අරලියගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව: සම්පූර්ණම කතාව

පාර්ලිමේන්තු දේශපාලනය මඩ ගහන තත්ත්වයෙන් ඉවත් කර දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර  ස්ථාවරයකට ගෙන ඒමට හැකි පාර්ලිමේන්තුවක් බවට නැවත පත් කිරීමට රජය සූදානම්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු හඬ පට නිකුත් වීම නිසා පසුගිය රජයේ දේශපාලඥයින්  අධිකරණයට කෙතරම් බලපෑමක්  එල්ල කලේද යන්න පැහැදිලි වන්නේ යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද (09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති පුවත්පත් කතුවරුන්ගේ හමුව අමතමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,


මේ තත්වය අනුව අධිකරණ තීන්දු  පිලිගන්නෙ කොහොමද කියල අද වෙනකොට ජනතාව අපෙන්  ප්‍රශ්න කරනවා. මේ අධිකරණයට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිඵල  බරපතලයි. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම අපට තිබෙනවා. අධිකරණයේ විශ්වාසය නැති වීමත් එක්ක රට තුළ අරාජික තත්ත්වයක් ඇති වෙලා.

දැන් අධිකරණයේ හැම තීන්දුවක් දෙසම සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒ කාලේ අපේ අයට සමහර නඩු දාලා තියෙන්නේ වාහන භාවිතා කිරීම වගේම වාහන භාවිතා කරන්න අවසර දීම වගේ දේවල් වලට.

මගේ අමාත්‍යංශ වල මුදල් ගනුදෙනු පිළිබඳව මේ දවස්වල සොයාගෙන යනවා. කෝටි ගණන් වියදම් කරලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම තහවුරු වීමක් සිදුවෙලා නැහැ. සංස්කෘතික අරමුදල සම්පූර්ණයෙන්ම විනාශ කරල දාලා.

මෙහිදී පුවත්පත් කර්තෘවරුන් අසනු ලැබූ  ප්‍රශ්න වලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය සමයේ අධිකරණයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අධිකරණයේ, නීතිපති දෙපාර්තමේන්තfුව් සහ පොලිසියේ  ඇතැමුන් සම්බන්ධ වූ බවයි. මෙම තත්ත්වය වළක්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චකාර වරයාට පැහැදිලි වගකීමක් තිබේ. මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් අධිකරණයේ පැත්තෙන් වහාම පියවරක් පියවර ගත යුතව තිබේ.

අධිකරණයට පසුගිය සමය තුල පාර්ලිමේන්තු  නියෝජිතයින්ගේ බලපෑම් එල්ල වීම පිළිබඳව  මාධ්‍යවේදී ගේ විමසීමට තවදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයින්  පාර්ලිමේන්තුවේ උසස් බව රැකීමට ක්‍රමානුකූලව පියවර ගත් බවයි. නමුත් පසුගිය කාලය   තුළ මෙම තත්ත්වය කඩා වැටීමට ලක් විය. පාර්ලිමේන්තු දේශපාලනය මඩ ගහන තත්ත්වයෙන් ඉවත් කර  සමාජයේ දේශපාලනික සහ සමාජයීය ප්‍රශ්න විවාද කර  ස්ථාවරයකට ගෙන ඒමට හැකි පාර්ලිමේන්තුවක් බවට නැවත පත් කරීමට රජය සූදානම් බවද අග්‍රාමාත්‍ය වරයා මෙහිදී අවධාරණය කලේය.  

වැඩිවන සහල් මිල ගැන මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය වහා ම ශක්තිමත් කර වී මිලට ගැනීමට වැඩපිළිවෙළක් මේ වන විට  සකස් කරමින් තිබෙන බවයි.

මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා

පසුගිය රජය විසින් ගෙවිය යුතු රුපියල් බිලියන 6කට අධික මුදලක් නොගෙවීම නිසා   පොහොර සමාගම් පොහොර ආනයනය කිරීම නවත්වා තිබෙනවා. පසුගිය කැබිනට් මණ්ඩල  රෑස්වීමේදී රුපියල් බිලියන තුනක්  පොහොර ගෙන්වීම සඳහා වෙන් කරනු ලැබුවා. ඒ නිසා මේ වෙනකොට සමාගම් වලට දැනුම් දීලා තිබෙනවා සියලු පොහොර ආනයනය කිරීමට පියවර ගන්න කියලා. එවිට මේ පවතින පොහොර හිඟය නැති වෙයි.

