නිර්මාතෘ ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන සහ ඩී. බී. විජේතුංග යන ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයන් අමතකකොට කටයුතු කළ අතර, ඔවුන්ගේ දේශපාලන නායකත්වය හා ක්‍රියාකාරකම් ද සංවර්ධන හා ආර්ථික සංවර්ධන විප්ලවය, සුබසාධන කටයුතු හා යටිතල පහසුකම් හි පුනර්ජීවය ගැන කතා කිරීමටත් සජිත් ප්‍රේමදාස මහතා අමතක කළේය. ඔවුන්ගේ දේශපාලන දිවියේ අමිල මෙහෙවර වැදගත්කොට නොතැකූ ඔහු තම පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණවරුණ නොකඩවා ගැයීමට අමතක කළේ නැත.

විවිධ බාධක මධ්‍යයේ වුව ද පක්ෂය ආරක්ෂා කර ගනිමින් පක්ෂයට යෝධ පවුරක් වූ රනිල් වික්‍රමසිංහ මහතා අවතක්සේරුවට ලක්කිරීම ද සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ බලවත් වරදකි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අනවබෝධයෙන් ක්‍රියා කළ සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණ ප්‍රචාරයේ යෙදුණේ 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන මහතා සැකසූ විධායක ජනපති ධුරය ආරූඩ කරගෙන ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට තිබුණු විධායක බලතල බොහොමයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අහෝසිකොට තිබෙන අතර, පවතින විධායක ජනාධිපති ධුරයේ බලතල නොදැන සජිත් ප්‍රේමදාස මහතා දුන් පොරොන්දු බුද්ධිමත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන්නට යෙදුණ ආකාරය ඔහු ලැබූ ඡන්ද ප්‍රතිඵලවලින් පෙනීයයි.

ජනතා කලකිරීම

දිළිඳු, මධ්‍යම, ධනවත් හා ඉහළ ධනවත් යන ආර්ථික වර්ගීකරණයකින් යුත් ශ්‍රී ලාංකීය ජන සමායේ දිළිඳු පන්තියට පමණක් දිගින් දිගටම ආමන්ත්‍රණය කළ සජිත් ප්‍රේමදාස මහතා, අනිකුත් ආර්ථික සමාජ කොටස්වලට ආමන්ත්‍රණය කිරීම අමතක කළේය. එය රටේ නායකත්වය භාර ගැනීමට තරග කළ නායකයකු අනුගමනය කළ ඉතා දුර්වල ක්‍රමවේදයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මධ්‍යම පාන්තික ධනවත් හා ඉහළ ධනවත් ජනකොටස් තුළ සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි විශ්වාසයක් ගොඩනැඟුණේ නැත.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබලයකු ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා “ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවේ” ය යනුවෙන් කළ ප්‍රකාශය ද රටේ බෞද්ධ ජනතාව නොසන්සුන්තාවයටත්, කෝපයටත් පත්කළ හේතුවකි. මංගල සමරවීර මහතා බෞද්ධ භික්ෂූන්වහන්සේලාට අගෞරව වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම ද රටේ බහුතරයක් වූ බෞද්ධ ජනයාගේ කලකිරීමට හේතු විය. එවැනි ප්‍රකාශ හෙළාදැකීමට හෝ විරුද්ධව අදහස් පළ කිරීමට හෝ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමේ කිසිදු මන්ත්‍රීවරයකු ක්‍රියා නොකිරීම එක්සත් ජාතික පක්ෂය ජනතාව අතර පිරිහීමට හේතුවිය. ඊට අමතරව රට තුළ ආන්දෝලනාත්මක මාතෘකාවක් වූ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම මැතිවරණ සමයේදී ගෙන ඒම ද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට බාධාවක් විය.

ද්‍රවිඩ දේශපාලන සංවිධාන හා මුස්ලිම් දේශපාලන සංවිධාන සමඟ සම්මුතියක් ඇතිකොට රට දෙකඩ කරන බවට විරුද්ධ පාර්ශ්ව ගෙන ගිය චෝදනාව නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම අපොහොසත්වීම ද පරාජයට තවත් හේතුවකි. ප්‍රේමදාස යුගයට මිනිසුන් සලකන බවත් එම සැලකිල්ල තමාට ද හිමිවන බවත් සිතූ සජිත් ප්‍රේමදාස මහතා “තමන් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතා” යන සංකල්පය පෙරටුකරගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණා මිස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් පාක්ෂිකයන් වෙත ආමන්ත්‍රණය නොකිරීම ද සජිත් ප්‍රේමදාස මහතාට වැරදුණු තැනකි.

පසුගිය වසර හතර හමාර තුළ නොකඩවා පැවැති වැඩ වර්ජන හා උද්ඝෝෂණ හමුවේ ජනතාව දැඩි අපහසුතාවයට හා පීඩාවට පත්වූ අතර රජය ඒ දෙස බලා සිටියා හැර ජනතාව විඳි දුක් ගැහැට කෙරෙහි අවධානය යොමු නොකිරීම ද, ජනතාවගේ කලකිරීමට හේතුවිය. එවැනි දේ සිදුවන්නේ මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවේ මෘදු බව හේතුවෙන් යැයි සිතූ ජනතාව දැඩිව ක්‍රියා කරන නායකයකුගේ අවශ්‍යතාවය කෙරෙහි විශ්වාසය තැබූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් දරු පරපුර විනාශවීම වළක්වා ගැනීමටත් මැර කණ්ඩායම් විසින් සිදු කරන මිනීමැරුම් හා වෙනත් අපරාධ මර්දනය කිරීමටත් දැඩි තීන්දු ගන්නා නායකයකු අවශ්‍යව ඇත යන මතය ජනතාවට තිබූ අතර, මෙරට පිරිහී තිබෙන විනය යහපත් තත්ත්වයට ගෙන ඒමට නීතිය දැඩිව ක්‍රියාත්මක කළයුතු බව ද ජනතාවගේ විශ්වාසය විය. එවැනි කටයුත්තකට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමාණවත් ද යන සැකය ජනතාව තුළ තිබුණි. එවැනි කාරණා ද සජිත් ප්‍රේමදාස මහතාට බහුතර ජනතාවගේ කැමැත්ත නොලැබීමට ඉවහල් වුණි.

Recommended For You

About the Author: Editor