Voice of දියවන්නා: මහා සටන්කාමියෙකුගේ සංවේදී හදවත

අම්මෝ මම මොකටද ගම්පහට එන්නේ. මේ ඉන්නේ ගම්පහ ලොක්කා මෙයා හිටපුවාම මදෑ මම මේ පාර ඉල්ලන්නෙත් කුරුණෑගලින්’ මහින්ද ප්‍රසන්න පෙන්වමින් සිනාසෙමින් කිව්වා.

සටහන : ගජබා නාගහවත්ත

රන්ජන්ගේ හඬපට වෙනුවට ‘කොරෝනා’ මේ සතියේ දේශපාලන කරළියේ ද මුල්තැන අල්ලා ගනිද්දී කොරොනාත් පරදන එජාප නායකත්ව අර්බුදය බ‍්‍රහස්පතින්දා පුපුරා ගියේ පක්ෂය යළි එකතු කළ නොහැකි ආකාරයි. මේ ඒ සියලූ කතාවල අලගිය තැන් මුලගිය තැන් කියන ‘රජ හෑල්ලයි’

ඇමති ප්‍රසන්න රණතුංගගේ දෙවැනි දියණිය වන පවිත්‍රාගේ විවාහ මංගල්‍යොත්සවය පසුගිය සඳුදා  (27) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත් වුණා. පවිත්‍රා‍ගේ අත ගත්තේ ඉෂාන් ජයසේකර නැමති කදානේ ව්‍යාපාරික පවුලක තරුණයෙක්. ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්දගේ සහභාගීත්වයෙන් පැවැති මංගල උත්සවයට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.  ප්‍රසන්නගේ බාල සොහොයුරා හැර මව සහ ‍සෙසු සහෝදරයන් මෙදින පැමිණ සිටියා.

ජනාධිපති ගෝඨාභය උත්සවයට පැමිණියේ සිය බිරිය අයෝමා ද සමඟිනු. ඒ පෙරවරු 11.45ට පමණයිග චමල්, උදය, සුසිල්, ඩුලිප්, ලන්සා, රණවීර සහ ඉන්දික ඇතුළු පිරිසක් ජනපති ගෝඨාභය සමඟ කතා බහ කරමින් සිටින අතරතුරේ අගමැති මහින්ද ද එතැනට පැමිණියා. නාමල් ආවේ සිය බිරිය ලිමිනි සමඟයි.

බලන්නකෝ යෝධයා වගේ හිටියට මේ මනුස්සයා හරිම සංවේදි‍යිනේ. ආණ්ඩුව ගන්නකම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සටන් කරපු විදියට මෙහෙම සංවේදිකමක් හිතේ තියෙනවාද කියලවත් කියන්න බැහැනේ’ කියායි.

මඟුල් සාද මැද ජනපති – අගමැති කොරෝනා පසුවිපරමක

මගුල් ගෙදර අස්සේ ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ කතාබහ යොමුව තිබුණේ කොරෝනා වෛරසය ගැනයි. චීනයෙන් ආරම්භ වී ලෝකය පුරා වසංගතයක් මෙන් පැතිර යන කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පිරිස දැනුවත් කළා.

‘මේ වෛරසය අපේ රටට ඇතුළු වීම වළක්වාගැනීම වගේම චීනයේ සිටින අපේ දරුවන් ඒ රෝගයෙන් බේරා ගැනීම සඳහාත් අපි පියවර අරගෙන තිබෙනවා. විශේෂයෙන් රෝගය දැඩිව පැතිර තිබෙන වුහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබන අපේ දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ගෙන්නා ගැනීමට කටයුතු කරන්න කියලා මම කිව්වා සුසිල් මේ ගැන ටිකක් බලන්න’ ජනාධිපතිවරයා කිව්වා.

‘වුහාන් වගේම අනෙකුත් ප්‍රාන්තවලත් සිටින දරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අපි රාජ්‍ය තනාන්ත්‍රික මට්ටමින් ගත හැකි සියලු පියවර අරගෙන තියෙන්නේ. ඔබතුමාගේ උපදෙස් මත පැය 48ක් ඇතුළත ඒ කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා’ සුසිල් පැවසුවා.