ජනාධිපති තුමාගේ  සහ අගමැතිතුමාගේ බලාපොරොත්තුව මේ රට ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම සහ හොඳ ආර්ථික ක්‍රමයක් රටේ ඇති කිරීමයි. ඒ නිසා අද  දේශීය   කෘෂි කර්මාන්තය නගා සිටුවීමට වැඩිපුර ධෛර්යය දෙන්නට රජය තීරණය කොට තිබෙනවා  ඒ අනුව ඉදිරියේදී සහල් මිල අඩු වනු ඇති බවත් ඉදිරි යල කන්නයේ සිට  නොමිලේ මඩ පොහොර සහ ගොඩ පොහොර ලබා දීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී පුවත්පත් කතෘ වරුන් නැගූ  ප්‍රශ්නයකට  පිලිතුරු දුන් අග්‍රාමාත්‍ය වරයා ඉදිරි මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වා නව රජයක් යටතේ පාර්ලිමේන්තු සංශෝධන ගෙන ඒමටත් එහිදී දිනේෂ් ගුණවර්ධන කෙටුම්පත සලකා බලා නව සංශෝධනය එක් කොට වඩා හොඳ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
පසුගිය රජය  19 වැනි සංශෝධනය ගෙන එන  අවස්ථාවේදී එම කෙටුම්පතේ කොටස් ඉවත් කිරීම නිසා වර්තමානයේ දී බරපතළ තත්ත්වයක් ඇතිවී ඇති බවත් එය වර්තමානයේ ඇතිවී තිබෙන අධිකරණ ආන්දෝලනයටද හේතුවක් වී ඇති බවත් මෙම හමුවේ දී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අවධාරණය  කලේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා.

හිටපු අමාත්‍ය  රංජන් රාමනායක මහතා සම්බන්ධ හඬ පට සිද්ධිය රංජන් රාමනායකටම පමණක් කොටු කළ යුතු නැහැ. මෙය සම්පූර්ණයෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කළ එකක්. මේක පැහැදිලිව  පසුගිය රජය අරලියගහ මන්දිරයේදී  රන්ජන් රාමනායකට මේ සම්බන්ධ සියලු උපදෙස් දුන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා බව රන්ජන් සහ අග්‍රාමාත්‍යවරයා අතර හඬ පට පටවලින්ම අනාවරණය වෙනවා. මේක සම්පූර්ණයෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් විපක්ෂය මර්ධනය කරන්න කරපු වැඩපිළිවෙළක්.

ඩලස් අලහප්පෙරුම මහතා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම හමුවේ දී අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතාගේ සිද්ධියේදී පසුගිය රජය අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේද යන්න අනාවරණය වන බවයි. මේ පිළිබඳව හිටපු සොලිසිටර් ජනරාල් වරුන් දෙදෙනෙකු තොරතුරු අනාවරණය කළ බවත් මෙය දේශපාලන පලිගැනීමකට ලගු නොකොට අධිකරණයට ඉතිහාසය තුල සිදු වූ ලොකුම බලපෑම ලෙස සැලකිය යුතු බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා..
ඊයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙක් උත්සාහ ගත්තා 19  වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයත් විජේදාස රාජපක්ෂ ඇමති වරයාගේ පෞද්ගලික යෝජනාවක් දෙකක් නෙවෙයි එකක් බව පෙන්නන්න. විජේදාස රාජපක්ෂ මහතාගේ යෝජනාව එතුමාගේ පෞද්ගලික යෝජනාවක්.

