මේ රටේදි කොහෙන්වත් හොඳ ලී කැටයමකට සාධාරණ මිලක් ලැබෙන්නෙ නෑ

ධනුක බාලාරච්චි දක්ෂ කැටයම් ශිල්පියෙකි. මාතර ඌරුබොක්ක ජාතික පාසලෙන් සිප්සතර හැදෑරූ ඔහු බොහෝ සෙයින් ඇලුම් කළේ කලාවට ය. ඒ අතර කැටයම් කලාව ඔහුට පිය උරුමයෙන් ලැබුණු දායාදයකි. නොයෙක මාධ්‍ය ඔස්සේ කලක් තිස්සේ පුරුදු පුහුණු කළ කැටයම් කලාවට ඔහු මේ වන විට අලුත් හැඩයක් එකතු කරමින් සිටී

ඇයි ඔබ කැටයම් කලාව තෝරාගත්තෙ?

කැටයම් කලාවට පොඩි කාලේ ඉඳන් මගේ හිතේ ලොකු උනන්දුවක් තිබුණා. ඒකට හේතුව වුණේ මගේ තාත්තා ධර්මසේන බාලාරච්චි ලී කැටයම් ශිල්පියෙක් වීම. තාත්තගේ හැකියාව මටත් නොඅඩුව ම පිහිටලා තිබුණා. තාත්තා කැටයම් කලාව ඉගෙනගෙන තියෙන්නේ දෙව්න්දර කුමාර ගුරුවරයා යටතේ.

පුංචි කාලෙදි මං තාත්තා ලී කැටයම් කපන විදිහට බලාගෙන ඉන්නවා. ඒ විදිහට කපන්න ගිහින් වරද්ද ගන්නකොට තාත්තා මට වෙන ම ඇඳලා දීලා, කපන්නත් කියලා දෙනවා. මමත් ඉතිං මට පුළුවන් විදිහට වරද්ද වරද්ද කපනවා. ඒවායේ අඩුපාඩු ළඟ ඉඳන් හැදුවෙ තාත්තා. මගෙ අතට නියන හුරු වුණේ අවුරුදු 10දි වගේ පුංචි වයසකදි.

කොහොම වුණත් මගේ කැටයමක් දැකලා තාත්තා ලේසියෙන් හොඳක් නම් කිව්වෙ නෑ. දවසින් දවස මගේ හැකියාව වැඩිදියුණු කරන්න තිබුණ ඕනකම නිසා තාත්තා කළේ ම මොකක් හරි අඩුවක් කියපු එක. ඒ නිසා මමත් පුරුදු වුණා අදට වඩා හොඳ නිර්මාණයක් හෙට කරන්න. රටේ තියෙන තාක්ෂණික වෙනස්කම් එක්ක එක එක කාලවලදී ලී කැටයම්වලට තියෙන තැන අඩු වැඩි වෙන්න ගන්නකොට මමත් වෙන වෙන ක්ෂේත්‍රයන්වලට යොමු වුණත් ලී කැටයම් කලාව කවදාවත් අතහරින්නෙ නම් නෑ. කැටයම් කලාව හරහා විවිධ විසිතුරු භාණ්ඩ නිර්මාණයටත් යොමු වෙලා ඉන්නේ ඒ අංශයෙනුත් යම් ප්‍රගතියක් ලැබීමේ අරමුණෙන්.

මේ දිනවල දැවැන්ත නිර්මාණ කාර්යයකට දායක වෙන බව දැනගන්න ලැබුණා?

පන්නිපිටියේ මොරකැටිය පරමානන්ද විහාරයේ අලුතින් හැදුව ධර්ම ශාලාවේ කුඹුක් ලී කනුවල ලී කැටයම් කළා. ඒ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වන ප්‍රේමරතන හිමියන්ට අවශ්‍ය වුණේ ඒ ලී කනුවලට ඇම්බැක්ක දේවාලයේ දකින්න ලැබෙන කැටයම් යොදාගන්නයි.