‘සර් අපි කටුනායකත් මේ වන කොට ලෑස්ති කරලයි තියෙන්නේ. චීනය වගේම රෝගය බහුලව පැතිර තිබෙන අනෙකුත් රටවලිනුත් ලංකාවට පැමිණෙන සංචාරකයන් ගැන අපි අවධානයෙන් ඉන්නව. ‍ඒ වගේම සංචාරකයන් සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් හදන්නත් අපි බලාපොරොත්තු ‍වෙනවා’ ප්‍රසන්න කිව්වා.

‘මමත් හොයල බැලුවාග ගුවන්තොටුපොළේ කටයුතු ටික හොඳින් වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. අපි හැමෝම මේක ජාතික ආපදාවක් කියලා හිතලා අපේ යුතුකම් ඉටුකළොත් පමණයි මේ ව්‍යසනයෙන් රට බේරා ගන්න පුළුවන් වෙන්නේ’ අගමැති මහින්ද කිව්වා.

‘ඒක ඇත්ත සර් මේ වගේ අවස්ථාවක දී පක්ෂ පාට භේද අමතක කරලා අපි කටයුතු කරන්න ඕනේ. හැබැයි සමහර බංකොළාත් දේශපාලන පක්ෂ කොරෝනා වෛරසයෙන් හරි ගොඩයන්න උත්සහ කරනවා. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක් කියලා තිබුණා චීනයේ සිටින අපේ ළමයි මේ රටට ගේන එක නතර කරන්න කියලා. මම දන්නේ නැහැ මේ මිනිස්සු කොහොම ඡන්දෙ ඉල්ලන්න හිතාගෙන ඉන්නවද කියලා’ ප‍්‍රසන්න චෝදනාවක් කළා.

‘මේක චීනය වගේ රටවල වේගයෙන් පැතිර ගියාට අපේ රටට තවම එහෙම අවදානමක් නැහැ. අපේ වෛද්‍යවරුන් කියල විදියට අපිට වසංගත තත්ත්වයක් උදා වෙලා නැහැ. නමුත් අපි කෝකටත් සූදාමින් ඉන්න ඕනේ. අපේ යුතුකම තමයි ජනතාව බේරාගැනීමග රජයක් විදියට අපිට කරන්න පුළුවන් හැමදෙයක්ම අපි කරනවා’ මහින්ද පැවසුවා.

මේ අතරතුර පළාත් සභා මන්ත්‍රී වරුන් වන කෝකිලාල සහන් සහ මෙරිල් අගමැති මහින්ද අසලට පැමිණ ආචාර කළා.

කෝකිලාට මහින්ද ගැන ලොකු ප‍්‍රශ්නයක්

‘සර් මේ පොඩි දෙයක් අහන්න ඕනෑ’ කෝකිලා මහින්ද දෙසට හැරී කිව්වා.

‘ඕනෑ දෙයක් අහන්න’ මහින්ද මහින්ද සුපුරුදු සිනාවෙන් කිව්වා.

‘සර් මේ ගම්පහ එනවයි කියලා කථාවක් තියෙනවා ඒක ඇත්තද ? කෝකිලා ඇසුවා.

‘අම්මෝ මම මොකටද ගම්පහට එන්නේ. මේ ඉන්නේ ගම්පහ ලොක්කා මෙයා හිටපුවාම මදෑ මම මේ පාර ඉල්ලන්නෙත් කුරුණෑගලින්’ මහින්ද ප්‍රසන්න පෙන්වමින් සිනාසෙමින් කිව්වා.

මේ අතරතුරේ ප්‍රසන්නගේ දියණිය පිටත්වීමේ අවස්ථාවත් උදා වුණා. ප්‍රසන්නගේ සහ මොරින්ගේ පා වැඳ දියණිය පිටත්ව යන මොහොත අතිශය සංවේදී අවස්ථාවක් වුණා. ඒ වන විට වාදනය වෙමින් තිබුණු ‘දුවේ නුඹ මගේ ප්‍රාණයයි’ ගීතය එම අවස්ථාව තවත් හැඟුම්බර කළා. ගීතය වාදනය වන්නට පටන් ගත්ම ප්‍රසන්න දියණිය තුරුළු කරගෙන හඬන්නට වුණා. ඒ දුටු බොහෝ දෙනාගේ නෙත්වලට කඳුළු පිරුණා.

