Health Research Review: දුම් පානය කරන සහ පානය කළ පුද්ගලයන් ‘දැනගත යුතුම කතාවක්’

පිළිකා, හදවත් සහ ශ්වසන රෝග, පෙනීම සහ ඇසීම නැතිවීම, දියවැඩියාව, ඩිමෙන්ෂියාව සහ වඳ භාවය ඊට ඇතුළත්. දුම් පානය කරන්නන් ශල්‍යකර්මවලින් පසු සුව වීමට වැඩි කාලය ගන්නවා වගේම අසාර්ථක වීමට ඇති ඉඩත් වැඩියි. ඒ නිසාල කිසිදාක දුම්පානය නොකළ පුද්ගලයෙකුට වඩා දුම්පානය කරන්නන්ට වඩාත් වේදනාවක් උරුම වීම පුදුමයක් නොවෙයි’

දුම්පානය’ ගැන අපි නිතර නිතර කතා කරනවා. ඒ අතර දුම්පානය කරන පුද්ගලයින්ට වැළදෙන ‘පිළිකාව, හෘදරෝග, ලිංගික බෙලහීනතාව, විකෘති වීම්’ ආදිය ගැනත් ගැඹුරින් කතා කරනවා.

ඒත් පසුගිය දා ලෝ ප‍්‍රකට ‘යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ සෞඛ්‍ය පර්යේෂණ වාර්තාවක ඉහත සදහන් කළ ඒවාට වඩා ‘වෙනස්’ ඒත් ‘අති සංවේදී’ කරුණක් ගැන හෙළි කළා.

‘කිසිදාක දුම් පානය කර නොමැති පුද්ගලයන්ට වඩා දුම් පානය කරන සහ දුම් පානය අත්හැර දැමූ පුද්ගලයන්ට ‘වැඩි වේදනාවක් දැනෙන බව’ එම පර්යේෂණය මගින් හෙළිකර ගෙන තිබුණා. එය ලංකාවේ කරනවා වගේ 100-200ක් ගන්න ‘ලපටි’ සමීක්ෂණයක් නෙමෙයි. පර්යේෂකයින් පුද්ගලයින් 220,000 වැඩි පිරිසකගේ දත්ත යොදා ගනිමින් කළ විශේලේෂණයක්.

බීබීසී ලැබ් යූකේ ස්ටඩී හි (BBC Lab UK Study) අන්තර්ජාලය ඔස්සේ කෙරෙන පරීක්ෂණ සහ සමීක්ෂණ සඳහා මහජනයාට සහභාගී විය හැකි බීබීසී වෙබ් අඩවියක්) 2009 -2013 අතර කාලයේ ලබා ගත් අන්තර්ජාල පර්යේෂණ එකතුවක දත්තයි විද්‍යාඥයන් විසින් විශ්ලේෂණය කළේ.

එකී දත්ත ඛාණ්ඩ තුනකට වෙන් කර කර තිබුණා.

  • කිසිදාක දිනපතා දුම් පානය කර නැති
  • දිනපතා දුම්පානයට පුරුදුව සිටි
  • හෝ දැනට දිනපතා දුම්පානය කරන

එදිනෙදා ජීවිතයේදී කෙතරම් වේදනාවකින් පෙලුනේ දැයි ඔවුන්ගෙන් විමසන ලද අතර එය 0 – 100 ත් අතර මිනුම් දණ්ඩකට පරිවර්තනය කරනු ලැබිණි. එනම් වේදනාව වැඩි වන විට මිනුම් දණ්ඩෙහි දැක්වෙන අගය ද වැඩි වේ.

කිසිදාක දුම්පානය කර නැති පුද්ගලයන්ට වඩා දැනට දුම් පානය කරන සහ අතීතයේ දුම් පානය කළ පුද්ගලයන්ගේ, වේදනාව දැනීමේ අගය එකකින් හෝ දෙකකින් වැඩි බව ‘ඇඩික්ටිව් බිහේවියර්ස්’ (Addictive Behaviors/ ඇබ්බැහිකාරී චර්යා) ජර්නලයේ අඩංගු අධ්‍යනය පෙන්නුම් කරනවා. පැවසුවා.

වෙනත් ආකාරයකින් කියන්නේ නම් දුම් පානය අත්හැර තිබුණ ද වඩාත් වැඩි වේදනාවකින් දිවි ගෙවීම සහ දුම්පානය අතර සම්බන්ධයක් තිබෙනවා.

“ප්‍රධානම සොයා ගැනීම වන්නේ අතීතයේ දුම් පානය කළ පුද්ගලයනුත් උත්සන්න වේදනාවේ බලපෑමට හසු වීමයි” යනුවෙන් ‘යුනිවසිටි කොලේජ් ලන්ඩන්’ හි පර්යේෂිකාවක වන ආචාර්ය ඔල්ගා පර්ස්කි බීබීසී වෙත පැවසුවා.

‘කිසිදාක දුම් පානය කර නොමැති පුද්ගලයන්ට වඩා දුම් පානය කරන සහ දුම් පානය අත්හැර දැමූ පුද්ගලයන්ට වැඩි වේදනාවක් දැනෙන බව අපි පර්යේෂණයෙන් සොයා ගත්තා. ඒත් ඒ සඳහා හේතුව කුමක්ද යන්න නොදන්නා නමුත් දුම් පානය හේතුවෙන් ශරීරයට සිදුවන ස්ථීර වෙනස්කම් ඊට ඇතුළත් විය හැකි බව අපි සිතනවා’ පර්යේෂකයින් තම සොයා ගැනීම් ගැන සදහන් කරමින් පැවසුවා.