ඉතිං ඒ වෙනුවෙන් මම වෙනම ම කැපවෙලා, ඇම්බැක්කෙ දේවාලෙ ගිහින් ඒ තියෙන කැටයම්වල ප්‍රමාණයන් සහ ඡායාරූප අරගෙන ඇවිත් ඇම්බැක්කේ කැටයම් නිර්මාණ 40ක් විතර පරමානන්ද විහාරයේ ලී කනුවල කැටයම් කළා. මම හිතනවා ඒ කටයුත්ත මම මගේ උපරිමයෙන් කළා කියලා. ඒ වැඩේට මට උදව්වට හිටියේ තාත්තයි තව මල්ලි කෙනෙකුයි. දැනට මට කියන්න පුළුවන් ලංකාවේ ඇම්බැක්කෙ දේවාලේ තියෙන ඒ කැටයම් ඊළඟට බලාගන්න පුළුවන් පන්නිපිටියේ පරමානන්ද විහාරයෙන් විතරයි. අප්‍රේල් මාසය වෙන විට ඒ ධර්මශාලාවේ වැඩ සම්පූර්ණ වුණාම ඕන කෙනෙකුට ගිහින් බලන්න පුළුවන් ඒ කැටයම් ඇම්බැක්කේ කැටයම්වලට කොයිතරම් සමාන ද කියලා. 

කැටයම් ශිල්පියෙකුට තිබිය යුතු ඉවසීම ගැන ඔබට ඇත්තේ කෙබඳු අදහසක්ද?

කැටයම් ශිල්පියෙකුට අනිවාර්යෙන් ම තිබිය යුතු ගුණයක් තමයි ඉවසීම කියන්නෙ. අපි මූර්ති ශිල්පියෙකු ගැන හිතලා බැලුවොත් හුණුවලින්, සිමෙන්තියෙන් නිර්මාණයක් කරනකොට ඒ අය   අලව අලවනෙ කපන්නෙ. මූර්තිය වෙනුවෙන් ඒ අයට අවශ්‍ය ප්‍රමාණය ඉතුරු නොවී වැඩි කොටසක් කඩා වැටුණත් එතනට සිමෙන්ති ටිකක් අලවලා කපලා ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්.

නමුත් ලී කැටයමකදී අපිට ලැබෙන ලී කුට්ටිය හෝ ලී කෑල්ල කැපුවොත් කැපුවම තමයි. අපේ අතින් වැරදීමකින් වැඩි ප්‍රමාණයක් ඉවත් වුණොත් ආයෙ නැවත පුරවන්න පුළුවන්කමක් නෑ. නිර්මාණයට ම වෙන්නේ හානියක්. ඒ නිසා කැටයම් ශිල්පය බොහොම ඉවසීමෙන් වගේ ම හොඳ හුරුවක් ඇතුව කරන්න ඕනෙ දෙයක්.

නමුත් කැටයම් ශිල්පය සමහරු මොනවා හරි දෙයක් යන්තම් ඉගෙනගෙන කුණු කොල්ලෙට කරන වෙලාවල් තියෙනවා. මම නම් එහෙම කරන්නෙ නෑ. මොකද එහෙම කළොත් ඒක මම මගේ කලාවට, මට වගේ ම මගේ තාත්තට කරන අසාධාරණයක්. ඉතිං මම ඉගෙන ගත්ත දේට විශාල ගරුත්වයක් දෙමින් වැඩ කරගෙන යනවා. පිරිත් මණ්ඩප, මඟුල් පෝරු, වේදිකා සැරසිලි, තොරන් සහ රිජිෆෝම්වලින් ඕන ම විදිහේ කැටයමක් කරලා දෙනවා සාධාරණ මිලකට.

සමහරු මොනවා හරි දෙයක් යන්තම් ඉගෙනගෙන කුණු කොල්ලෙට කරන වෙලාවල් තියෙනවා. මම නම් එහෙම කරන්නෙ නෑ. මොකද එහෙම කළොත් ඒක මම මගේ කලාවට, මට වගේ ම මගේ තාත්තට කරන අසාධාරණයක්.

කැටයම් කලාව වෘත්තිය කරගෙන අපේ රටේ ජීවත් වෙන්න පුළුවන්ද?