අසළ සිටි මන්ත්‍රීවරයකුට තවත් මන්ත්‍රීවරයකු කීවේ ‘බලන්නකෝ යෝධයා වගේ හිටියට මේ මනුස්සයා හරිම සංවේදි‍යිනේ. ආණ්ඩුව ගන්නකම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සටන් කරපු විදියට මෙහෙම සංවේදිකමක් හිතේ තියෙනවාද කියලවත් කියන්න බැහැනේ’ කියායි.

මැති ඇමැතිවරුන්ටත් කොරෝනා ගැන දේශනයක්

කොරෝනා ගැන ප‍්‍රසන්නගේ නිවසේදී ද කතා කළ අගමැති මහින්ද ප‍්‍රමුඛ ආණ්ඩුවේ ප‍්‍රබලයින් පසුගිය අඟහරුවාදා අගමැති මහින්දගේ නිල නිවසේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැුස්වීමේදී ද ඒ ගැන ප‍්‍රමුඛ අවධානයක් යොමු කළා.

මෙහිදී කොරෝනා සමග සටනට නායකත්වය දෙන සෙන්පතිනිය වන පවිත‍්‍රා මේ වන විට ආණ්ඩුව විසින් ගෙන ඇති පියවර පිළිබඳ කණ්ඩායම දැනුවත් කළ අතර පවිත‍්‍රාගෙන් පසු උතුරු මැද පළාත් ආණ්ඩුකාර, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විතාරණ කොරෝනා ගැන අංග සම්පූර්ණ දේශනයක් කළා. වෙනදාට දේශපාලන කරුණු නිසා උණුසුම් වන ආණ්ඩු පක්ෂ රැස්වීම මහාචාර්ය තිස්සගේ දේශනය නිසා ‘මීයට පිම්බා’ වාගේ තිබුණා. මහාචාර්ය තිස්සගේ දීර්ඝ දේශනයෙන් පසු තෘප්තිමත් හැඟීමකින් කතා කළ සියලූ දෙනාම පාහේ කියා සිටියේ ආණ්ඩුව කොරෝනා වෛරසයට එරෙහිව ගෙන ඇති පියවර ගැන තෘප්තිමත් විය හැකි බවයි.

‘ඔබතුමිය සෞඛ්‍ය ඇමැතිවරිය වශයෙන් පමණක් නොවෙයි මවක් විදිහටත් ගන්න පුළුවන් උපරිම පියවර ගැනීම ගැන අපි සතුටු වෙනවා’ තරුණ ඇමැතිවරයෙක් පවිත‍්‍රාට සුබපතමින් කිව්වා.

ලංකාවේ තෘප්තිමත්ම පාලකයා මෙන්න

ලංකාවේ බිහි වූ රාජ්‍ය පාලකයින් අතරින් වඩාත්ම තෘප්තිමත් රාජ්‍ය පාලකයා විදිහට බොහෝ දෙනෙක් සලකන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාවයි.

‘අගමැතිතුමා දැන් ඉස්සරටත් වඩා බොහොම සතුටින් ඉන්නේ’ රජ හෑල්ලට කතා කළ ආණ්ඩුවේ තරුණ ඇමතිවරයෙක් කිව්වා.

‘එතුමා ඇති තරම් තමන්ගේ දරුවන්ගේ දරු සුරතල් බැලූවානේ. ඇයි ඉතිං කොල්ලොම තුන් දෙනෙක්නේ. ඔන්න ඉතිං දැන් අපේ අගමැතිතුමා මුනුබුරන්ගේ සුරතලූත් බලන්න පටන් අරං. මෙහෙම වාසනාවක් ඉතිං අපේ රටේ හිටපු නායකයින් කීයෙන් කී දෙනාට ද තිබ්බේ. දැන් ඔය නායකයෝ වෙන්න දතකන නායකයින්ගෙන් කීයෙන් කීයට ද තියෙන්නේ ’ තරුණ ඇමැතිවරයා දිග කතාවකට මුල පුරමින් කිව්වා.

තරුණ ඇමැතිවරයා කියන මේ රජ හෑල්ල මොකක්ද කියලා ටිකක් හොයලා බලන කොට තමයි ඇත්ත කතාව හෙළි වුණේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත‍්‍රරත්නය, ඒ කියන්නේ රෝහිත – ටට්යානා යුවළගේ ආදරණීය පුත‍්‍රරත්නය වන ‘නිර්වාන්’ට තෙරුවණේ ආශිර්වාදය ලබා ගැනීමට අගමැති මහින්ද සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිස පසුගිය 28 වැනිදා ගංඟාරාම විහාරස්ථානයට පැමිණ තිබුණා. ඒ අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මැතිණිය පුංචි නිර්වාන්ව සුරතල් කරන ආකාරය දැක්කාම තමයි අපේ තරුණ ඇමැතිවරයාට මේ කතාව මතක් වෙලා තියෙන්නේ.

