‘ගුරු තරුව’ නිවී යයි… ජයලත් මනෝරත්නයාණෙනි… ඔබට නිවන් සුව

කෙටි කලක් රෝගාතුරුව පසු වූ සම්මානනීය කලාකරු ජයලත් මනෝරත්න (71) මහතා අද (12) අලුයම සිය නිවසේදී අභාවප්‍රාප්ත වුණා.

ජයලත් මනෝරත්න මහතාගේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුවල රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

මනෝරත්නයන් උපත ලැබුවේ 1948 වසරේදී නුවරඑළිය, දෙහිපේ නම් ගම්මානයේදීයි.

පාසල් වියේදීම වේදිකාවට අත්පොත් තැබූ මනෝරත්නයන් පේරාදෙණිය සරසවි ජීවිතයේදී මහාචාර්ය ඒ.වී එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ හමුවීමත් සමග වේදිකාවේ නිම් වළලු පුළුල් කර ගත්තා.

පේරාදෙණිය සරසවියේ දෙවන වසරේදී ‘ප්‍රේමතී ජායතී සෝකෝ’ නාට්‍යයට සම්බන්ධ වූ මනෝරත්නයන් වෙස්සන්තර, කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා’ ආදි සරච්චන්ද්‍ර නාට්‍ය රැසකටම සිය රංගන දායකත්වය ලබා දුන්නා.

‘මහගිරිදබ’ වේදිකා නාට්‍යයෙන් තම වේදිකා නාට්‍ය ජීවිතය ආරම්භ කළ මනෝරත්නයන් එතැන් සිට මනෝරත්නයන් වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කළා. එම සියලු නාට්‍යය මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සන්ධිස්ථාන මංසලකුණු සනිටුහන් කිරීමට සමත් වූ බවයි විචාරකයෝ කියන්නේ. ඒ අතර මනෝරත්නයන් විසින් නිර්මාණය කළ අන්දරේලා, ගුරුතරුව, තල මල පිපිලා, පුත්‍ර සමාගම, සොක්‍රටීස් යන නාට්‍ය නිර්මාණ ජයලත් මනෝරත්නයන් විසින් මෙරට ප්‍රේක්ෂකයින්ට දායාද කළ විශිෂ්ට කෘති ලෙස අදටත් සම්භාවනාවට පාත්‍ර වෙනවා.

මනෝරත්නයක් සිය සිනමා දිවිය ආරම්භ කරන්නේ ටයිටස් තොටවත්තයන්ගේ ‘හදයා’ චිත්‍රපටයෙන්. එතැන් සිට මනෝරත්නයන් සිය රංගන ප්‍රතිභාවෙන් හැඩ කළ චිත්‍රපට සංඛ්‍යාව 30 කට අධිකයි. මේ අතර මෑතදී තිරගත වූ ‘ගෝල්’ සහ හෝ ගාන පොකුණ චිත‍්‍රපටවල මනෝරත්නයන් කළ විශිෂ්ඨ රංගනය අලුත් පරපුර වෙත ඔහුව වඩාත් සමීප කළා.

මෙම ලේඛකයාගේ මතකය නිවැරදි නම් 80 දශකයේ අවසාන භාගයේ රූපවාහිනයෙන් විකාශනය වූ ළමා නාට්‍යයක් වූ ‘සින්දු – බින්දු’ නාට්‍යයේ මනෝරත්නයන් විශිෂ්ඨ චරිතයක් නිර්මාණය කළා.

ටෙලි නාට්‍ය රැසක් ඔහුගේ රංගන කෞශල්‍යයෙන් ඔපවත් වූ අතර ‘කන්දේ ගෙදර ටෙලි නාට්‍යයේ ‘සෙනරත්’ ඒ අතර අති විශිෂ්ඨ බවයි මෙම ලේඛකයාගේ මතකයේ තිබෙන්නේ. ඒ අතර ‘රොමාගේ වාසනාව’ ටෙලි නාට්‍යයේ ‘කරෝලිස්’ ගේ චරිතයත්, ‘සකිසද එළියස්’ ප‍්‍රහසන නාට්‍යයේ එළියස්ගේ චරිතයත් කිසිසේත් අමතක කළ නොහැකියි.

හොඳම වේදිකා නළුවා, ටෙලි නාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත්‍රපට නළුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර වූ මනෝරත්නයන් ස්වකීය වේදිකා නිර්මාණ රැසකටම රාජ්‍ය සම්මාන දිනා ගත්තා. ඒ අතර වේදිකාවට ප‍්‍රවේශවීමට අපේක්ෂාවෙන් සිටින සරසවි විද්‍යාර්ථීන්ට ඔහුගෙන් ලැබුණු මාර්ගෝපදේශකත්වය කිසිසේත් අමතක කළ නොහැකියි.

සදාදරණීය රංගධරයාණෙනි, සහෘදයාණෙනි, ඔබට නිවන් සුව….

lankaepress.com සංස්කාරක මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය

Recommended For You

About the Author: Editor