ජනාධිපතිතුමා එතුමාගේ සෞභාග්‍යය දැක්මක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම වෙනි පිටුවේ ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය සහ මැතිවරණ සංශෝධනය පිළිබඳව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එය සිදු කරන ආකාරයත්   එහි ම සඳහන් වෙනවා.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අතර තේරීම් කාරක සභාවක් දාලා මහජන අදහස් විමසලා ආදී වශයෙන් ඊට අදාළ නීතිමය ක්‍රියා දාමයක්  දක්වා තිබෙනවා. ජනාධිපතිවරයා ගේ කතාවේදී මැතිවරණ සංශෝධනය ගැන කියද්දි කිව්වෙත් සමානුපාතික ක්‍රමයේ තිබෙන සාධනීය ලක්ෂණ රැකගෙන මහජනතාවගේ සෘජු නියෝජනය ද සහතික වන ආකාරයෙන් මේ සංශෝධන සිදු කළ යුතු බවයි. නමුත් එළියට ගිහිල්ලා දේශපාලනඥයෝ කතා කළේ සුළු ජාතීන් නොසලකා හැරලා සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා යන ගමනක් විදියටයි. ඒ වගේ විවිධ අර්ථ නිරූපණ දුන්නා.

ඇත්තටම මේ මැතිවරණ ක්‍රමය 1988 තමයි ආරම්භ වන්නේ. එදා ඉඳලා අද වෙනකොට මැතිවරණ හතක් පවත්වා තිබෙනවා. මේ මැතිවරණ හතෙන්ම මැතිවරණ දෙකකදී විතරයි බහුතරය ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වුණේ. කොයි තරම් වැඩි ඡන්ද සංඛ්‍යාවක් තිබුනත් බහුතරය ආණ්ඩුවක් පිහිටවන්න හැකියාව ලැබුණේ නැහැ. 1988 දී ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මැතිවරණයේදී  එජාපයට බහුතරයක ආණ්ඩුවක් ලැබුණා.

2010  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පැවැත්වූ මැතිවරණයේදී බහුතරයක ආණ්ඩුවක් හම්බුනා. මේ අවස්ථා දෙක හැරෙන්නට 1994  මැතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට ලබා ගන්න පුළුවන් වුණේ 105ක පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් පමණයි. මුස්ලිම් කොංග්‍රස එකතු කර ගෙනත් ආණ්ඩුව හදන්න බැරි වුණා. ඊළඟට බෝම්බයකට ඇහැ නැතිවෙලා චන්ද්‍රිකා මැතිනිය මැතිවරණයකට ගියා. මුළු රටේම අනුකම්පාව හම්බවෙලත් 107යි එතුමියට ලබාගන්න පුළුවන් වුණේ. පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් කඩාගෙන ගිහිල්ලා මැතිවරණයක් ගත්තා.

එදා වික්‍රමසිංහ මැතිතුමාට ගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තු ආසන 109ක් විතරයි.
2004 ලංකාවේ බිහි වෙච්ච මහා සන්ධානය බිහි වෙනවා. ජවිපෙ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා ගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තු ආසන 105 යි.  පසුගිය එජාප ආණ්ඩුව  මුස්ලිම් කොංග්‍රස් එක, බදුර්දීන් මහත්තයා ,ජාතික හෙළ උරුමය මේ සියලු  පාර්ශව එකතු වෙලා අගෝස්තු මාසේ මැතිවරණයට මුහුණ දුන්නා. ලබාගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තු ආසන 106යි.

මොනම පක්ෂයකට හෝ බහුතරයක් ලැබුන  හැම අවස්ථාවකදීම සුළුතරය නැතුව පාර්ලිමේන්තුවක් ගෙන යන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ දී දිගින් දිගටම මේ ගැන ප්‍රකාශ කරන්නේ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් කියන්නේ කවුරු දිනුවත් ප්‍රශ්නයක් නෙවෙයි, නමුත් බහුතර බලය ගන්න කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ අන්තවාදයට, තෙරපීමට, පීඩනයන්ට, යටත් වෙන්නේ නැතුව ස්වාධීනව තීන්දු ගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න හැකියාව ලැබිය යුතුයි කියලයි.

මෙම අවස්ථාවට   ඩලස් අලහප්පෙරුම,   කෙහෙළිය රඹුක්වැල්ල     රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අල්ත්ගමගේ  ,උදය ගම්මන්පිල, ශෙහාන් සේමසිංහ යන අමාත්‍ය වරු සහභාගී වූහ.

Recommended For You

About the Author: Editor