මේ අවස්ථාව ඇතුළත් වීඩියෝව සහ ඡායාරූප සමාජජාලා මාධ්‍යවල ලොකු ආකර්ෂණයක් දිනාගෙන තිබුණා.

රනිල් බල රහිත කරන නව සැලසුම

මේ අතර එජාප නායකත්වය සජිත් අතට ගැනීමේ මෙහෙයුම සාර්ථක නොවන බව දැන් දැන් වැටහෙන නිසාදෝ සජිත් පාර්ශ්වය වෙනත් සැලසුමක් දියත්කර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් පිහිටුවන සංධානයේ නායකත්වය ඇතුළු තීරණාත්මක බලතල සජිත් පාර්ශ්වය අතට ගැනීමයි. එමගින් ‘එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගැනීමයි’ සජිත් පිලේ අපේක්ෂාව වෙන්නේ. ඒ අනුව අලූතින් පිහිටුවන සන්ධානයේ නායකත්වය සහ මහ ලේකම්ධුරය සජිත් පාර්ශ්වයට හිමි කර ගැනීම සහ ඉදිරි මහ මැතිවරණයේ නාම යෝජනා මණ්ඩලයේ බලය අල්ලා ගැනීම සජිත් පාර්ශ්වයේ ඉලක්කය වී තිබෙනවා.

මේ සියලූ සැලසුම්වලට නායකත්වය දෙන්නේ එජාප හිටපු නායක තිස්ස අත්තනායක බවයි වාර්තා වෙන්නේ.

මේ සැලසුම් දියත් වෙන අතර තමන් එළන දැළ තවත් ශක්තිමත් කර ගන්න තිස්ස පසුගිය අඟරුවාදා කතානායක කරු ජයසූරිය මහතාව හමු වුණා. ඒ කතානායක නිල නිවසේදී.

‘කතානායකුමා, අපි මේ ප‍්‍රශ්නේ පුළුවන් තරම් ඉක්මවට විසඳගන්න  ඕනෑ. ඒ නිසා නායකතුමයි විපක්ෂ නායකතුමයි මූණට මූණ හමුවෙලා මේ ගැන සාකච්ඡුා කළ යුතු බවයි අපේ ස්ථාවරය වෙන්නේ’ තිස්ස තමන්ගේ සැලසුමේ මුල් අරමුණ හෙළිකරමින් කතානායක කරුට කිව්වා.

‘අපි යෝජනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් පිහිටුවන සන්ධානයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාසට වුවමනායි. ඒ වගේම මහ ලේකම් ධුරය වගේම මහ මැතිවරණ නාම යෝජනා සකස් කිරීමේ බලය අවශ්‍යයි’ තිස්ස තමන්ගේ සැලසුම දීර්ඝ වශයෙන් විස්තර කරමින් කතානායක කරුට කිව්වා.

තිස්සගේ දීර්ඝ පැහැදිලි කිරීම මනාව අසාගෙන සිටි කතානායක කරු තමන්ට සුපුරුදු පිළිතුර දුන්නා.

‘එජාප අර්බුදය විසඳයා ගන්න කතා කරන්න පුළුවන් මධ්‍යස්ථ තැනක් විදිහට කතානායක නිල නිවස පාවිච්චි කරන්න ඉඩ දෙන්න මට පුළුවන්. ඒ වගේම සියලූ පාර්ශ්වයන්ගේ පොදු එකඟතාවෙන් මට යම්කිසි කාර්යභාරයක් පැවරුවොත් මම ඒක භාර ගන්නම්’ කරු තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් කිව්වා.

කරු ජයසූරියගෙන් ලබාගත්ත සහතිකය සමග එදිනම (අඟහරුවාදා* සවස තිස්ස සජිත්ව හමුවී කරු සමග ඇතිකර ගත් එකඟතාව සජිත්ට දැනුම් දුන්නා.