“මෙය ඉතා විශාල දත්ත එකතුවක්. අපට හොඳ නියැදියක් ලැබී තිබෙනවා. ඒ නිසා මෙහි යම් සම්බන්ධයක් ඇති බවට සාධාරණ විශ්වාසයක් තැබිය හැකියි” යනුවෙන් ඇය සඳහන් කළා.

“නමුත් එයට සායනික වශයෙන් අර්ථයක් දිය හැකි දැයි කියා අපට කිව නොහැකියි”

ආචාර්ය පර්ස්කි වැඩිදුරටත් කියා සිටියේ වඩාත් තරුණ වයස් කණ්ඩායම් (අවුරුදු 16 සිට 34 දක්වා) තුළ වේදනාව ඉහළ මට්ටමක් ගන්නා බව සොයා ගැනීම වඩාත් සුවිශේෂීයි.

දුම්වැටි විරෝධී ආයතනයක් වන ‘ඈෂ්’ (Ash) කියා සිටියේ දුම් පානයේ අනතුරුදායී බව දෙස බලන විට ඉහත කී සොයා ගැනීම් පුදුමයක් ලෙස නොගත යුතු බවය.

සිදුවන්නේ කුමක්ද ?

එවැනි බලපෑමක් පැවතිය හැක්කේ ඇයිදැයි යන්න පිළිබඳ ස්ථීර පැහැදිලි කිරීමක් සිදුව නැහැ. දුම් වැටි හේතුවෙන් ශරීර ගත වන දුමෙහි අඩංගු දහස් සංඛ්‍යාත රසායනික ද්‍රව්‍ය නිසා පටකවලට විය හැකි ස්ථීර හානිය හමුවේ වේදනාව ඇති විය හැකි බව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන එක් අදහසක්.

තවත් එක් අදහසක් වන්නේ දුම් පානය හේතුවෙන් හෝමෝන පද්ධතියට දීර්ඝ කාලීන බලපෑම් එල්ල වීමට ඇති හැකියාවයි. එම අදහස විශේෂයෙන් වේදනාවට අප ප්‍රතිචාර දක්වන්නේ කෙසේ දැයි යන්න හා සම්බන්ධ හයෝපෝතැලමස් පිටියුටරි අධිවෘක්ක අක්ෂස්ථිය (HPA-axis වටා බැඳී පවතිනවා. එම අක්ෂස්ථියෙහි සමබරතාවය ගිලිහීම වඩාත් වැඩි වේදනාවක් දැනීමට හේතු විය හැකියි.

දුම් පානය රෝගවලට හේතුවක් නොව රෝග නිමිත්තක් වීමට ඇති හැකියාව ද එලෙසම පවතිනවා. උදාහරණයක් වශයෙන් වඩාත් තීව්‍ර වේදනාවක් දැනීම සහ දුම්පානයේ ඇති ඉහළ අන්තරායකාරී බව ස්නායුව්‍යධික පෞර්ෂ ගති ලක්ෂණවලට සම්බන්ධ යයි අධ්‍යයන මගින් පෙන්වා දී ඇති අතර සාමාන්‍ය වශයෙන් වැඩි වේදනාවක් දැනීමට ඉඩ ඇති ආකාරයේ පුද්ගලයන් දුම් පානයට යොමු විය හැකි ආකාරයේ පුද්ගලයන් වීමට ද ඉඩ තිබෙනවා.

‘මෙය නිශ්චිත වශයෙන්ම සොයා බැලිය යුතු කාරණයක්’ යනුවෙන් ආචර්ය පර්ස්කි පැවසුවා.

මීට පෙර සිදු කරන ලද දුම් පානය හා සම්බන්ධ නිදන්ගත වේදනාව සහ කොඳු නාරටියේ වේදනාව පිළිබඳ පර්යේෂණ සහ ඉහත කී නවතම අධ්‍යනය හොඳින් සමපාත වන බව ඇයගේ අදහසයි.

‘නිරන්තර දුම්පානය අත්හැරියත් එමගින් වේදනාව හා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන බලපෑම් ඇති විය හැකියි. හැකි ඉක්මනින් දුම් පානයෙන් මිදීමට එය වඩාත් හොද දිරිගැන්වීමක්’ යනුවෙන් ආචාර්ය පර්ස්කි බීබීසී සමග පැවසුවා.

දුම්වැටි විරෝධී ආයතනයක් වන ‘ඈෂ්’ හි Ash ප්‍රධාන විධායිකා ඩෙබොරා ආනොට් පැවසුවේ ‘දුම් පානය පෙනහළු පිළිකා ඇති කරන බවට සාක්ෂි සොයා ගත්තේ 1950 ගණන් වලදීයි. දුම්පානය නිසා සියලුම රෝගී තත්ත්වයන් පාහේ ඇති විය හැකි බව හෝ එය රෝග උත්සන්න කිරීමට හේතු විය හැකි බවට සාක්ෂි එතැන් සිට මේ දක්වා ඉහළ ගොස් තිබෙනවා’ යනුවෙනුයි.

‘පිළිකා, හදවත් සහ ශ්වසන රෝග, පෙනීම සහ ඇසීම නැතිවීම, දියවැඩියාව, ඩිමෙන්ෂියාව සහ වඳ භාවය ඊට ඇතුළත්. දුම් පානය කරන්නන් ශල්‍යකර්මවලින් පසු සුව වීමට වැඩි කාලය ගන්නවා වගේම අසාර්ථක වීමට ඇති ඉඩත් වැඩියි. ඒ නිසාල කිසිදාක දුම්පානය නොකළ පුද්ගලයෙකුට වඩා දුම්පානය කරන්නන්ට වඩාත් වේදනාවක් උරුම වීම පුදුමයක් නොවෙයි’

බීබීසී හි සෞඛ්‍ය සහ විද්‍යාව පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලහර් විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි.

Recommended For You

About the Author: Editor