ඇත්තෙන් ම අපහසුයි. ඒ නිසා ම තමයි මම චිත්‍රපට ක්ෂේත්‍රයටත් යොමු වෙලා ඉන්නෙ. මේ රටේදි කොහෙන්වත් හොඳ ලී කැටයමකට සාධාරණ මිලක් ලැබෙන්නෙ නෑ. වටිනාකමක් දෙන්න පුළුවන් අය ඉන්නේ සුළුතරයක්. අනිත් හැමෝම බලන්නෙ සුළු මුදලකට ලොකු නිර්මාණයක් කරගන්න. ඒ වගේ ම අපි මහන්සියෙන් ලී කැටයම් කරලා හදපු පුටුවක් අරන් ගිහින් ගෙදර තියනවාට වැඩිය ගොඩක් දෙනෙක් කැමතියි කොහෙන්හරි ආයතනයකින් ගන්න ප්ලාස්ටික් පුටුවක් ගෙදර ගිහින් තියාගන්න. ඒ විදිහට මේ කර්මාන්තය ලක් වෙලා තියෙන්නේ විශාල අර්බුදයකට.

ළඟදි ප්‍රදර්ශනයක් එහෙම තියන්න අදහසක් නැද්ද? 

මේ රටේ මිනිස්සුන්ට නිතර දකින්න නොලැබෙන විදිහේ වෙනස් හැඩතල යොදාගනිමින් කැඩපත් රාමු (Mirror Frame) හඳුන්වා දෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. පිටරට අය නම් ගොඩක් සල්ලි වියදම් කරලා ඒවගේ දේවල් කරවනවා. මමත් අවුරුදු එකහාමාරක් විතර කටාර්වල කම්පැනි එකක ලී කැටයම් වැඩ කළා. එහෙදි දැකපු දේවල්වලට දේශීය පැරණි ලී කැටයම් කලාවත් එකතු කරලා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දවසක ප්‍රදර්ශනයක් පවත්වන්නයි හිතාගෙන ඉන්නෙ.  

කැටයම් ශිල්පීන් වෙනුවෙන් ඔබ ලබාදෙන පණිවිඩය කුමක්ද?   

වෙනත් ලී කැටයම් ශිල්පීන්ගෙන් මම ඉල්ලන්නේ මුදලට විතරක් සීමා නොවී තමන් කරන දේට හැකි උපරිමයෙන් සාධාරණයක් කරන්න කියලයි. මොකද කැටයම් ශිල්පය කියන්නේ අපිට ලැබුණු දායදයක්. අපි ඒකෙ වටිනාකම තියන්න ඕනෙ. ඒ වුණත් ලංකාව ඇතුළෙ කැටයම් කලාවට හොඳ වෙළඳපොළක් නැති එක නම් කැටයම් ශිල්පීන් මුහුණ පාන බරපතල ගැටලුවක්. මහන්සියෙන් කැපවීමෙන් කරන හොඳ නිර්මාණයකට සාධරණ මිලක් ගෙවන්න කැමැති වෙන්නෙ විදෙස් සංචාරකයෝ විතරයි. දේශිය ගැනුම්කරුවන් අතරින් බොහොම සුළු දෙනයි ඒ කලාවේ තියෙන රසය සහ වටිනාකම හඳුනගෙන සාධාරණ මිලක් ගෙවන්නෙ.  

ඔබ චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වූ ආකාරය පිළිබඳත් යමක් කියමුද?

සුසන්ත කැලුම් සහ ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂවරුන් යටතේ මම චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වුණේ සහය කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට යි. ඒ මීට අවුරුදු 8කට විතර පෙර. නිදහස් කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට හොඳයි කියලා හිතෙන චිත්‍රපටවලට නිර්මාණ දායකත්වය ලබාදෙනවා. නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ සරුංගල් චිත්‍රපටය ඒ අතරින් එක් නිර්මාණයක්. ඔහුගේ ම අධ්‍යක්ෂණයක් වන ඊතලය ක්‍රියාදාම චිත්‍රපටියටත් මම සම්බන්ධ වුණා. ඒ හැරුණු විට ටෙලිනාට්‍ය සහ ගීත රූප රචනාවලටත් සම්බන්ධ වෙලා කටයුතු කරනවා. 

 කාංචනා සිරිවර්ධන

Recommended For You

About the Author: Editor