‘විපක්ෂ නායකතුමා අපි සන්ධානයක් හැදුවොත් වැදගත්ම කාරණය වෙන්නේ මහ මැතිවරණයේ නාම යෝජනා මණ්ඩලයේ බලය අතට ගැනීමයි. ඒකට මුල් තැනක් දෙන්න  ඕනෑ. එතකොට සන්ධානයේ නායකත්වයත් එක්ක අපි ශක්තිමත් වෙනවා’ තිස්ස තමන්ගේ සැලසුම පැහැදිලි කරමින් කිව්වා.

මේ අතර තිස්ස තවත් වැදගත් කරුණක් කෙරේද සජිත්ගේ අවධානය යොමු කළා. ඒ සන්ධානයේ මහ ලේකම් ධුරය ගැන. එහිදී තිස්ස කියා සිටියේ සන්ධානයේ නායකත්වය වගේම මහ ලේකම් ධුරයත් තම පාර්ශ්වයට හිමිවිය යුතු බවයි.

රනිල් – සජිත් හමුව ලත් තැනම ලොප් වෙලා

තිස්සගේ සැලසුම අනුව පසුගිය බදාදා සවස 03.00ට එජාප නායක රනිල් සහ විපක්ෂ නායක සජිත් පමණක් කතානායක නිල නිවසේදී හමුවුණා. එහිදී සජිත් තමන්ගේ සැලසුම ගැන එජාප නායකයාට කරුණු පැහැදිලි කළා.

‘අපි පිහිටුවන සන්ධානයේ නායකත්වය මට හිමිවිය යුතුයි කියන එකයි අපේ පාර්ශ්වයේ ඉල්ලීම වෙන්නේ. ඒ වගේම මහ ලේකම් ධුරය මම නම්කරන පුද්ගයෙක්ට හිමිවිය යුතුයි. වැදගත්ම දේ තමයි මහ මැතිවරණයට නාම යෝජනා තීරණය කරන කමිටුවේ බලය අපිට ලැබිය යුතුයි’ සජිත් තම සැලසුම ගැන කිව්වා.

සජිත්ගේ සැලසුම ගැන සාවධානය ආසාගෙන සිටි එජාප නායකයා කිව්වේ සන්ධානයේ නායකත්වය තීරණය කළ යුත්තේ එජාපය විසින් බවයි. තවත් බොහෝ කරුණු පැහැදිලි කළ එජාප නායකයා එතැනින් එහාට සාකච්ඡුාවට ගෙන යාමට සූදානම් වුණේ නැහැ.

මේ අතර සජිත් – රනිල් අතර පැවැති සාකච්ඡුාව ගැන සජිත් පාර්ශ්වය තුළ දැඩි කම්පනයක් ඇතිව තිබෙනවා. ඔවුන් දැඩිව අවධාරණය කරන්නේ ‘තනිව සන්ධානය ගොඩනැගිය යුතු බවයි.

‘රනිල් එක්ක ගමනක් යන්න බැහැ. තනිවම තමයි යන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහැ’ සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් කිව්වා.

එජාපය පුපුරා යයි

ආඬි කැඳ උයනවා, වඳුරෝ ගෙවල් හදනවා, බාලගිරි දෝසේ වගේ අපූරු උපමා රැුසක් කිසිම බයක් නැතිව ආදේශ කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය විසඳ ගන්න කියලා පසුගිය 30 වැනිදා විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමක් පැවැත් වීමට නියමිතව තිබුණා. ඒත් 30 වැනිදාට සිදුවන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමත් තවත් අවුලක් නිර්මාණය කරන බවට සරත් ෆොන්සේකාගේ සහ අජිත් පී. පෙරේරාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහෝසි කිරීම සමග හෙළි වුණා.

මෙහිදී අජිත් පී. පෙරේරාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහෝසි කිරීම කෙසේ වෙතත් සරත් ෆොන්සේකාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිත්වය අහෝසි කිරීම ගැන එජාපය තුළ කම්පනයක් ඇති කරලා තියෙනවා.

‘ෆොන්සේකා කියන්නේ රනිල් වෙනුවෙන් දංගඩියට බෙල්ල දුන්න මිහිහෙක්. ඒත් රනිල්ට ඒ මොනවත් නැහැ, වටින්නේ තමන්ගේ යාළුවන්ගේ අනාගතේ කියන එක මේ කැපිල්ලෙන් ඔප්පු වුණා’ මධ්‍යම පළාතේ එජාප ජ්‍යේෂ්ඨයෙක් සජිත් පිලේ ප‍්‍රබලයෙක් එක්ක කිව්වා.

මේ අතර එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡුාව පටන් ගන්න කොටම ‘රුවිතෙට’ ගිය බවයි දැන් සජිත් පාර්ශ්වය එක්ක ඉන්න එජාපයේ හිටපු ප‍්‍රබලයෙක් රජ හෑල්ල සමග දුක් හෑල්ලක් කියමින් කිව්වේ.

‘අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ සාකච්ඡුාවක් තියෙනවා කියලා මම දැන ගත්තෙත් පත්තරෙන්. පුදුමේ කියන්නේ අඩුම ගානේ ලියුමක් එපා අපිට එස්.එම්.එස් එකක්වත් නැහැ. මට විතරක් නෙමෙයි සජිත් පාර්ශ්වයට සහාය දෙයි කියලා හිතන බොහෝ දෙනෙක්ට කිසිම ආරාධනයක් නැහැ. මට හිතෙන්නේ මොකක් හරි යටි කූට්ටු වැඩක් අද සිද්ධ වෙනවා. ඒත් අපිත් නිකං ඉන්නේ නැහැ. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හරි පටන් ගත්ත වැඬේ අවසන් කරනවා’ එජාපයේ හිටපු ප‍්‍රබලයා අවධාරණාත්මක හඬින් කිව්වා.

මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡුාවට පෙර එජාප නායක රනිල් ඇතුළු පිරිසක් සිරිකොත දී කෙටි සාකච්ඡුාවක නිරත වුණා. එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගැනීමට නියමිත තීන්දු ගැන වගේම අජිත් පී. පෙරේරා, ඉමිතියාස් බාකීර් මාකර්, රෝසි සේනානායක සහ සරත් ෆොන්සේකා ඉවත් කිරීම ගැනත් සාකච්ඡුා වුණා.

‘ෆොන්සේකායි අජිත් පෙරේරාගෙයි කෘත්‍යාධිකාරියෙන් ඉවත් කළේ ඇයි ? මිනිස්සු ඒ ගැන දැඩි උනන්දුවක් දක්වනවා’ කේගකේ පියදාස එජාප නායකයාගෙන් ඍජුව ප‍්‍රශ්න කළා.

‘ෆොන්සේකා උතුරු නැගෙනහිරට කළ උදව්වලට විරුද්ධව කතා කළා. ඒ මිනිස්සුන්ට ඒ ගැන හිතේ අමාරුවක් ඇති. සජිත්ට ඡන්ද ලක්ෂ 8ක් ඒ මිනිස්සු දුන්නා. අජිත් පෙරේරාගේ නම් පරණ සිද්ධියක්ග ඔහුට ඕන නම් එය නිවැරදි කරගත හැකියි’ එජාප නායකයා කිව්වා.

රනිල් පාර්ශ්වය මේ ආකාරයෙන් සැලසුම් සකස් කරන විට සජිත් පාර්ශ්වය ද එදින සවස පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම ගැන දැඩි තීරණයකට පැමිණ සිටියා. ඒ අනුව සජිත් ඇතුළු පාර්ශ්වය කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡුාව වර්ජනය කිරීමට තීරණය කළා.

‘මේ විදිහට ගේම් ගහනවා නම් අපිට තවත් ඉදිරි ගමනක් නැහැ. අපි අපේ ගමන තනියම යනවා’ සජිත් පිළ අවසන් තීන්දුව ගන්නා බව තහවුරු කරමින් එහි ප‍්‍රබලයෙක් කිව්වා.

සජිත් පාර්ශ්වයේ අරමුණ ගැන හෙළිදරව්වක්

එජාප නායකත්වය ලබා ගැනීමට නොහැකි තැන සජිත් පාර්ශ්වය සන්ධානයේ නායකත්වය ලබා ගැනීමට කරන සැලසුම ගැන එජාප ප‍්‍රබලයින් අතර බලවත් විරෝධයක් මතුවෙලා තිබෙනවා. එහිදී ඔවුන් එජාප නායක රනිල්ට පෙන්වා දී ඇත්තේ සජිත් පාර්ශ්වයේ මහ මැතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි කල්ලිය ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඒවට සන්ධාන නායකත්වය ඇල්ලීමට සැරසෙන බවයි.

මේ බව මනාව තහවුරු වන සිදුවීමක් පසුගිය දා කොළඹ තරු හෝටලයක පැවැති විවාහ මංගල්‍ය උත්සවයකදී දකින්න පුළුවන් වුණා. එජාපයේ කොළඹ දිස්ත‍්‍රික් නායකයෙක් සහ ආණ්ඩුවේ තරුණ ඇමැතිවරයෙක් එකම මේසයේ අසුන් ගෙන සිටියා. පාර්ලිමේන්තුවේ ඇති තරම් ගැටුණත් මෙහිදී දෙන්නා බොහොම සුහදව කතා කළා.

‘ඇත්තට ද ඇමැතිතුමා සන්ධානේ නායකත්වයයි මහ ලේකම්කමයි දෙකම සජිත් පාර්ශ්වය ඉල්ලනවා කියන්නේ’ තරුණ ඇමැතිවරයා එජාප ජ්‍යේෂ්ඨයාගෙන් ඇසුවා.

‘ඔව්, එයාලා මේ ප්ලෑන් කරන්නේ මහ මැතිවරණේ දිනා ගන්න නෙමෙයි එජාපයට ලැබෙන ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රීකම් ටික දිනා ගන්න. මොකද සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෝ කියලා කියන කිසිම කෙනෙක්ට මහ මැතිවරණෙන් ඡුන්ද ගන්න බැහැ. ඒ නිසා හොඳම තැන තමයි ජාතික ලැයිස්තුව’ එජාප ප‍්‍රබලයා තමන් සතු තොරතුරු අනුව කතාව පැහැදිලි කළා.

‘කෝ වොහාරික විගණන වාර්තාවෙන් ඔබතුමා නිදහස් වුණාට පක්සෙන් කිසිම සපෝට් එකක් නැහැනේ’ තරුණ ඇමැතිවරයා වෙනත් ප‍්‍රශ්නයක් ඇසුවා.

‘ඒක ඇත්ත තමයි. මට පහර දුන්නේ අපේම අයයි. එතැන තනිකර තිබුණේ පටු දේශපාලනේ. කොහොම වුණත් ඒ අය අපි ආණ්ඩුකරන කාලෙත් ආණ්ඩුව ඇතුළේ විපක්ෂය විදිහට වැඩ කරන එක’ එජාප ප‍්‍රබලයා කිව්වා.

අපි ගැන හිතන්න කලින් ජනපතිට 3/2ක් අරන් දෙමු

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට මහ මැතිවරණ වෙනුවෙන් බරටම සූදානම් වෙනවා. බලාපොරොත්තු වුණ විදිහට ආණ්ඩුවේ තනතුරුවලින් 3/1ක් නොලැබුණත් මහ මැතිවරණයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂට 3/2ක බලයක් අරන් දීම තමයි ශ‍්‍රීලනිපයේ ප‍්‍රධාන අරමුණ වෙන්නේ.

මේ ගැන පසුගිය බ‍්‍රහස්පතින්දා ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් කිහිප දෙනෙක් පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡුාවක් කළා.

‘ජනාධිපතිවරණය අත්සන් කළ එකඟතා ගිවිසුම් අනුව අපිට ආණ්ඩුවේ සියලූම පත් කිරීම් හා තනතුරුවලින් තුනෙන් එකක් ලැබෙන්න  ඕනෑ. ඒත් යම් යම් හේතු නිසා අපිට කුඩම්මාගේ සැලකිලියි ලැබෙන්නේ’ ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයෙක් කිව්වා.

‘ඒක ඇත්ත, ඒත් අපිට මේ වෙලාවේ වෙන විකල්පයක් නැහැ. අපි මහ මැතිවරණයයි ඉලක්ක කරන්න  ඕනෑ. අපිට එතකොට අපේ බලය පෙන්නලා තැනක් ලබා ගන්න පුළුවන්. ජ්‍යේෂ්ඨයාගේ මැසිවිල්ලට පිළිතුරු දෙමින් ශ‍්‍රීලනිපයේ නිලධාරියෙක් කිව්වා.

‘ඒක හරි අපි කොහොම හරි ජනාධිපතිතුමාට තුනෙන් දෙකක බලය ලබා දෙමු. ඊට පස්සේ අපි ගැන කතා කරමු’ තරුණ මන්ත‍්‍රීවරයෙක් කතාවට විරාමයක් දෙමින් කිව්වා.

Recommended For You

About the Author: Editor